පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ වැඩි දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ මැයි දිනය කෙරෙහිය. මන්ද මෙවර මැයි දිනය දේශපාලන පක්ෂ විසින් තම තමන්ගේ බලය උරගා බලන්නට යොදාගෙන තිබූ පරීක්ෂණයක් බවට පත්ව තිබූ නිසාය…

මැයි දිනය කෙරෙහි වැඩිපුරම අවධානය යොමු කර සිටි ජාතික ජනබලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ හතර තැනක මැයි දින උත්සව හතරක් සංවිධානය කරමින් උත්සාහ කළේ උපරිමයෙන් තම ජන බලය ප්‍රදර්ශනය කිරීමටය. ඒ සඳහා වැඩිම කැපවීමක් හා වැඩිම අවධානයක් යොමු කළ කණ්ඩායම ලෙස කැපී පෙනුණේ ඔවුන්ය…

දෙවනුව සමගි ජනබලවේගය ද ලංකාවේ ස්ථාන දෙකක මැයි දින උත්සව පවත්වමින් තම ජන බලය උරගා බලන්නට උත්සාහ දැරීය. කොළඹට නාගරික සිංහල මුස්ලිම් ජනතාවත් තලවාකැලේ ප්‍රදේශයට පළමුව දිගම්බරම් යටතේ සංවිධානය වන වතුකම්කරු දෙමළ ජනතාවත් එක් රැස්කර තම බලය පෙන්වීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය උපරිම උත්සාහ දරා තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට අවශ්‍ය වූයේ දේශපාලනමය වශයෙන් බින්දුවටම වැටී ඇතැයි සමහරු විශ්වාස කරන තම පක්ෂයේ සැබෑ ජන බලය කුමක්දැයි නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමටය.

තත්ත්වය එසේ තිබියදී ජනාධිපති රනිල්ටත් එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් සමඟ බැඳී වතුකරයේ සංවිධානවල බලය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ලිඳුල, කොටගල ප්‍රදේශයේ එක් රැළියකුත් කොළඹ මාලිගාවත්ත පොලිසිය ඉදිරිපිට ප්‍රධාන රැළියකුත් පවත්වන්නට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කළේය….

අලියාට පෙනුම දෙන්න ප්‍රසන්න හා ආශු තරගයක….

ඉකුත් සෙනසුරාදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

එහි වඩාත් ආකර්ෂණීය තරග ඉසව්ව වූයේ අලියාට ඇස තැබීමේ තරග ඉසව්වය.

“සර්… අලියට ඇහැ තියන්න එන්න” සංවිධායකයකු ඇමැති ප්‍රසන්නට ආරාධනා කළහ.

“මම එන්නම්.. හැබැයි මට කලින් මෙතුමා ඔය තරගයට ගියොත් හොඳයි. මොකද මෙතුමා අලි අයිතිකාරයෙක්” ඇමැති ප්‍රසන්න කීවේ තමන් ළඟ සිටි ආශු මාරසිංහ පෙන්වමිනි.

“අනිවාර්යයෙන්ම, අපි මේ පාර හරියටම අලියට ඇහැ තියනවා.” ආශු කීවේ සිනාසෙමිනි.

“හැබැයි ගිය පාර ඔය වැඩේ කරගන්න බැරිවුණානේ” ළඟ සිටි අයකු කීය.

“මේකනේ මල්ලි අපි ගිය පාර මැච් එකට දැම්මේ ළදරු අලියෙක්. ඒ අලියා එතනින්ම කම්බස් වුණා. දැන් ඉන්නෙ රියල්ම රියල් අලි” ආශු ව්‍යංගාර්ථයෙන් කී කතාවට ඇමැති ප්‍රසන්න ද කොක්හඬලන්නට වූහ.

අනතුරුව ආශු තරගයට ඉදිරිපත් විය. ඔහු සෑහෙන වේලාවක් ගනිමින් නියමිත ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයකින් ඔහු ඇස සළකුණු කළේ ඇමැති ප්‍රසන්න ඇතුළු පිරිසගේ දිරිමත් කිරීම මතය.

“ඔන්න ඇමැතිතුමා මම අලියට ඇහැ තිව්වා” ආශු කීය.

“ඔව්.. අමාරුවෙන් හරි, හරියට ඇහැ තියාගත්තොත් ඔයාලටමයි හොඳ” ඒ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ හඬය.

“ඒ ගැන සැකයක් තියාගන්න එපා ඇමැතිතුමා.. ඒව වෙලාවට කෙරේවි” ආශු කීවේ ඇමැති ප්‍රසන්නගේ පිටට තට්ටු කරමිනි.

කළුතර සාදයක රාජිත චම්පික අචල රවී එකට…

අප්‍රේල් මාසයේ අන්තිම අවුරුදු සාද කීපයද පැවැත්වුණේ පසුගිය සති අන්තයේය. එවන් එක් සාදයක් කළුතර බුලත්සිංහල ආසනයේ කොබවක ගමේ එක්තරා ප්‍රසිද්ධ දේශපාලන මධ්‍යස්ථානයකය. ඒ වූ කලී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක මහතාගේ නිවසයි. දැන් ඒ නිවසේ සිටින්නේ ඔහුගේ බාල සහෝදරයා වන මංජුල රණවකයි…

“මේක තමයි අපේ දේශපාලන මධ්‍යස්ථානය. ඒ කිව්වේ සරත් රණවකගේ තාත්තා තමයි අපේ මුල්ම දේශපාලන ගුරුවරයා.” එසේ කීවේ චම්පික රණවක එතනට පැමිණ සිටි මාධ්‍යවේදීන් පිරිසක් වට කරගෙනයි. ඔහු සමග ඔහුගේ කණ්ඩායමේ කරුණාරත්න පරණවිතාන නිශාන්ත වර්ණසිංහ ඇතුළු කීප දෙනෙක් ද සිටියහ…

ඊට අමතරව දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයා වූ රාජිත සේනාරත්න ද සාදයට පැමිණ සිටියේය. සරත් රණවකගේ පියා සමග ඔහුටද ළඟ දේශපාලන ඇසුරක් තිබූ බව කියැවිණි. ටික වේලාවකට පසු කොළඹින් රවි කරුණාරත්නද එහි පැමිණියේ තවත් පිරිසක් වටකරගෙනය. ඒ පිරිස අතර අචල ජාගොඩ ද සිටින දුටු ඇතමෙකු පුදුමයට පත් වූහ…

පුදුම වෙන්න දෙයක් නෑ… දේශපාලන සම්බන්ධයක් නොතිබුණාට අපි හොඳ යාළුවෝ… අචල එසේ කීවේ මංජුල රණවක ගැනය. ටික වේලාවකට පසු බොහෝ දෙනකුගේ ළඟම මාධ්‍ය මිතුරෙකු වූ දිලිත් ජයවීර ද මේ සමාගමයට පැමිණියේය. මාධ්‍යවේදීන් දේශපාලනඥයන් කලාකරුවන් අතරට පැමිණි දිලිත්ද බොහෝ වේලාවක් යනතුරු කතාබස් කරමින් සෙල්ෆි ෆොටෝ ගනිමින් සිටියේ පසුබිමෙන් ඇසුණු සංගීතයටද අනුකූලතාවක් දක්වමිනි.

සේනක විජේසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිරෝෂන් ඇතුළු ටෙලි නාට්‍ය හා සිනමා කලාකරුවන් පිරිසක් ද සිටියහ. මලිත් ජයතිලක, දිනේෂ් දොඩංගොඩ ආදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද රැසකි. ඒ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයන් වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, රවි කුමුදේශ්, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසකුත් එකට එක් වී සිනහ වෙමින් කා බී ප්‍රීති වූයේ බලා සිටි මාධ්‍යවේදීන් පවා පුදුම කරමිනි.

දොස්තර බෙල්ලනත් එක්ක මාධ්‍යවල නම් ගහගන්නවා… මාධ්‍යෙවේදීන් ඇසූහ…

ඒ වෘත්තිය ජීවිතේ වෘත්තිය සමිති සටන්වල. පුද්ගලික ජීවිතයේ අපි හොඳ යාළුවෝ මචං… කියමින් කුමුදේශ් බෙල්ලනව බදා ගනිද්දී බෙල්ලනද ඊට අනුකූලතාව දක්වමින් කතා කළේය. සාදය මේ රටේ දේශපාලනය ගැන කතා බස් කළ සාකච්ඡාවක්ම වූහ. පසුදා පාන්දර දෙක පමණ වන තුරු මේ වාද විවාද සාද හා සංගීතය හමාරවී තිබුණේ නැත.

සෙසු අයගෙන් සටන් පාඨ රනිල්ගෙන් කම්කරු සහන…

මැයි දිනය දවසේ හොඳ පැහැබර කාලගුණයක් කොළඹ ප්‍රදේශයේ පැවතිණ. එමෙන්ම කඳුකර ප්‍රදේශවල පැවැති මැයි දින උත්සවවලටද කාලගුණයෙන් බාධා නොවීය. ඒ හේතුවෙන් ලංකාව පුරාම මැයි දින උත්සව හතළිහකුත් කොළඹ පමණක් මැයි පෙළපාලි හා රැළි දාහතරකුත් ඉතා සාර්ථකව අවසන් කරන්නට අපේ රටේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලට හැකිවූහ.

තම තමන්ගේ ජන බලය උරගා බලන්නට දේශපාලන පක්ෂ අධිතක්සේරුවෙන් යුතුව මැයි දින පෙළපාලි හා රැළි සංවිධානයක් කළත් අපේක්ෂා කළ මට්ටමේ ලක්ෂ ගණනින් ප්‍රතිඵල ඒ කිසිදු දේශපාලන පක්ෂයකට ලැබී තිබුණේ නැත. අපේ සිත මට්ටම කෙසේ වුවත් සැලකිය යුතු ජන බලයක් මැයි දිනය සඳහා කැඳවන්නට සමගි ජන බලවේගය හා ජාතික ජනබලවේගය සමත්ව සිටියහ. මේ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව කැපී පෙනුණේ බින්දුවටම වැටී ඇතැයි සමහර නිරීක්ෂකයෝ තක්සේරු කළ මොහොතක තවමත් තමන් ජනතාව අතර යැයි පෙන්වන මට්ටමේ ජන සහභාගිත්වයක් සහිතව සිය මැයි දින උත්සවය කොළඹ කැම්බල් පිටියේ සාර්ථකව පවත්වන්නට ඔවුන්ට හැකි වූ නිසාය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සතුටු විය හැකි මට්ටමේ සෙනඟක් මාලිගාවත්ත පොලිසිය ඉදිරිපිට පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය වෙතද පැමිණ සිටියහ. ජනාධිපතිවරයාට එම මැයි රැළියට සහභාගි වන්නට පෙර කම්කරු කොංග්‍රසය සංවිධානය කළ කොටගල මැයි රැළියට සහභාගි වන්නට අවශ්‍ය විය. ඔහු එම රැළියට සහභාගි වූයේ වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව වෙනුවෙන් ත්‍යාගයක්ද රැගෙනය. ඒ වූ කලි ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමේ ශුභාරංචියයි. එම සුභ ආරංචිය නිවේදනය කළ ජනාධිපතිවරයා තම කතාවේ ඉතුරු කොටස කරගෙන යෑමේ අවස්ථාව මනුෂ නානායක්කාර ඇමැතිවරයාට භාර කළේය.

කොටගල රැස්වීමට ගොස් ජනතාව වෙනුවෙන් තෑග්ගක් දී ආපසු කොළඹ එමින් සිටි ජනාධිපතිවරයාගේ දුරකථනයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කතා කළේය.

“සර් වතුකම්කරු ජනතාවගේ පඩි වැඩි කරපු එක වේලාසන වතුකරයට ගිහින් නිවේදනය කරපු හින්දා සමහර පක්ෂ නායකයෝ වතුකරේදී කරන්න ඉඳපු කතා පවා වෙනස් කරන්න වෙලා. ඒගොල්ලන්ගේ සටන් පාඨත් වෙනස් වුණා. නරකද කොළඹ රැස්වීමටත් සර් ඇවිල්ලා අනිත් රැස්වීම්වල නායකයෝ කතා කරන්න ඉස්සෙල්ලා කතා කළොත්. කම්කරු ජනතාවට අපි ලබාදෙන සහන ටික සර් කලින් කිව්වම අනිත් පක්ෂවල සටන් පාඨත් අහෝසියි..” දිනෙත් ගේ කතාවේ ලොජික් එක තේරුම් ගත් රනිල් මේ රැළියේ අවසාන කතාව ලෙස කරන්නට සිටි තම කතාව වෙනස්කර මැදදී කතා කරන්නට තීරණය කළේය.

“ඒක හොඳයි සර්… කතා කරන්න අන්තිම වෙනකන් හිටියොත් සමහර වෙලාවට දුරින් ආපු මිනිස්සු ගිහින්. අනිත් එක මේ දවස්වල කාලගුණයද ඒ තරම් හොඳ නෑ. කොයි වෙලේ පැත්තම යට වෙන්න වහීද දන්නෑ. කලින් කතා කරන එක තමයි හොඳ…” පාලිත රංගේ බණ්ඩාර ද කීවේය.

ඒ අනුව මරදාන රැස්වීමට සහභාගි වූ රනිල් තම අවසන් කතාව රවි කරුණානායකට දී හතරයි විස්සට මනුෂ්‍ය නානායක්කාර කතා කළාට පසු කතා කරන්නට තීරණය කළේය.

රනිල් සිය කතාවේදී කවුරුවත් භාර නොගත් අභියෝගය තමන් භාර ගත් හැටි විස්තර කරමින් එදා සිට වැටුණු රට ගොඩගන්නට තමන් තනිවම කළ කැපවීම පැහැදිලි කළේය. අවුරුදු දෙකක් ඇතුළත සියලු අභියෝග ජයගෙන වර්තමානයේ රට පවතින තැනට පැමිණි දුෂ්කර ගමන ඔහු විස්තර කළේ ඒ අතරතුර ජනතාවට ලබා දෙන්නට හැකි වූ සහන හා ජයග්‍රහණ ද මතක් කරමිනි. ඔහු වඩාත් දිගු කතාවක් කළේ නැත. කෙටියෙන් කතා කළ රනිල් ඉදිරියේදී ලබාදෙන සහන ගැන ද සඳහනක් කරමින් සිය කතාව අවසන් කර ජනතාව අතරට බැස්සේය….

රැළිය අවසානයේ දිනිත් චින්තක කරුණාරත්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට කතා කළ ජනාධිපතිවරයා මැයි දිනයේ පැවැත් වූ රැළි හා පෙළපාලි පිළිබඳ සවිස්තර වාර්තාවක් ගෙන්වා ගත්තේය. දිනිත් පැයක් ඇතුළත එම වාර්තාව ලබාදුන් අතර ජනාධිපතිවරයා කළේ ඒ ඒ පක්ෂවලට හා ඒ ඒ රැළිවලට සහභාගි වූ ජන කණ්ඩායම් අධ්‍යයනය කරමින් රටේ වර්තමාන ජන මතය පිළිබඳ අධ්‍යයනයක නිරත වීමය.

රැස්වීම අවසන් වූ පසු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එක්වී මැයි දිනයේ ක්‍රියාකාරකම් ගැන කතාබස් කරමින් සිටියහ…

මෙහිදී ආශු මාරසිංහ කතාව ආරම්භ කළේ සමගි ජන බලවේගය පැත්තෙන් සිදුව ඇති අඩුපාඩු පෙන්වා දෙමිනි… තලතා රාජිත හකීම් බදියුදීන් වැනි අයගේ සහභාගිත්වයක් නොතිබීම ඔහු හුවා දැක්වූවේය.

“ජවිපෙත් හතර වටේට සෙනඟ ඇදලා. හම්බන්තොටින් පවා මාතරට ගෙනිහින්…” වජිර කීවේය.’

“මේ පාර සමස්තයක් වශයෙන් බලනකොට මැයි දිනයට ආපු කාන්තාවෝ ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි තරුණ පරපුරේ සහභාගිත්වයත් වෙනදාට වඩා අඩුයි…” ජනාධිපති රනිල් තමන් වෙත එවා තිබූ වාර්තා කියවමින් තක්සේරුවක යෙදුණේය…

මැයි රැළිවලට පෙළපාලිවලට තරුණයෝ ආවේ නැති වුණාට බලන්නකෝ මරදානේ දැන් තියෙන අපේ සංගීත සංදර්ශනයට කොච්චර තරුණයෝ ඉන්නවද කියලා… එහෙම බැලුවාම යූඑන්පී එකට විතරයි කොළඹ තරුණ තරුණියෝ ඉන්නේ…” ඇමැති මනුෂ කීවේය.

ජේවීපී එකත් තැන් හතරකට ජනතාව ගෙනල්ලා මැයි රැළියේදී තමන්ගේ උපරිමය පෙන්නුවා. සමගි ජනබලවේගයත් තැන් දෙකකට ජනතාව ගෙනත් උපරිමය පෙන්නලා ඉවරයි. හැබැයි මෙතෙන්දි යූඑන්පී එකයි පොහොට්ටුවයි ඒගොල්ලන්ගේ උපරිමය පෙන්නුවේ නෑ. අපේ අය නම් මේ එළියට බහින්න පටන් ගත්ත විතරයි. අනිත් පැත්තට බැලුවාම ආණ්ඩුවට පාර්ශ්වකරුවන් විදියට සහභාගි වන අපියි යූඑන්පී එකයි තොණ්ඩාමන්ලයි වෙනුවෙන් එකතු වෙච්ච සෙනඟ ගණන් හැදුවාම ඔය කියන මහා ලොකු විපක්ෂයේ පක්ෂ දෙකම පරාදයි…” මදුර විතානගේ අමුතුම පැත්තක් හෙළිදරව් කළේ එසේය.

ආණ්ඩු පිලේ අපේක්ෂක ධම්මික ද, රනිල් වෙයිද…

මැයි දින රාත්‍රියේ කොළඹ ඉහළ පෙළේ හෝටල්වල හා අවන්හල්වල එක්කාසු වූ දේශපාලනඥයෝ මෙන්ම ව්‍යාපාරිකයෝ හා වෘත්තියවේදීහු එදින පැවැත්වූ මැයි දින පෙළපාලිවල විස්තර කතාබහ කරමින් සිටියහ. එවන් ස්ථාන ගණනාවකි. විශේෂත්වය වූයේ විවිධ පාර්ශ්වයන් නියෝජනය කරමින් දේශපාලනඥයන් හා ව්‍යවසායකයන් ඒ ඒ තැන්වලට ගොනුව සිටීමයි. ස්ථානයක ඒකාරාශී වූ කණ්ඩායමක් ඉදිරියේදී එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන සාකච්ඡා කරමින් සිටියහ.

ඔවුන්ගේ එක් මාතෘකාවක් වූයේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද නොවේද යන්නයි. රනිල් නිසැක ලෙසම ජනාධිපති අපේක්ෂකයා ලෙස ආණ්ඩු පක්ෂයේ කඳවුර නියෝජනය කරමින් සහභාගි වන බවට එතන සිටි ආණ්ඩු හිතවාදීන් තර්ක කළත් වෙනත් මතයක් දරමින් සිටි ව්‍යවසායකයෝ තම තර්කය ඉදිරිපත් කළහ…

“දැක්කද අද බැසිල් ළඟින්ම වාඩිවෙලා හිනාවෙවී මැයි දින රැළියේ හිටියේ කවුද කියලා…”

“ඔය කියන්නේ ධම්මික පෙරේරා ගැනනේ. ධම්මික පෙරේරා කියන්නේ ආරාධිතයෙක්. එයා පොහොට්ටුවේ මැයි රැළියට වියදම් කළා කියලත් ආරංචියි. ඉතින් එයාට ආසනයක් නොදී කොහොමද…”

එහෙමෙයි කියල ඉස්සරහම පෙළේ බැසිල් ළඟම සීට් එක ධම්මිකට දෙන්න වෙන හේතුවක් නැද්ද… ඕගොල්ලෝ පිළිගත්තත් නැතත් මං කියන්නම් සිද්ධ වෙන දේ. මේ මුලින් මහ ඡන්දයක් නොතියා ජනාධිපතිවරණය තියෙනවා නම් පොහොට්ටුවයි යූඑන්පීයයි අනෙක් පොඩි පොඩි පක්ෂයි ඔක්කොම එකතුවෙලා ජනාධිපති පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්නේ රනිල් නෙවෙයි. ධම්මික තමයි ඉස්සරහට දාන්නේ.”

“ඕක පරණ කතාවක් නේ… දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජාත්‍යන්තරය පවා අද රනිල් වෙනුවෙන් කැම්පේන් කරනවා. පොහොට්ටුවේ සාගරලා විතරයි රනිල් දානවා කියල තවම තීරණය කරල නෑ කිය කිය කල්මරන්නේ. නාමල් පවා පහුගිය දවස්වල කිව්වේ අලියා අත ඇරලා පොදු ලකුණකින් එනවා නම් රනිල් ගැන පවා සලකා බලනවා කියලයි. ඒ කියන්නේ ඒගොල්ලෝ දැම්ම කියන්නේ නෑ…” එසේ කීවේ ප්‍රබල රනිල්වාදියෙකි.

“මං කියන්නං ඕගොල්ලන්ට බැසිල් මහත්තයා කියපු කතාව. බැසිල් මහත්තයයි රනිලුයි මේ පහුගිය සතියෙත් එකතු වෙලා මේ ගැන කතා කළානේ. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවන්න කලින්. ඒ වෙලාවේ ඒ දෙන්නා විතරක් ඉඳගෙන කතා කරල තියෙන්නේ ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් කරන එක ගැන. මැයි දිනයේ ජනතාව එකතු වන හැටිත් අධ්‍යයනය කරලා ජුනි මාසේ මුල රනිල් ඉල්ලනවද නැද්ද කියන එක නිවේදනය කරනවා කියලයි බැසිල් මහත්තයා අපට නං කිව්වේ.” එසේ කීවේ නෙළුම් මාවතේ ප්‍රබල සාමාජිකයෙකි.

“ඕගොල්ලෝ මේක හොඳට අහගන්න ධම්මිකල මහින්ද මහත්තයලා ඊටත් පස්සේ මේ පහුගිය සඳුදා හක්මනදී එකට හමුවුණා. ඒක කොහෙවත් නෙවෙයි. හක්මන ගාමිණී සේදර සෙනරත් වලව්වේදී. එතනදි වෙච්ච දේ ගැන මේ කවුරුවත් දන්නේ නෑනේ. මම කියන්නම්…”

“ඔය කියන්නේ අර ජෝර්ජ් රාජපක්ෂ මහත්තයාගේ නංගිගේ මළ ගෙදර වෙලාවේ වෙච්ච සාකච්ඡාවක් ගැන නේද..? මං දැක්ක මොකක් හරි වෙබ් සයිට් එකක ගහලා තියෙනවා ඔය වගේ කතාවක් ගොතලා… ඒ වෙලාවේ ධම්මිකත් එක්ක සාකච්ඡාවක් වුණා කියලා.” තවත් අයෙක් කීවේය.

“මෙහෙමයි වුණේ. පහුගිය 28 වැනි ඉරිදා ධම්මිකගේ ඩී.පී.එඩියුකේෂන් රැස්වීමක් තිබුණා මාතර සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ. ඒක පට්ට සාර්ථක රැස්වීමක්. දහදාහක් විතර සෙනඟ ආවා. මිනිහා ෂෝට් ස්විට් ටක්ගාලා ඉවර කරනවනේ. ඉවර කරලා කොළඹ යන්න හදනකොට තමයි ඔතනට ඇවිල්ල කතරගම දේවාලේ බස්නායක නිලමේතුමා, ඒ කිව්වේ ඩිෂාන් ගුණසේකර යමු හක්මන මළගෙදර කියල ධම්මිකට කියන්නේ. ඔන්න දෙන්න එක්ක ගියා.

යනකොට තමයි ආරංචි වෙලා තියෙන්නේ මහින්ද මහත්තයලා බැසිල්ල නාමල්ලා ඔක්කොම ඇවිත් මළගෙදරට සහභාගි වෙලා ගාමිණී සෙනරත්ලයි ගෙදර ඉන්නවා කියලා. මේගොල්ලොත් එතෙන්ට ගිය වෙලාවේ ධම්මික එනවා දැකල මහින්ද මහත්තයා කියලා තියෙනවා ඔන්න අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂක එනවා කියලා. කථානායක මහින්ද යාපත් ඉඳලා ඔතන. මහින්ද මහත්තයාගේ කතාව හින්දා හැමෝම විෂ් කළාලු….”

ඒ වෙලාවේ ධම්මිකත් ඒ ගැන කතා කර කර ඉන්නකොට තමයි ඔය ගැන සාකච්ඡා වෙලා තියෙන්නේ. සාකච්ඡාව රෑ 11 වෙනකන් ඇදිලා. කොහොම හරි ධම්මිකව දාන එක ගැන රාජපක්ෂවරු අතර එකඟතාවක් තියෙනවා. මට ඒක හොඳටම ෂුවර්…” පෙර කී නෙළුම් මාවතේ ප්‍රබලයා ස්ථිරවම එසේ කියා සිටියේය.

“ධම්මිකටත් යන යන තැන සෙනඟ නේද. මාතර රැස්වීමට දහ දාහක් ආවා කියලා ඔයා කොහොමද කියන්නේ?”

“අපි ඒවා ගණන් කරන්නේ ඔළු ගෙඩි ගාණ ගණන් කරලා නෙවෙයි. එතකොට කෑම ඕඩර් එක බාරගන්න රෙස්ටුරන්ට් එක අල්ලගෙන කෑම කීයක් ඕඩර් කරාද කියලා අහලා.”

“වැඩිපුර ඕඩර් කරනවනේ..?”

“ඔව්… හාර පන්සීයක් වැඩිපුර ඕඩර් කරනවා තමයි. හැබැයි ඒ ගාණ ඇරලා නියම ගාණ ගන්න පුළුවන්. මැයි දිනවලට එන සෙනඟ හොයන්නෙත් ඔහොම තමයි. බත් පාර්සල් ගාණෙන්…”

අර්ථසාධක ප්‍රතිලාභ වැඩිවුණේ ගෙවිඳු නිසාලු

ජනාධිපතිවරයා මෙවර මැයි දිනයේදී තමන්ගේ රජය වැඩ කරලා ජනතාවට ලබාදෙන සහන පිළිබඳ යම්කිසි හෙළිදරව්වක් කළේ සිය කතාව අතරතුරයි. එහෙත් ඔහුට හරියාකාරව හෙළි කරන්නට බැරි වූ කරුණු ද කීපයක් තිබිණි. 2023 වසරේ සිට ඊ.පී.එෆ්/ ඊ. ටී. එෆ්. වෙනුවෙන් ප්‍රතිලාභ ලාභීන්ට මහ බැංකුව ගෙවන පොලී මුදල 9% සිට 13% දක්වා වැඩි කරන්නට පසුගියදා රජය තීන්දුවක් ගත්තේය. පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මැයි දිනයටත් පෙර මේ පිළිබඳ හෙළි කළේ රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරයාය.

පසුගිය මාස හත අටක කාලයක් තුළ මේ ජයග්‍රහණය ඊපීඑෆ්/ඊටීඑෆ් ප්‍රතිලාභීන්ට ලබා දෙන්නට තනිව සටන් කළ මන්ත්‍රීවරයෙක් සිටියේය. ඒ ගෙවිඳු කුමාරතුංගයි. ගෙවිඳු පෙන්වා දුන්නේ රටේ බහුතර වැඩ කරන ජනතාවගේ ප්‍රතිලාභ 9%ක් වශයෙන් තබාගෙන මහ බැංකුවේ සේවකයන්ට පමණක් 18%ට ආසන්න පොලියක් ලබාදීම තුළ පොදු ජනතාවට සිදුවන අසාධාරණය ගැනයි. පොදු ජනතාවටත් එම ප්‍රතිලාභය ලබා දෙන්නට තරම් මහ බැංකුවේ ආයෝජනවල ලාභය පොහොසත්ව තිබියදී එම ප්‍රතිලාභය මහජනතාවට ලබා නොදෙන්නේ මන්දැයි කියා පසුගිය දිනෙක ගෙවිඳු අධිකරණය හමුවට ගියේය.

රජය පසුගියදා 2023 වසරේ සිට එම ප්‍රතිලාභය 13% දක්වා වැඩි කරන්නට තීරණය කර ඇත්තේ ගෙවිඳුගේ නඩුව අධිකරණයේ විමසමින් තිබෙන අතරතුරය.

පසුගිය දිනක ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවන්නට ජාතික සංවිධාන ගණනාවක නියෝජිතයින් පැමිණි අවස්ථාවේ ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ ජයග්‍රහණය ගැන ගෙවිඳුට ස්තුති කළහ.

“අර්ථසාධක අරමුදල්වල ප්‍රතිලාභ වැඩි කරන්න ගෙවිඳු තනිවම සටනක් කළා. හුඟක් කම්කරුවෝ ගැන කතා කරන අය ඒ සටනට උදව් කළේ නෑ. හැබැයි දැන් ඒ සටන ජයග්‍රහණය කරන තැනට ඇවිල්ලා. මුළු රටේම වැඩ කරන ජනතාව සේවක අර්ථසාධක අරමුදල් ලබන, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්වල ප්‍රතිලාභ ලබන හැමෝම මේ ගැන ගෙවිඳුට ස්තූතිවන්ත විය යුතුයි…” කියමින් ගුණවංශ හිමියෝ ගෙවිඳුට ආශිර්වාද කළේ ඒ අවස්ථාවේදීය.

බොහෝ දෙනා සිටියේ මේ ප්‍රතිලාභය පිළිබඳ ජනාධිපතිවරයා සිය මැයි දින කතාවේදී හෙළිදරව්වක් කරනු ඇතැයි කියාය. එහෙත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් එවන් හෙළිදරව්වක් සිදුව තිබුණේ නැත.

යන්න හදපු ප්‍රසන්නව මහින්ද බැසිල් නවතයි

ඇමැති ප්‍රසන්න මැයි දින රැස්වීම අතරතුර නැගිට මහින්ද ළඟට ගියේ ආපසු යන්නටය. තමන්ට හදිසි වැඩක් ඇතැයි කියමින් ඔහු මහින්දගෙන් රැස්වීමෙන් පිටව යෑමට අවසර ඉල්ලුවේය. ප්‍රසන්නගේ අතින් අල්ලා ගත් මහින්ද “කොහේ යන්නද ඔහොම ඉන්න” යැයි ප්‍රසන්නට කීවේය. මෙය ඇසුණු බැසිල් ද ප්‍රසන්නගේ අතින් අල්ලා ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට පිටු පාන්නට ඇමැති ප්‍රසන්නට නොහැකි විය. ඒ අනුව ඔවුන් අසල පුටුවකින් වාඩි වූ ඇමැති ප්‍රසන්නට ඊළඟ කතාව කරන ලෙස ද ආරාධනා ලැබිණි.

මෙතෙක් වෙලා බෑ කියමින් සිටි ඇමැති ප්‍රසන්න මැයිදින රැලියේ කතාව පැවැත්වූයේ ඒ අනුවය.

“අපි හැමවිටම බලන්න ඕන අපේ පාක්ෂිකයන් රැක ගන්නයි. ඒ මිනිස්සු ගුටි කෑවේ, ගෙවල් දොරවල් නැති කරගත්තේ අපි නිසා. අපේ අලුත් ජාතික සංවිධායකතුමා ඒ වැඩ ටික ගාණට කරගෙන යනවා. ජනාධිපතිවරණයේදී පක්ෂය රටටත්, ජනතාවටත් හිතකර තීන්දුවක් ගන්නවා” ඇමැතිවරයා කීවේ දැඩි අත්පොළසන් මැදය. මැයි දින රැලිය අවසානයේදී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ, ඩී.වී. චානක, සාගර කාරියවසම් වේදිකාවෙන් බැස පැමිණියේ ජනතාව ළඟටය. ඒ ඔවුන් පිටත් කර හැරීමටය. ඔන්න කට්ටිය කිවුවා පොහොට්ටුව ඉවරයි කියලා තිස්සකුට්ටි කතාවක් ආරම්භ කළේය.

නව සන්ධානයේ දේශපාලන කටයුතු ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි පළමු පියවර හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කර ගනිමින් සිදුකිරීමටයි නව සන්ධානයේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ඊට අමතරව දැනට ස්වාධීන කරන ලද නව සන්ධානයේ වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියත් සමග රාජගිරිය පක්ෂ මූලස්ථානයට වැල නොකැඩී වෘත්තීය සමිති නායකයින් සහ සාමාජිකයන් පැමිණෙන්නට පටන් ගෙන තිබේ.

ඊට හේතුව වෘත්තීය සමිති ඉතිහාසයේ කවරදාකවත් නොගත් තීන්දු තීරණ රැසක් නව සන්ධානයේ ප්‍රධානීන් ගෙන තිබීමයි.

ඉන් ප්‍රධාන කරුණ වන්නේ පක්ෂ මුට්ට කාසි ක්‍රමය තුරන් කිරීමයි.

වෘත්තීය සමිති නියෝජිතයින් ලේ දහදිය වැය කරමින් ගන්නා වැටුපෙන් කොටසක් දේශපාලන පක්ෂයේ සුඛවිහරණය වෙනුවෙන් යොදා ගැනීමේ ක්‍රමය නව සන්ධානයේ වෘත්තීය සමිති සන්ධානය අහවර කර දැමුවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment