අපි පනින්නේ ඉතිහාසගත පිම්මක්…අපායේ ඉන්ටවල් එකට අහුවෙන්න එපා

384

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ ගමන නවත්තන්න ඔවුන් උපරිමය කරනවා, මාලිමාව දෙදරයි කියලා ප්‍රවෘත්තිත් ඉස්සරහට ඒවි

මාලිමාවේ මැයි දින රැලි සංඥාව කියවගන්න

මහපොළොවේ කතාව ඉතිහාස කතාවට වඩා ඉඳුරාම වෙනස්

ජාතික ජනබලවේගය මෙවර මැයි දින රැලි හතරක් පවත්වමින් තමන්ගේ ශක්තිය රටට කීමට උත්සාහ ගෙන තිබිණි. ඔවුන් ලක්ෂ ගණන් සෙනඟ තමන්ගේ රැලිවලට එක් වූ බව පවසද්දී ඊට එරෙහි පාර්ශ්ව කියන්නේ සෙනඟ හිටියට ඡන්ද නැති බවයි. පසුගියදා පැවති මැයි රැලි සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාව සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග සිදුකළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ මෙවර මැයි දින රැළි හතරක් පවත්වනු ලැබුවා. සමස්තයක් ලෙස ගත් කළ බොහෝ දෙනා පවසන්නේ ඉහළ ජන සහභාගිත්වයක් ලද රැළි ජාතික ජනබලවේගය සංවිධානය කළ ඒවා බවයි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඉතිහාසය පුරාම ඔබ නියෝජනය කරන පක්ෂය සංවිධානය කරන රැළිවල සිටින සෙනඟට සාපේක්ෂව මැතිවරණවලදී ඡන්ද හිමි නොවීමය. බොහෝ දෙනා කියන්නේ “ඔය රැළිවල සෙනඟ පෙන්නුවාට ඡන්ද කවුද දෙන්නේ” කියලා.

පිළිතුර – ඉතිහාසයේ සිදුවුණු දේවල් නැවත නැවැතත් වෙනවා කියලා නියතයක් නැහැ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් දැන් මේ මහ පොළොවේ තත්ත්වය ඉඳුරාම වෙනස්. මේ වන විට මේ මහ පොළොවේ තිබෙන්නේ ඉතිහාස කතාවලට එහා ගිය දැවැන්ත පරිවර්තනීය වෙනසක්.

මේ මැයි දින රැළිත් නිකම්ම නිකන් සෙනඟ පෙන්නපු රැළි නෙමෙයි. සෙනඟ පෙන්නන්න ඕන කමට මිනිස්සු එහි ආවේ නැහැ. අපි පසුගිය කාලය පුරා බිම් මට්ටම සංවිධාන කර තිබුණා. කොට්ඨාස සභා පිහිටුවා සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු නිලධාරි මණ්ඩල ගොඩනඟා තිබෙනවා. ඒ වටා එකතු වුණු දැනුමක් අවබෝධයක් ඇති මිනිස්සු තමයි අප සමග එකතු වුණේ.

ඇත්තම කාරණය අපේ ඡන්ද ඔය සෙනඟට වඩා බොහොම වැඩියි. නැවතත් කියන්න තියෙන්නේ මහා පොළොවේ යථාර්ථය එය වී අවසන් බව. ඇත්තටම ඡන්දය තිබ්බහම බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඔබට මම තව කාරණයක් කියන්නම්. අපේ රැළි සඳහා සෙනඟ ආවට ඒවා ඡන්ද නොවෙනවා නම්, සමගි ජනබලවේගය ඇයි ඔච්චර කලබල වෙන්නේ. ඔය වගේම තමයි එක්සත් ජාතික පක්ෂයයි, පොදුජන පෙරමුණයි. ඔවුන්ගේ කටේ තියෙන්නේත් මාලිමාව ජේවීපී අනුර කුමාර දිසානායක. එක එක පක්ෂ හදාගෙන වෙන වෙනම කෑගැහුවත් ඒ සියලු දෙනා එකතු වී මඩ අවලාද චෝදනා සියල්ල එල්ල කරන්නේ මාලිමාවට. ඇයි ඔවුන් එහෙම කරන්නේ? ඔවුන් දැන් සහතිකවම ඇත්ත දන්නවා. ඒ අය පැරදිලා අප දිනන්න යන්නේ කියලා ඔවුන්ට දැන් ස්ථිරයි. මැයි දින පෙළපාළිවලින් පෙන්නූ සංඥාව එයයි. ඇත්ත තේරෙන මිනිස්සු ලක්ෂ ගණනින් අප වටා එකතු වී සහ එකතු වෙමින් තිබෙනවා. මෙවර මාලිමාවේ ජය ස්ථිරයි.

ප්‍රශ්නය – ඔබ ජයග්‍රහණය ස්ථිර බව සඳහන් කළත් ඔබ පක්ෂයට විරුද්ධ පාර්ශ්වයන් කියන්නේ මාලිමාව සිටින්නේ සැබෑ නොවන සිහිනයක කියලා. ඒක අධිතක්සේරුවක් කියලත් ඇතමුන් කියනවා.

පිළිතුර – ඇත්තටම සිහින දකින්නේ ඔවුන්. රට මේ තරම් විනාශයක් කරා ඇද වැට්ටපු මිනිස්සු ආපහු අපේ මිනිස්සුන්ව රවටලා ඡන්ද ගන්න පුළුවන් කියලා සිහින මවනවා. ඔබ හිතනවද මිනිස්සු තවදුරටත් ඔවුන්ගේ බොරු බේගල්වලට රැවටේවි කියලා. වාසි ප්‍රයෝජන උදෙසා වැඩ කරන කිහිප දෙනෙක් ඇරෙන්න කාටද පුළුවන් රට විනාශ කළ පාර්ශ්වයන්ට තවදුරටත් රැවටෙන්න.

අපි කිසිම අධි තක්සේරුවක නැහැ. අපි ඉන්නේ හරි තක්සේරුවක. පසුගිය කාලයේ කළ සමීක්ෂණවල ඉහළම ප්‍රතිඵල තිබෙන්නේ මාලිමාවට. ඒ වගේම ආණ්ඩුවේ බුද්ධි අංශ සිදුකළ සියලු සමීක්ෂණ ප්‍රතිඵලවල ඉහළින් සිටින්නේ මාලිමාව.

ප්‍රශ්නය – ඔබ ඔය ස්වාධීන පාර්ශ්වයන් සිදුකළ සමීක්ෂණ ගැන කියනවනේ. ඒ සමීක්ෂණ ප්‍රතිඵලවල ජාතික ජනබලවේගය ඉහළින් තමයි. හැබැයි චෝදනාව, ඔවුන් ඔබ පාර්ශ්වයේම කොටසක් බව. ඔබලගේ මිනිස්සු මාලිමාව දෙකට තුනට දාලා ප්‍රතිඵල හදයිද ?

පිළිතුර – ඔය වගේ චෝදනා කරන්නේ දේශපාලනය ගැන දැනුමක් නැති මිනිස්සු. ඒකෙන් පේන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොළොත් බව. එහෙම චෝදනා කරනවනම් එය එවැනි සමීක්ෂණ කරන ආයතනවලට මිනිස්සුන්ට කරන අපහාසයක්. ඕනම කෙනකුට ඒවා පිළිගන්නත්, පිලිනොගෙන ඉන්නත් පුළුවන්. ඒක හරියටම ඡන්දයේදී බලාගන්න පුළුවන්. කල් දැම්ම පළාත් පාලන ඡන්දය තිබ්බනම් ඒකෙදී බලාගන්න තිබ්බා මාලිමාවට හිමිවන ඡන්ද ප්‍රමාණය.

ප්‍රශ්නය – මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ මැතිවරණ ප්‍රතිඵල හැසිරෙන ක්‍රමයක් තිබුණා. මාලිමාව ජයගන්න නම් සිදු විය යුත්තේ මහා වෙනසක්. වසර හැත්ත ගණනක ඡන්ද ඉතිහාසය බලා කරන ගණන් හැදීමකදී මාලිමාව ඉන්නේ පහු කිරීමට අසීරු ඉලක්කයක.

පිළිතුර – මේ මොහොතේ අපි හමුවේ ඇති ඉලක්කය අසීරු නැහැ. වසර ගණනාවක් පුරා අප කළ කැපකිරීම් වල වෙහෙස මහන්සියේ ප්‍රතිඵල අපි අභිමුව සැබෑ වෙන්නයි යන්නේ. අපි සියයට තුනේ සිට සියයට පනහ පැනලා තිබෙනවා. දේශපාලනය වෙනස් වෙන්නේ එහෙම. දේශපාලනය තුන හය නමය දොළහ පහළොව දහඅට කියලා වෙනස් වෙන්නේ නැහැ. එක විට දැවැන්ත වෙනස්වීම් සිදුවෙනවා.

දැන් එහි අනිත් පැත්ත බලන්න. හැටනම ලක්ෂයක් ගත්ත රාජපක්ෂලාට දැන් මොකද වෙලා තියෙන්නෙ? ඔවුන් සියයට තුන හතර වෙනකම් පහළ බැහැල තිබෙන්නේ. එහෙම තමයි දේශපාලනය වෙනස් වෙන්නේ. එකම සමීකරණයේ දෙපැත්ත.

ප්‍රශ්නය – ඔබ එහෙම කිව්වත් මේ යන විදිහට පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී එක්වීම අනිවාර්යයි. බලන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් හි පැවැත්වූ මැයි දින රැළිය. විශාල සෙනඟක් ඒ සඳහා එක්ව සිටියා. ඒ වගේම සමගි ජනබලවේගය පලනි දිගම්බරම් මහතා සමග එක්ව මැද කඳුකරයේ කළ මැයි දින රැළිය. අති විශාල සෙනඟක් ඒ සඳහා එක්ව සිටියා. මාලිමාව හිතන තරම් දිනන එක ලේසි නැහැ.

පිළිතුර – ඡන්ද දිනනවා කියන්නේ කොහොමත් ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා. මේ වන විට අපි හරියට හෝම්වර්ක් කරලා තිබෙන්නේ. කඳුකරයේ ඔය කියන රැස්වීම් දෙකට ලොකු සෙනඟක් ඇවිත් හිටියා තමයි. බලන්න ඒ මිනිස්සුන්ව කොච්චර රවටලාද කියල. දවසේ පඩිය රුපියල් 1700ක් කරනවා කිව්වා. දැන් හාම්පුත්තු දෙන්න බෑ කියනවා. රුපියල් 1700 කතාව කියන්න ඡන්දෙ ළං වෙනකම්ම ඉන්න වුණානේ. මේ මිනිස්සුන්ව හැමදාම රවට්ටනවා. හාල් දෙනවා, බඩුමුට්ටු දෙනවා, ඉඩකඩම් දෙනවා, තව මොන මොන දේවල් දෙනවද. මේ බොරුවලට මිනිස්සු තවදුරටත් රැවටෙන්නේ නැහැ. ආණ්ඩුව දැන් රටේ මිනිස්සුන්ට දීලා තිබෙන්නේ පොඩි ඉන්ටවල් එකක්. අපායේ ඉන්ටවල් එකට අහුවෙන්න එපා කියලා අපි රටේ ජනතාවට කියනවා.

ප්‍රශ්නය – ඔබ කියන විදිහට දේශපාලනය වෙනස් වෙන්නත්, නොවෙන්නත් පුළුවන්. ඔබ පර්ශ්වයේ විරුද්ධවාදීන් නම් කියන්නේ ජවිපෙ මැයි දින රැළි පවත්වන්නේ ඔවුන්ගේ උපරිමය දමා කියලයි. උපරිමය දමා කරපු තැනක මිනිස්සු දෙස බලා අනාවැකි කියන එක තේරුමක් නෑ කියලා ඔවුන් කියනවා.

පිළිතුර – මැයි දින රැළි පමණක් නෙවෙයි. අපි මොනයම් දෙයක් කළත් අපි අපේ උපරිමය කරනවා. අපි භාගෙට වැඩ කරන මිනිස්සු නෙමෙයි. අපේ හැටි එයයි.

දැන් බලන්න බස්වලට අරක්කු බෝතල් දාලා, බත් පැකට් දීලා, ඒ මදිවට සල්ලිත් දීලා ඔය කිව්ව එකක්වත් කරන්න පුළුවන් වුණාද. අපි ජනතාවට කියන්නේ වැඩක් කරනකොට එය හරියට තිතට කරන්න ඕන කියල. එහෙම කරන මිනිස්සුන්ට තමයි රට භාර දෙන්න ඕනේ. මැයි දිනයත් හරියට තියන්න බැරි මිනිස්සුන්ට මොන රටවල් ද.

අපි දිස්ත්‍රික් සමුළු, කාන්තා සමුළු, තරුණ සමුළු, ත්‍රිවිධ හමුදා සාමූහික සමුළු පවත්වද්දී ඔය හැම එකටම එන්නේ එකම පිරිසක් කියලා විරුද්ධවාදීන් කිව්වා මතකද. දැන් අපි යාපනය, අනුරාධපුර, මාතර සහ කොළඹ මැයි දින රැළි හතරක් පැවැත්තුවා. ඉන් අනුරාධපුරය, මාතර සහ කොළඹ එකම වෙලාවක පැවැත්වූ මැයි දින රැළි. ඔය හැම එකකම ලක්ෂයකට වඩා සෙනඟ හිටියා. හැම තැනටම යන්නේ එකම පිරිසක් නම් එතරම් මිනිස්සු ඒ තැන්වල ඉන්න පුළුවන්ද. විරුද්ධවාදීන් නඟන බොරු චෝදනාවන්ට දැන් ආයුෂ නැහැ. හිරු දුටු පිනි බිඳු මෙන් ඒ බොරු වියැකී යනවා.

ප්‍රශ්නය – අරක්කු සිගරට් දෙන්නෙ නැති වුණත් බස් දාලා සෙනඟ ගේනවා කියලා චෝදනා නැඟෙනවා.

පිළිතුර – ඉස්සර සිරිපාදේ ගියා වගේ කිලෝ මීටර් ගණනාවක් මිනිස්සුන්ට පයින් යන්න බැහැනේ. මිනිස්සු යන්නේ බස්වල තමයි. හැබැයි අපි මූලස්ථානයෙන් ඔවුන්ට බස් අරන් දෙන්නේ නැහැ. සාමාජිකයෝ මුදල් හොයාගෙන කෑම බීම හදාගෙන කැප කිරීම් කරලා එන ගමන් මේවා. අරක්කු සිගරැට් බත් පැකට් මුදල්වලට අපි මිනිස්සු හොයන්නෙ නැහැ.

ප්‍රශ්නය – ප්‍රධාන පක්ෂ සියල්ලම මැයි දින රැළි පැවැත්තුවා. ඒ ඒ පක්ෂ පවත්වන ලද මැයි දින රැළි ගැන මට කෙටි උත්තර අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ගැන ඔබේ අදහස කුමක්ද ?

පිළිතුර – රටේ ජනාධිපති ඉන්නේ ඒගොල්ල ගාව. එහෙම ඉඳලත් ඔවුන් පැවැත්වුවේ අතිශය අසාර්ථක මැයි දින රැළියක්. හරි පණිවිඩයක්වත් රටට දීගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ මැයි දින රැළිය

පිළිතුර – හැට නම ලක්ෂයක් ඡන්දෙ දුන්න ඔවුන්ට කැම්බල් වගේ පොඩි පිට්ටනියක් පිරෙන්න සෙනඟ ගෙන්න ගන්න බැරි වුණා. පොඩි හට් දෙකක සෙනඟ දාපු රැළියක්. ඒ ආපු මිනිස්සුත් මැදකදී හැරිලා ගියා. අඩුම ගානේ මහින්ද මහත්තයාගේ කතාවත් අහන්න හිටියේ නැහැ. ආකර්ෂණයක් නැති, පිළිවෙළක් නැති දුර්වල රැළියක් එය.

ප්‍රශ්නය – සමගි ජනබලවේගයේ මැයි දින රැළිය

පිළිතුර – අපට බැනපු එක විතරයි ඔවුන් කරේ. කිව්ව තරම් මිනිස්සු ගෙන්නන්න බැරි වුණා. අඩුම තරමේ සංගීතය බලන්නවත් මිනිස්සු හිටියේ නැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය

පිළිතුර – ඔවුන්ට මැයි දින රැළියක් පවත්වන්න තැනක්වත් හොයා ගන්න බැරි වුණා. අද එහෙම පක්ෂයක් තියෙනවද කියලා මිනිස්සු දන්නෙත් නෑ. ගම්පහ තිබ්බ රැළිය රැළියක් කියන්නත් බැහැ. අසාර්ථකත්වය කිඳා බැහැපු එකක්.

ඔය සේරම රට පාලනය කළ පක්ෂ. හැබැයි ජන සහභාගිත්වයක් නැතිව මාලිමාවට බැන්න රැළි තමයි ඔය හැමෝම පැවැත්තුවේ.

ප්‍රශ්නය – මාලිමාවට එදිරිව අනෙකුත් සියලු පක්ෂ එකට නොනිල වශයෙන් සන්ධානගත වෙමින් ඇති බව කියනවා. එවන් අභියෝගයකට මලිමාවට මුහුණ දිය හැකිද?

පිළිතුර – කොච්චර ලොකු පක්ෂ වුණත් දැන් ඔවුන්ට තියෙන්නේ ප්‍රධාන කාර්යාල විතරයි. ඔවුන් සමග ජනතාව නැහැ. ඒගොල්ල එකට එකතු වුණාට මිනිස්සු එකතු කරන්න ඔවුන්ට හැකිවී නැහැ. ඔවුන් සමග සිටින්නේ හොරු ටික විතරයි. බිම් මට්ටමේ සාමාජිකයා එකින් එක ගැලවි ගැලවී යනවා. කවුරුත් කොහොම නිල වශයෙන් හෝ නොනිල වශයෙන් එකතු වුණත් අපට එය අභියෝගයක් නෙවෙයි.

ප්‍රශ්නය – පැරණි සාමාජිකත්වය, නව සාමාජිකත්වය සහ එකතුවීමට යන සාමාජිකත්වය එකමුතු වී වැඩ කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැයි දින රැළිවලදී සඳහන් කළා. විශේෂයෙන් එවැනි දෙයක් කියන්න හේතු වුණේ නව සාමාජිකයන් පැමිණීමත් සමඟ පැරණි සාමාජිකත්වය හිතන පතන විදිහේ ගැටලුවක් ඇතිවී ඇති නිසා නොවේද ?

පිළිතුර – එහෙම කිසිදු ප්‍රශ්නයක් නෑ. අප පනින්න යන්නේ නව මහා පිම්මක්. එය ඉතිහාසගත එකක්. එහෙම එකකදී අප සියලු දෙනා එකාවන්ව එක්සිත්ව කටයුතු කළ යුතුයි. අනුර සහෝදරයා කිව්වේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සෑම සියලු දෙනා එකතු විය යුතු බව. එහෙම නැතුව පැරණි සාමාජිකත්වයේ ගැටලු හෝ අලුත් සාමාජිකත්වය පැමිණීම නිසා ඇතිව ඇති ගැටලු හෝ කියලා දෙයක් නැහැ. මේ ගමන හරි අවබෝධයෙන් යන ගමනක්.

ප්‍රශ්නය – ඔබ එහෙම කිව්වත් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දෙපාර්ශ්වය අතර සීතල යුද්ධයක් පවතින බව ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – තවත් පට්ටපල් බොරුවක්. එහෙම එකක් පෙන්නන්න සැලසුම් සහගතව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. සමහරු ඒ ගැන ලිපිත් ලියනවා. ජාතික ජනබලවේගය යන ගමන නවත්තන්න කළ හැකි සියලු දේ ඔවුන් කරනවා. මඩ අවලාද බොරු චෝදනා කොච්චර නම් කියලා නඟනවද. ඕකත් එහෙම එකක්. බැරිම තැන ඔවුන් හදන්නේ මාලිමාව ඇතුලේ ගැටුම් තිබෙනවා කියලා රටට කියන්න. ඔය එකක්වත් වැඩක් ඇති චෝදනා නෙවෙයි. මොවුන් ඔවුන්ගේ බලය නිකන් අතහරීවි කියල ඔබ නිකමට හෝ හිතනවද? අපේ ගමන නවත්තන්න ඔවුන් ඔවුන්ට කළ හැකි උපරිමය කරනවා.

ප්‍රශ්නය – සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් විවාදයට පෙර බොහෝ වාද විවාද පැවැත්වෙනවා. මට හිතෙනවා දෙපාර්ශ්වයම වැරදි තැන්වලින් අල්ලගෙන කියලා.

පිළිතුර – මේ අවුරුද්දේ මුල අනුර කුමර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට ආරාධනා කළා. ඒක එතරම් උඩට ආවේ නැහැ. ඊට පස්සේ මෑතකදී සජබයෙන් තමයි විවාද කතාව පටන් ගත්තේ. ඇත්තටම සමාජයට නම් විවාදයක් නැහැ. මොකද ඔවුන් දන්නවා සජබ කියන්නේ කවුද කියලා? ඔවුන්ගේ ප්‍රතිපත්ති මොකක්ද කියලා රටේ ජනතාව දන්නවා. එතන ඉන්නේ යහපාලන ආණ්ඩුවේ සිටි අය.

අපි මේ මාසේ දින තුනක් සජබ ට දුන්නා. එන්න බැහැ කියලා කිව්ව. දැන් අපි මැයි මාසයේ විස්සට කලින් සජිත් කැමති ඕන වෙලාවක ඕන තැනක විවාදය කරන්න එන්නම් කියලා දැනුම් දී තිබෙනවා. දැන් ඔවුන් කැමති දිනයක් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන දවසක් දෙන්න පුළුවන්. ඔය දෙකම බැරිනම් විවාදයට එක් නොවී පැත්තකට වෙන්නත් ඒගොල්ලන්ට පුළුවන්. අපි විවාදය ගැන විවාදයකට පැටලෙන්න යන්නේ නැහැ. විවාදය තියන්නේ නැතුව විවාදය ගැන විවාද කරන එක ඒගොල්ලන්ගේ ආශාව නම් ඒක ඔවුන් කරගෙන ගියාවේ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment