රජයක් පවත්වාගෙන යෑමට නම් රජයට ආදායම් අවශ්‍ය වේ. මේ රාජ්‍ය ආදායමේ සියයට 90 ක් පමණම තිබෙන්නේ බදු ආදායම්ය. කාලයක් තිස්සේම අපේ බදු ආදායම ගතහොත් එහි සියයට 80ක් පමණම තිබෙන්නේ වක්‍ර බදුය. එනම් වැට් බද්ද වැනි භාණ්ඩ හා සේවා මත පනවන බදුය. සෘජු බදු එනම් ආදායම හෝ ධනය මත පනවන බදු ආදායම ඇත්තේ සියයට 20 ක් වැනි සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. මේ නිසා භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු ප්‍රමාණය වැඩිවීමෙන් අදහස් කරන්නේ රාජ්‍ය බදු ආදායමෙන් වැඩි බරක් දරන්නේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා බවයි. එහෙත් දියුණු රටවල සෘජු බදු හරහා වැඩි බදු ආදායමක් උපයා ගනී. මේ අනුව බොහෝ කලක් තිස්සේම අපේ පසුගිය රජයන්ගෙන් අපට ඇසුණු කතාවක් නම් මේ වක්‍ර බදු ප්‍රතිශතය සියයට 80 සිට සියයට 60 ක් පමණ දක්වා අඩු කරගෙන සෘජු බදු ප්‍රතිශතය සියයට 20 සිට 40 ක පමණ දක්වා වැඩි කරගන්නා බවයි. එහෙත් ඒ කියන දෙය මෙතෙක් යථාර්ථයක් බවට පත්ව නැත. මේ නිසා සුපුරුදු පරිදි දිගින් දිගටම අපේ රටේ වැඩි බදු බරක් දැරීමට සිදුව ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාටය.

පසුගිය කාලයේ රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේ එම අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය රජය විසින් ලබාගෙන ඇත. ඒ සඳහා එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුව අපේ බදු ආදායම් වැඩි කර ගැනීමට සිදුව ඇති අතර එහිදී ද වත්මන් රජය වැඩි වශයෙන් කළේ ලේසියටම වක්‍ර බදු ප්‍රතිශත කිහිප වරක්ම වැඩි කිරීමයි. මේ අනුව රජය විසින් වැට් බදු ප්‍රතිශතය සියයට 18 දක්වාම වැඩි කර ඇත. මේ නිසා සාමාන්‍ය ජනයා මේ වන විට අති විශාල බදු බරකට සහ අධික බඩු මිලකට මුහුණ දී සිටිති. එහෙත් ඔවුන්ගේ ආදායම් මට්ටම් ඒ පමණට කිසිසේත්ම වැඩි වී නැත. මේ නිසා පසුගිය කෙටි කාලයක් තුළ ජීවන වියදම විශාල වශයෙන් වැඩි වීමෙන් අධික මිල පීඩනයකට මුහුණ දීමට සාමාන්‍ය ජනයාට සිදුව ඇත. මේ නිසා මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා රජය විසින් වැඩි වශයෙන් සෘජු බදු ආදායම් උපයාගත යුතු වේ. එහෙත් අප දන්නා දෙයක් නම් අපේ රටේ කාලයක් තිස්සේම බදු ගෙවීමේ හැකියාව හා ශක්තිය ඇති විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බවයි. මේ අය ක්‍රමයෙන් බදු දැලට එකතු කරගෙන රටේ බදු ගෙවන ආයතන හා පුද්ගලයින් ප්‍රමාණය (බදු පදනම) වර්ධනය කර ගැනීමෙන් තනි තනි බදු ගෙවන පුද්ගලයන් මත පැටවෙන බර අඩු කරගත හැකි වේ. එහෙත් මේ සඳහා රජයට හෝ ආදායම් උපයන දෙපාර්තමේන්තුවලට හෝ කෙතරම් දුරට වුවමනාවක් තිබේ ද යන්න නම් ප්‍රශ්නයකි.

සාමාන්‍ය ජනයාට බදු පිට බදු අරක්කු සමාගම්වලින් බදු පොලු

සාමාන්‍ය ජනයාට නම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී බද්ද භාණ්ඩයේ මිලට එකතු වී ඇති නිසා එම බදු පැහැර හැරිය නොහැකිය. එහෙත් බලවත් පුද්ගලයන් රජයට බදු ගෙවීම පැහැර හැරීම සඳහා නොයෙකුත් උපක්‍රමයන් භාවිතා කරමින් සිටින බව ද පෙනේ. මේ අනුව 2023 වසරේ දී ආදායම් බදු ගෙවීම් ලද චෙක්පත් 3,274 ක් අගරු වී ඇති බවත් එම චෙක්වලින් රු. බිලියන 1,948 ක මුදලක් රජයට ලැබීමට නියමිතව තිබූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා මාධ්‍යයට සඳහන් කර තිබුණි. මේ අනුව චෙක්පත් මාර්ගයෙන් ආදායම් බදු ගෙවීම ගැසට් පත්‍රයක් හරහා නවතා ඇති බව ද ඇමැතිවරයා කියයි. කෙසේ හෝ ගෙවිය යුතු බදු මුදල සඳහා චෙක්පතක් ලබා දී ඇත්තේ ඔහු එම බද්ද ගෙවීමට එකඟ වී ඇති නිසාය. රු. බිලියන 1,948 ක් යනු සුළු පටු මුදලක් නොවේ. ඒ නිසා මේ බදු මුදල් වහාම රජයට අය කර ගැනීමට ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පසුගිය අප්‍රේල් 24 දින එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ගිය වසරට (2023) අදාළව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1 ක් බව ද අනාවරණය වී ඇත. ඒ අනුව ලබන ජූනි 30 වැනිදා වන විට 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට වහාම කටයුතු කරන ලෙස එම කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. එසේම බදු නොගෙවා පැහැර හරින ලද මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර, බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස එම කාරක සභාව විසින් මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශයක් ලබා දී තිබුණි. එහෙත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කාරක සභාවේ එම නිර්දේශය නොසලකා හරිමින් කටයුතු කර ඇත. එහෙත් එසේ කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් හෝ උපදෙස් ලැබී නොතිබුණු බවට ද කාරක සභාවේ දී අනාවරණය විය. මේ නිසා තම කාරක සභාවේ නියෝගය නොසලකා කටයුතු කිරීම පිළිබඳව කාරක සභා සභාපති චම්පික රණවක මහතා විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගෙන් දැඩිව ප්‍රශ්න කරනු දක්නට ලැබුණි. එහිදී ගුණසිරි මහතා පිළිතුරු ලෙස කියා තිබුණේ ආයතන වසා දැමීම බරපතල තීන්දුවක් බවයි. එවිට වර්තමාන බද්ද හෝ අය කර ගැනීමට අපහසු වනු ඇති බවයි. එහෙත් කාරක සභාවේ සභාපති චම්පික රණවක මහතා ඉතා පැහැදිලිව අවධාරණය කළේ කිසිදු ආයතන වැසිල්ලක් නැති බවත් සිදු කරන්නේ තාවකාලිකව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමක් පමණක් බවයි. එය අපට ද තේරුම් ගත හැකිය. සාමාන්‍ය ජනයාට බදු පිට බදු ගසද්දී මේ අරක්කු නිෂ්පාදකයන් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවට තිබෙන අමුතු කරුණාව කුමක් ද යන්න අපට ද පැහැදිලි නැත.

මේ නිසා කාරක සභා නිර්දේශය කඩ කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ලබාදුන් පිළිතුරෙන් සෑහීමට පත් විය නොහැකි බව කාරක සභා සභාපතිවරයා විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇත. මෙසේ ජූනි 30 වැනිදා වන විට 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට වහාම කටයුතු කරන ලෙස එම අලුත් නිර්දේශය ලබා දී ඇත. මේ රටේ කිසිම මත්පැන් අලෙවි සලක් ණයට අරක්කු අලෙවි කර නැත. ඒවා අලෙවි කරන්නේ අත්පිට මුදලටය. ඒ නිසා එම පාරිභෝගිකයන්ගෙන් දැනටමත් අයකරගෙන ඇති රජයේ ඒ බදු මුදල් මත්පැන් නිෂ්පාදකයින් විසින් රජයට නොගෙවා රඳවා තබාගෙන සිටීම බරපතල කරුණකි. ඒ නිසා අපත් සිතන්නේ ඒ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තම බලය ප්‍රකාරව දැඩිව ක්‍රියාකළ යුතු බවයි. රජය විසින් සාමාන්‍ය ජනයාට බදු පිට බදු පනවා තිබිය දී මත්පැන් නිෂ්පාදකයන්ට මෙසේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නම් විමතියට කරුණකි. මේ බදු අයකර ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කෙරෙහි ද නොයෙකුත් සැකසංකා ඇති විය හැකිය. ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිටින කාලයේ සිටම මේ ලියුම්කරු දන්නා පැරණි හිතවතකු වන එම්.ජේ. ගුණසිරි මහතාට අප සිහිපත් කිරීමට කැමතිය. ඒ නිසා මෙවැනි බදු පැහැර හැරීම් ගැන දැඩිව ක්‍රියාකර ඒවා රජයට අයකර ගැනීමට සියලුම ආදායම් දෙපාර්තමේන්තු කාර්යක්ෂමව කටයුතු කරන්නේ නම් සාමාන්‍ය ජනයාගේ බදු බර සහ ආර්ථික පීඩනය සමනය කරගත හැකි බව අපගේ අදහසයි.

පාර්ලිමේන්තුවේ දී රැස් වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කැඳවා තිබිණ. එහිදී සුරාබදු දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින් ලබා දුන් නියෝග කිහිපයක ප්‍රගතිය විමසූ අතර එම නියෝග කර තිබූ කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට ලබා දී ඇති වාර්තාව පිළිබඳ මෙම සභා වාරයේ දී විශේෂයෙන් සලකා බලා තිබේ.

මෙහිදී බදු නොගෙවන ලද මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර, බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබූ කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කිරීමේ දී එම මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් වාරික වශයෙන් අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වා තිබේ. එහෙත් එම ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් මෙසේ ජූනි 30 වැනිදා වන විට අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීමට කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලැබීය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍රය තාවකාලිකව නතර නොකොට ගිවිසුම් අලුත් කරමින් යන ක්‍රමවේදයක් නම් එය සාර්ථක ක්‍රමවේදයක් නොවන බව අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කර සිටියේ බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ මත්පැන් බලපත්‍ර තාවකාලිකව නතර කිරීමට එරෙහිව මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව නියෝගයක් ලබා දී ඇත් ද යන්නයි. එහෙත් එවැනි නියෝගයක් ද ලබා දී නොමැති තත්ත්වයක් තුළ මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් අය කිරීමට ගත් තීරණය මුළුමනින්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව මත ගත් තීරණයක් බව ද පැහැදිලි වන්නකි.

සියලුම මත්පැන් නිෂ්පාදකයන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා ඵලදායී ගෙවීම් සැලැස්මක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, සියලුම මත්පැන් නිෂ්පාදකයන් සඳහා සමජාතීය, ව්‍යාජ නොවන ආරක්ෂිත බදු මුද්‍රාවක් හඳුන්වාදීම සඳහා ලබාදුන් නිර්දේශවල ප්‍රගතිය, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතිය (RASED). නම් වූ තොරතුරු තාක්ෂණ යෙදුම සැකසීම කඩිනම් කිරීම සඳහා ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, 2023.10.01 සිට 2024.03.31 දක්වා කාලය තුළ නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත බදු මුද්‍රා ඇලවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, සුරාබදු කොමසාරිස් ජනරාල් හට සෑම මත්පැන් නිෂ්පාදනාගාරයක්ම නිරීක්ෂණය කිරීම සඳහා සී සී ටී වී කැමරා සවිකිරීමේ ප්‍රගතිය, නව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍රය අලුත් කරන විට ඇප මුදලක් තැන්පත් කළ යුතු බවට 1912 අංක 08 දරන සුරාබදු ආඥා පනතට නීතිමය සංශෝධන හඳුන්වාදීමේ ප්‍රගතිය යන කරුණු සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට ලබා දී ඇති වාර්තාව පිළිබඳ මෙම සභා වාරයේ දී විශේෂයෙන් සලකා බලා ඇත. එමෙන්ම 2024 වසරට අදාළව පළමු කාර්තුව තුළ සුරාබදු දෙපාර්තමේන්තු ඔවුන්ට ලබාදී තිබූ බදු ආදායම් ඉලක්කය වන රු. බිලියන 52 න් රු. බිලියන 51ක් මේ වන විට එකතු කර ගැනීම මගින් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා තිබීම පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය එම දෙපාර්තමේන්තුවට හිමිවිය.

මේ අතර නව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍ර අලුත් කරන විට ඇප මුදල් තැන්පත් කළ යුතු බවට 1912 අංක 08 දරන සුරාබදු ආඥා පනතට නීතිමය සංශෝධන හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේදී විමසා බැලිණි. ඒ අනුව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍ර අලුත් කරන විට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය අනුව ඇප මුදල් තීරණය කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත. 2023.10.01 දින සිට 2024.03.31 දක්වා වූ කාලය තුළ නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍ර ප්‍රමාණයන් පිළිබඳ සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි අතර ඒ අනුව නව මත්පැන් බලපත්‍ර 32ක් නිකුත් කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට සෑම මත්පැන් නිෂ්පාදනාගාරයක්ම නිරීක්ෂණය කිරීම සඳහා සීසීටීවී කැමරා සවි කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් දැඩිව අවධාරණය කරන ලදි. ඒ අනුව ඒ සඳහා හැකි ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් දන්වා ඇත. එමෙන්ම සියලුම මත්පැන් නිෂ්පාදකයන් සඳහා සමජාතීය ව්‍යාජ නොවන ආරක්ෂිත බදු මුද්‍රාවක් හඳුන්වාදීම සඳහා ලබාදුන් නිර්දේශවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි. ඒ අනුව ජුනි පළමුවැනිදා වන විට වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වන QR කේතයක් හඳුන්වාදීමට කටයුතු සූදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත. තවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතිය නම් වූ තොරතුරු තාක්ෂණ යෙදුම සැකසීමේ ප්‍රගතිය ද මෙහිදී විමසීමට ලක් වූ අතර ඒ අනුව එම ආදායම් පරිපාලන පද්ධතිය සැකසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවත් අදාළ අනුමැතීන් ලැබූ පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බවත් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත. සෑම මත්පැන් නිෂ්පාදනාගාරයකම දෛනිකව නිපදවන මත්පැන් ධාරිතාවයට අනුව සුරාබදු අය කර ගත හැකි ක්‍රමවේදයක් එම පද්ධතිය තුළ ස්ථාපිත විය යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. මේ කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, සංජීව එදිරිමාන්න, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපාබණ්ඩාර, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment