අක්කර 18කට ව්‍යාජ බලපත්‍රත් හදලා…

විශාල වැව් සංඛ්‍යාවක ජල පෝෂක ප්‍රදේශයක්…

ව්‍යාජ බලපත්‍ර හදන්න රජයේ ඇතැම් නිලධාරීන් හවුල් වෙලා…

වැඩිම තර්ජනය රාජ්‍ය ආයතනවලින්…

රක්ෂිතය පුරා තැන, තැන බෞද්ධ නටබුන්…

හෙක්ටයාර් තුන්දහස් ගාණක් තිබුණු මිහින්තලේ රක්‍ෂිතයට දැන් තියෙන්නේ අක්කර 1700යි…

දකින දැකුමට හදවත පිච්චෙන තරම් ය. දෙනෙත් තෙත් වන්නේ ය. මෙවැනි විනාශයන් දැකීම ම පාපයකි. කිසිවක් සිතට නොනැඟේ. සොහොන් භූමියක් බඳු මුඩු බිම දෙස අපි බලා සිටිමු. ඉමක් නොපෙනේ. ඇවිළී ගිය මහ ගස්වල මුල් නෂ්ටාවශේෂ සේ තැන, තැන පිළිස්සී තිබේ. සොබාදහමට කර ඇති මහා අපරාධය දැක හිරු වියරුවෙන් අවට පුච්චන්නේ ය. ගහ කොළ සිඳී, බිඳී ගිය ඒ කාන්තාරයේ පය ගසා සිටීමට නොහැකි තරමට ම පොළොව ගිනියම් ය. වියරු හිරු කිරණට රත්වන හිස කකියන තරම් ය. එහෙත් මනස දැවෙනුයේ මෙවැනි වනවිනාශයක් සිදු කරන තෙක් අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ දෑස් විවර නොවීම සම්බන්ධයෙනි.

දේශපාලන හිතවතෙක් මිහින්තලේ රක්ෂිතයේ ඉඩම් කොල්ල කයි

උතුර මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ‘මිහින්තලේ රක්ෂිතය’ 1924 වර්ෂයේ දී රක්ෂිතයක් ලෙස ගැසට් කරනවිට හෙක්ටයාර් තුන්දහස් ගණනකි. ඖෂධීය ශාකවලින් පෝෂිත මිහින්තලේ රක්ෂිතයේ අතිශය දුර්ලභ බෙහෙත් පැළෑටි බහුල බව ලැබෙන ආරංචි මාර්ග ය. දේශීය වෙදකමට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ඇවැසි බොහෝ බෙහෙත් වර්ග මිහින්තලේ රක්‍ෂිතයේ තිබෙන බව ප්‍රදේශවාසීහු ද අප සමග පැවසූහ. කළුවර, කළු මැදිරිය, බුරුත, පලු, වීර, කරඳ, කොහොඹ, සූරියමාර, සියඹලා ඇතුළු වටිනා දැව වර්ග රාශියක් ද මිහින්තලේ රක්‍ෂිතය පුරා ව්‍යාප්තව තිබේ. මුවන්, ගෝන්නු, ඌරෝ ඇතුළු විවිධ සිව් පා සත්ත්ව විශේෂ මෙන් ම මත්ස්‍ය විශේෂ රාශියක්, පක්‍ෂි විශේෂ රාශියක් මිහින්තලේ රක්‍ෂිතයෙන් හඳුනාගෙන තිබෙන බව ද වාර්තා වේ. ඒ අතර මෙරටට ආවේණික අතිශය දුර්ලභ සත්ත්ව විශේෂ බොහොමයක් මිහින්තලේ රක්‍ෂිතය තුළ ජීවත් වෙති. අවුරුද්දේ කාලයකට වනඅලි රංචු පැමිණෙන මිහින්තලේ රක්‍ෂිතය, නිදහසේ සතුන් නැරඹීමට හැකි දෙස්, විදෙස් පර්යේෂකයන් විසින් විවිධ පර්යේෂණ කටයුතු කරගෙන යන වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිත ප්‍රදේශයක් ලෙස ට ද ප්‍රසිද්ධ ය. එමෙන් ම මිහින්තලේ රක්‍ෂිතය මෙරට බෞද්ධ ඉතිහාසයත් සමග බැඳුණු ඓතිහාසික වනාන්තරයකි. පුරාවිද්‍යා ස්ථාන ද එමට ය. එමෙන් ම මිහින්තලේ රක්‍ෂිතය මිහින්තලේ වැව, කන්නක්කි වැව ඇතුළු වැව් විස්සක පමණ පෝෂක කලාපයක් බව විශේෂයෙන් ම සඳහන් කළ යුතුය. කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිහින්තලේ රක්‍ෂිතයෙන් ලැබෙන ප්‍රයෝජන මෙතෙකැයි කිව නොහැකි තරම් ය. එවැනි අතිශය පාරිසරික වටිනාකමක් සහිත මිහින්තලේ රක්‍ෂිතයට දැවැන්තම තර්ජනය එල්ල වී ඇත්තේ රාජ්‍ය ආයතනවලින් සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ගෙනි.

ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටු වීමට යැයි දන්වමින් වෙළෙඳ අමාත්‍යාංශයෙන් අක්කර 300කට වැඩි භූමි ප්‍රමාණයක් මිහින්තලේ රක්‍ෂිතයෙන් ඉල්ලුම් කර තිබෙන බව වාර්තා වේ. තෙල් සංස්ථාවට තව අක්කර 100ක් ඉල්ලුම් කර තිබෙන බව ද වාර්තා වේ. මිහින්තලේ නව නගර නිර්මාණයට තවත් අක්කර 500ක් වෙන් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. මිහින්තලේ රක්‍ෂිතයේ ඉඩම් අක්කර 25ක් ආයෝජන මණ්ඩලයට ලබාදී බොහෝ කාලයකි. රජරට විශ්වවිද්‍යාලය ඉදිකර ඇත්තේ ද මිහින්තලේ රක්‍ෂිතය තුළ ය. එම භූමි භාගය ද අක්කර 500කට අඩු නැත. තිස් අවුරුදු ත්‍රස්තවාදී අරගලය පැවැති සමයේ උතුර, නැඟෙනහිර අනාථ වැසියන් තාවකාලිකව පදිංචි කර ඇත්තේ ද මිහින්තලේ රක්‍ෂිතය තුළ පිහිටි අශෝකපුර ගමේ ය. එමෙන් ම භික්‍ෂු විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යැයි පවසමින් මේ රක්ෂිතයට යාබද කැලෑවකින් අක්කර පන්සිය ගණනක් ඉල්ලා තිබිය දී ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ මැදිහත්වී එම ව්‍යාපෘතිය නතර කළහ. ඒ අනුව මිහින්තලේ රක්ෂිතය මෙන්ම යාබද රක්ෂිත ඉඩම් ප්‍රදේශයේ දේශපාලනඥයන් කෝකටත් තෛලය බවට පත් කරගෙන සිටින බව පෙනේ. රජරට ට යෝජනා වන බොහෝ සංවර්ධන ව්‍යාපෘති මිහින්තලේ රක්‍ෂිතය ඇතුළු රජරට රක්ෂිතවලට රැගෙන යෑමට ප්‍රදේශයේ දේශපාලනඥයන් උනන්දු වනුයේ එම ව්‍යාපෘති නාමයෙන් රක්ෂිත ඉඩම් අල්ලාගැනීමට බව ප්‍රසිද්ධ කතාවකි. වනරක්‍ෂිතවල පාරිසරික වටිනාකම ගැන නොදන්නා, ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳින්න පිනක් නැති පව්කාරයන්ගේ ඉඩම් කොල්ලය හේතුවෙන් මේ වනවිට මිහින්තලේ රක්ෂිතය පමණක් අක්කර 1700කට කුඩා වී තිබෙන බව වාර්තා වේ. අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිහින්තලේ රක්‍ෂිතය මැද අක්කර 18ක් අල්ලාගැනීමට ව්‍යාජ බලපත්‍ර සකස් කර ඇත්තේ එවැනි විනාශකාරී පසුබිමක ය.

දේශපාලන හිතවතෙක් මිහින්තලේ රක්ෂිතයේ ඉඩම් කොල්ල කයි

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සමග සමීප සබඳතා පවත්වනු ලබන එම ව්‍යාපාරිකයා මිහින්තලේ රක්‍ෂිතයේ ඉඩම් කොල්ලකෑමට පටන්ගෙන ඇත්තේ අද ඊයේ නොවේ. 2021 වර්ෂයට එපිට කාලයේ සිට ය. වාර්තා වෙමින් තිබෙන තොරතුරු මත මේ භූමි කොල්ලයට රජයේ ඇතැම් නිලධාරීන් ද හවුල් ය. රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් රහිතව රක්ෂිතයකට ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට නොහැකිය. ප්‍රදේශයේ ඉහළ දේශපාලනඥයන් සමග සමීප සබඳතා පවත්වාගෙන යන මිහින්තලේ භූමි කොල්ලකරුවා විසින් ‘මිහින්තලේ රක්ෂිතයේ’ අක්කර 18ක බලපත්‍ර හතරක් සකස් කර තිබේ. රක්ෂිතය මැද අක්කර හයකට වැඩි වපසරියක මහා ගස් කපා හෙළා, භූමිය පුළුස්සා කටුකම්බි වැටක් ද ඉදි කර තිබේ. ලැබුණු ඔත්තුවක් මත 2021 වර්ෂයේ දී වනසංරක්‍ෂණ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් නීතිමය කටයුතු සිදු කර තිබුණ ද රක්‍ෂිත කොල්ලකරුවා ඉනිදු කැලෑ විනාශය නතර කර නොතිබිණි. ඔහු පෙර සේ රක්‍ෂිත කොල්ලය සිදු කරගෙන ගොස් තිබිණි. පසුගිය මාර්තු මාසයේ 17 වැනිදා වනසංරක්‍ෂණ නිලධාරීන් එම ප්‍රදේශයට යනවිට කුලීකරුවන් ද යොදා රක්‍ෂිත භූමියේ මහා ගස් කපා හෙළා, පොළොව පුළුස්සා තිබිණි. අඩි පහළොවක් පමණ උස පොල් ගහක් ද සිටුවා තිබිණි. තවත් පොල් පැළ දහයක් පමණක් සිටුවා තිබේ. කුරුඳු පැළ හැටකට ආසන්න සංඛ්‍යාවක් සිටුවා තිබිණි. බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩමේ ආරක්‍ෂාවට මුර කුටියක් ද ඉදිකර තිබිණි.

එහෙත් වනසංරක්‍ෂණ නිලධාරීන් මුඩු බිමට යන අවස්ථාවේදී එම භූමියේ කිසිවෙක් නොසිටි බැවින් පසුව ඔවුහු එම භූමිය අවට කැලේ රැකවලේ සිටියහ. 21 වැනිදා උදේ හතරදෙනකු ඉඩමේ වැඩ ට පැමිණියහ. සැඟ වී සිටි වනසංරක්‍ෂණ නිලධාරීහු අදාළ ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඔවුන්ව එම ස්ථානයට ගෙන්වා ගත්හ. අනතුරුව ඉඩමේ වැඩ කරමින් සිටි අයට පැන යෑමට ඉඩ නොතබා අත්අඩංගුවට ගත්හ. කටු කම්බි රෝල්, අඩු මිටි, කැති උදලු ඇතුළුව වගා කටයුතු සඳහා භාවිත කරන උපකරණ රාශියක් වනසංරක්‍ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබිණි. ඒ බව කන වැකුණු හයිරන්කාර රක්ෂිත කොල්ලකරුවා එම ස්ථානයට පැමිණ වනසංරක්‍ෂණ නිලධාරීන්ට සද්ද දමා අම්මාගේ පරම්පරාවෙන් උරුම වන ඉඩමක් බව ද පවසා තිබිණි. වත්තේ වැඩට කුලීකරුවන් යොදෙව්වේ ඔහු බව ද පිළිගත්තේය.

වහා ක්‍රියාත්මක වූ වනසංරක්‍ෂණ නිලධාරීහු අනුරාධපුර පොලිසියේ ද සහාය ඇතිව මුර කුටියේ සිටි පුද්ගලයාව සහ ඉඩමේ වැඩ කරමින් සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. එහෙත් සැකකරුවන් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබිණි. ඊට පහුවෙනිදා ක්‍රියාත්මක වූ රක්‍ෂිත කොල්ලකරු තම සේවකයන් යොදා මුඩු කළ රක්‍ෂිත ඉඩමේ තල වපුරමින් සිටිනවිට වනසංරක්‍ෂණ නිලධාරීහු නැවතත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. එදින අධිකරණය විසින් රක්ෂිත කොල්ලකරුට මිහින්තලේ රක්ෂිතයට ඇතුළුවීම තහනම් කර දැඩි සේ අවවාද කළේය. එමෙන්ම රක්‍ෂිත කොල්ලකරු සන්තකයේ තිබෙන ඉඩම් බලපත්‍ර හතර සම්බන්ධයෙන් කිසිම සටහනක් හෝ ලේඛනයක් නොමැති බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් විසින් වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ. අධිකරණ නියෝග මත අඩවි වනනිලධාරීවරයා විසින් විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙන බව ද වාර්තා වේ. ඒ අනුව මිහින්තලේ රක්ෂිත කොල්ලය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ. රජයේ ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර සකස් කිරීම බරපතළ වරදකි. ප්‍රශ්නගත ඉඩම් බලපත්‍ර හතරෙන් එකකට අනුරාධපුර හිටපු මහා දිසාපතිවරයකුගේ අත්සන ද යොදා ඇති බවත් එම අත්සන ඔහුගේ නොවන බවට ද වාර්තා වේ. අනුන්ගේ අත්සන් හොරට ගැසීම ද බරපතළ වරදකි. මිහින්තලේ රක්‍ෂිතයට ඉඩම් කොල්ලකරු විසින් බරපතළ වැරදි පොකුරක් සිදු කර තිබේ. ඔහුට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස සිහිබුද්ධියෙන් යුතුව අපි බලා සිටිමු. එමෙන්ම ඒ රක්ෂිත කොල්ලකරුට මිහින්තලේ රක්‍ෂිතයට ඇතුළුවීම අධිකරණයෙන් තහනම් කර තිබේ. එහෙත් මිහින්තලේ රක්‍ෂිතයේ ඉඩම් කොල්ලය නතර වී ඇති ද යන්න අපට තවම ගැටලුවකි. එවැනි පසුබිමක මේ කරුණු කිහිපයත් සටහන් තැබීම වැදගත් යැයි මට සිතිණි.

දේශපාලන හිතවතෙක් මිහින්තලේ රක්ෂිතයේ ඉඩම් කොල්ල කයි

මේ රට කෘෂිකර්මය මත පදනම් වී ඇති රටකි. කෘෂිකාර්මික රටක සම්පූර්ණ භූමියෙන් තුනෙන් එකක වනආවරණයක් තිබිය යුතුය. ඒ අනුව මෙරට තුළ 33.3%ක වනගහනයක් තිබිය යුතුය. 1815ට පෙර මෙරට 70%ක්, 80%ක් පැවැති ගණ වනගහනය මේ වනවිට 18%කට, 20%කට අඩු වී ඇත. ඉඩම් කොල්ලකරුවන් විසින් අදටත් රට පුරා වනාන්තර ප්‍රසිද්ධියේ විනාශ කරමින් සිටිය ද බලධාරීන් එය නොතේරෙන ගාණට සිටින බව ද ඇත්ත කතාවකි. එහෙත් ජාතියට හිතැති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඉලක්කය වී තිබුණේ රට තුළ පවතින වනගහනය 32%ක් බවට වැඩි කිරීමටය. දැන් නම් ඒ කතා නොඇසෙන තරම්ය. පවතින ආණ්ඩුව රටේ රක්‍ෂිත ‘කෝකටත් තෛලය’ බවට පත් කරගෙන සිටින බව නම් පෙනේ. එමෙන්ම විල්පත්තු රක්‍ෂිතයේ අක්කර දෙදහස් පන්සීයක් පමණ විනාශ කර අලුතින් ගම්මාන ඉදි කළ කාපාළු දේශපාලුවෝ අදට ද මේ රටේ දේශපාලන කරති. මොනරාගල දිස්ත්‍රික්කයේ පමණක් රක්‍ෂිත ඉඩම් අක්කර විසිදහසක් මිනිස් පරිභෝජනයට ගෙන ඇති ආකාරය ගැන සාක්‍ෂි සහිතව පසුගිය දිනක දිවයින ඉරිදා සංග්‍රහයෙන් අපි රටට හෙළිදරව් කළෙමු. උතුර, නැඟෙනහිර වනවිනාශය ගැන නිරන්තරයෙන් හෙළිදරව් කළෙමු. ඒ කතා බලධාරීන්ට නොඇසෙන තරම් ය.

එහෙත් සිදුවෙමින් තිබෙන වනවිනාශය හමුවේ සොබදහම ක්‍රියාත්මක වෙමින් සිටින බව පෙනේ. මේ වනවිටත් ගෝලීය උණුසුම ඉහළ ගොස් දේශගුණික විපර්යාස ඇතිවීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මේ මොහොත වනවිටත් දේශගුණික විපර්යාස හේතුවෙන් මුළු මහත් ලෝකවාසීන්ම විවිධාකාරයෙන් පීඩා විඳිමින් සිටින බව රහසක් නොවේ. අපේ රටේ ද ඍතු උඩු යටිකුරු වී පායන කාලයට වැසි කඩා හැළී, වැස්ස කාලයට ගිනි පත්තු වන තරමට ම පායන අයුරු කාලයක සිට අත්දකින යථාර්ථයයි. මේ සටහන තබන මොහොතේ ද මගේ ගත දහදියෙන් තෙත් වී ඇත්තේ මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා ය. සොබාදහමට අවනත නැති මිනිසුන්ගේ අමන ක්‍රියාකාරකම් නිසා මුළු මහත් රටට ම වන්දි ගෙවීමට සිදු වන කාලය වැඩි ඈතක නොවන බව කල් තියා දැනුම් දී තිබීම අපගේ යුතුකමකි.

එමෙන් ම රක්‍ෂිත හෙළිපෙහෙළි කිරීම පරිසර හානියක් පමණක් නොව, ජාතික විනාශයකි. ‘මේ අපේ රට’ කියන හැඟීමක් නැති උන් කැලෑ නොව, ඊටත් වඩා වටිනා පුරාවෘත්ත වුවද විනාශ කර ජනාවාස ඇති කරති. ඒ මිනිසුන්ට ඇවැසි මේ රටේ පැළවීමට පමණක් නිසාය. එවැනි කල්ලතෝනි රජයන රටක අපේ උනුත් මහ කැලෑ විනාශ කරනකොට හුස්ම හිර වී ජාතියම වඳ වී යන කාලය වැඩි ඈතක නොවන බව ද සිහි තබාගත යුතුය. එහෙයින් මේ රටේ වනආවරණය වැඩි කරන බවට බොරු පොරොන්දු එපාෟ දැනට තියෙන වනගහනය ආරක්‍ෂා කර දෙන්න කියා අපි රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. වනාන්තර රජයේ හෝ පෞද්ගලික දේපළක් නොවේ, මිහිතලයේ ජීවත් වන සියලු සත්ත්වයන්ට අයිති සම්පතක් බව ද මෙරට ආණ්ඩුවේ බලධාරීන්, සියලු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් මතක තබාගත යුතුය.

නීතිය දැඩිව ක්‍රියාත්මක වී මිහින්තලේ රක්‍ෂිත කොල්ලකරුගේ ඉඩම් කොල්ලය නතර වුවද පෙළගැසෙන කතාව අවසාන නැත. මිහින්තලේ රක්ෂිත කොල්ලයේ තවත් දිගුවක් ලබන සතියක ද ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් අපි දැනට නතර වීමු.

දේශපාලන හිතවතෙක් මිහින්තලේ රක්ෂිතයේ ඉඩම් කොල්ල කයි

තරංග රත්නවීර
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment