ඔස්ටි්‍රයාවේ බෞද්ධ සමුළුව මෙරට බෞද්ධ ප්‍රබෝධයටත් හේතුවක් වේවි – රත්මලේ පුඤ්ඤරතන හිමි

91

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ ප්‍රථම බෞද්ධ සමුළුව ඔස්ටි්‍රයාවේ වියානා ඤාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමටත් එයින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රගමනයට මෙන්ම ආර්ථිකයට ද යම්කිසි මෙහෙවරක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජර්මනියේ ශ්‍රී ලංකාරාමාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ හෙට (12 දා) පැවැත්වීමට නියමිත යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ ප්‍රථම සම්මේලනය සම්බන්ධයෙන් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි ජාතියක් වශයෙන්වත්, ආගමක් වශයෙන්වත් කිසිම බෙදීමකින් තොරව සමගියෙන්, සමාදානයෙන් සහජීවනයෙන් කටයුතු කරමින් මේ විශ්වීය දහම ලෝක ප්‍රජාව අතරට ගෙනයෑමේ ක්‍රියාදාමයයි මේ ධර්මදූතයන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ යැයි උන්වහන්සේ මේ අවස්ථාවේ දී පැවසූහ.

මෙහිදී සූම් තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වූ ඔස්ටි්‍රයාවේ වියානා ඤාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති විජයරාජපුර මහාචාර්ය සීලවංශ නායක හිමිපාණන් වහන්සේ, ‘යුරෝපයේ සිටින සියලුම ස්වාමීන් වහන්සේ වගේම යුරෝපයේ අනෙකුත් ජාතීන්වල ස්වාමීන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේ වැඩම කරගනිමින් වෙසක් සතියට සමගාමීව මේ සම්මේලනය 12, 13 සහ 14 යන තෙදින පුරා පැවැත්වේ.

60 නමක් භික්ෂුන් වහන්සේ ශාන්ත දාන්තව පෙරහැරකින් වැඩම කරන කොට ඔස්ටි්‍රයා වැසියන්ට භික්ෂුන් වහන්සේ කෙරෙහි යම්කිසි හැඟීමක්, යම්කිසි භක්තියක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන් මැලේසියාව, සිංගප්පුරුව, ජපානය, ඇමරිකාව, එංගලන්තය ආදී රටවල්වල භික්ෂුන් වහන්සේ මේ සමුළුවට වැඩම කරනවා.

විශේෂයෙන් ඔස්ටි්‍රයාවේ ශ්‍රී ලාංකිකයන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. ඔවුන් මේ සමුළුවට විශාල දායකත්වයක් ලබාදෙමින් මෙහි වැඩම කරන භික්ෂුන් වහන්සේට ඉඳුම් හිටුම් දානමාන ආදිය ලබා දෙමින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේ උත්සවය විශේෂයෙන් ශ්‍රී ලංකාවට යම්කිසි ආකාරයකට කීර්තියක් ලබා දෙනවා වගේම රටේ ආර්ථිකයට මඟ පෙන්වීමක් කරන්නත් මේ විශ්වීය දහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කටුවන සිද්ධත්ථ හිමියෝ ද මෙහි සූම් තාක්‍ෂණය ඔස්සේ අදහස් දැක්වූහ.
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment