මේ සතියේ සමාජ දේශපාලන අංශවල පමණක් නොව බහුතර ජනතාවගේද අවධානයට මෙන්ම සංවාදයටද ලක් වූ ප්‍රධාන මාතෘකාව වූයේ ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. කොළඹ නගරයේත්, ඉන් බාහිරව ප්‍රධාන නගරවලත් මේ මැයි දින සැමරුම් දක්නට ලැබුණි. එහෙත් ඒවා මෙරටේ වැඩ කරන ජනතාවගේ අයිතීන් හෝ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පිළිබඳ යථාර්ථවාදී ඥානයක් සම්පාදනය කරන අවස්ථා ලෙස සැලකිය හැකිද? මේ සම්බන්ධයෙන් සිදු වූ විද්වත් දේශපාලන සංවාදවලදී වුවද නූතන සමාජ දේශපාලන සංදර්භය තුළ කම්කරු ප්‍රජාවගේ භූමිකාව කෙබඳුද? යන ප්‍රශ්නය ගැඹුරින් සාකච්ඡාවට ලක් වූයේද නැත. අප දුටු එක් කතිකාවකදී නම් ඇසුණේ මිලියන 20ක් පමණ සිටි ලෝක කම්කරු ප්‍රජාව අද ලක්ෂ දෙකටත් වඩා අඩු වී ඇති බවය. එමතු නොව කම්කරු පන්තිය ලෙස හැඳින්විය හැකි ප්‍රජාවක්ද අද නිශ්චිතව හඳුනාගත නොහැකි බවය. මෙරටේ වතු ආර්ථිකයේත් ඇතැම් ප්‍රාදේශීය ආයතන හා පෞද්ගලික සේවා හා සම්බන්ධවත් දෛනික වැටුපකට ශ්‍රමය අලෙවි කරනු ලබන පිරිස් සිටිතියි ද අර්ථ දැක්විණි. කොළඹ නගරයේ වීදිවල වැඩ කරන පවිත්‍රතා කටයුතුවල නිරතව සිටි අයගේ අදහස් ඇතුළත් වාර්තා විචිත්‍රාංග කීපයක්ද අපි දිටිමු. ඒ කිසිවෙක් මැයි දිනය ගැන තෘප්තිමත්ව කතා නොකළහ. ඇතැම් කෙනෙක් ප්‍රකාශ කළේ මැයි දිනය ගැන බොරු කතා ඇද බාමින් හැම නායකයෙක්ම කරනු ලබන්නේ රැවටීමක්, බොරුවක් බවය.

මැයි දින සැරසිල්ල හා දේශපාලන කැලඹිල්ල !

කෙසේ හෝ මැයි දිනය යනු අද වන විට එහි හරයත් ජීවයත් පිරිහී ගිය දේශපාලන සංදර්ශන බවට පත්ව තිබෙන්නක් බව පොදුවේ කිව හැකිය. දේශපාලන නායකයන් හා අනුගාමිකයන් විසින් මැයි දිනයේත් අනෙක් විවිධ වෘත්තීය සංවිධානවලත් අභිමානය හා සටන්කාමිත්වය විකෘති කරන ලද බව වමේ දේශපාලන නායකයන්ගේ ප්‍රසිද්ධ චෝදනාවකි. එ.ජා.ප.ය හා ශ්‍රී.ල.නි.පය වෘත්තිය සංවිධාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් වුවද විවිධ විවේචන ඇසෙයි. විශේෂයෙන් ජාතික සේවක සංගමයත් එහි ක්‍රියාකාරීත්වයත් දෝෂදර්ශනයට ලක්ව තිබේ. වෘත්තිය සටන් අඩපණ කිරීම සේවකයන් අතර භේද වැපිරීම ඒ මෙහෙයුම්වල ඇතැම් නායකයන්ට සුපුරුදු ක්‍රියා විය. ශ්‍රී.ල.නි.පය එ.ජා.ප.යෙන් වෙනස් දේශපාලනයක නිරත වුවද ඔවුන්ගෙන්ද වැඩ කරන ජනතාවට බාධා සිදු වූ බවට චෝදනා නැගෙයි. එසේ වුවද ශ්‍රී.ල.නි.පය සමග එක්වූ වමේ ව්‍යාපාරවලින් ඒ කම්කරු අයිතිය ආරක්ෂා වූ බවද කිව යුතුය. එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පයත් පසුව ගොඩනැඟුණු දේශපාලන සන්ධාන සමගත් වෘත්තීය සංවිධාන සබඳතා ගොඩනඟා ගත් බවද රහසක් නොවේ.

අද ජ.වි.පෙ ඇතුළු වෙනත් වාමාංශික කොටස් වෙනම වෘත්තීය සංවිධාන ගොඩනඟා ගෙන තිබේ. මේ සියල්ල උඩුයටිකුරු වූයේ ජේ. ආර්. ජයවර්ධන 1977දී රාජ්‍ය බලය හිමිකර ගැනීමත් සමගය. ජයවර්ධන පාලන සමය අපට සිහිපත් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරා වැටීම පමණක් නොව, මර්දනය, තර්ජනය ඇතුළු බිහිසුණු ක්‍රියාකාරකම් පිළිබඳ සිදුවීම් මාලාවකි. මැයි පෙළපාලි තහනම් වී වමේ සංවිධානවලටද ඒ තහනම පනවා තිබුණි. වැඩවර්ජනය නිසා රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි. ජයවර්ධනගේ අනුප්‍රාප්තික ප්‍රේමදාස යුගයෙන් ඇසුණු විප්ලවයේ හඬ ඔස්සේ රාජ්‍ය මර්දනයට අමතරව වෙනත් ඝාතන කණ්ඩායම්ද වූහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා ප්‍රා. සංවිධානය කොළ කොටි, කහ බළල්ලු වැනි නාඳුනන ඝාතන කල්ලි එදා බහුල වූහ. මෙරටේ දේශපාලන වැඩ බිම් මරු බිම් බවටද යම් පමණකින් හෝ රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන් අභාවයට යාම ද මේ අවිධාර යුගවල පැහැදිලිව දැකගත හැකිවිය. දේශපාලන බලය උදෙසා සියලු සාරධර්ම විනාශයට පත් කිරීමේ සමාරම්භය ද එයයි. මැයි දිනය ද එහි සමුදයාර්ථය නොතකන, නිකම්ම දිනයක් බවට පත්විය. මේ රටේ ජනතාව පෙළ ගස්වා තිබෙන වැඩිහිටි දිනය, පෙම්වතුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, පරිසර දිනය ඇතුළු අවුරුද්දේ වෙන් කර ඇති විවිධ දින අතරට වැටෙන දිනයක තත්ත්වයට අද මැයි දිනය ද පත්ව තිබේ. එපමණක් නොව ඒ දිනයට මෙරටේ ගම්දනව්වල පාඩුවේ ජීවත්වන අහිංසක ජන කොටස් ද ප්‍රවාහන, ආහාර හා ඇතැම්විට යැපීම් දීමනාවක් ද ලබාදී දේශපාලන වේදිකා ඉදිරියට රැගෙන ඒමේ තත්ත්වය දක්වා ද ඒ වැඩකරන ජනතා දිනය බාල්දු කර තිබේ. කොළ,කහ හා නිල් වර්ණ ටී ෂර්ට් හෝ කමිස සමග දේශපාලන පක්ෂයේ සංවිධායකයාගේ හංවඩුව ගැසූ කැප් තොප්පියක්ද ඒ ජනතාවට ලබාදීම ද එහිදී සිදුවේ. රතු කමිස කාරයෝත් සිටිති. විකට ඇඳුම් තරගයක් වැනි ඒ දසුන් ප්‍රබුද්ධ පුරවැසියකුට තහවුරු කරන්නේ මේ ජරපත් දේශපාලනය නඩත්තු කරන මුග්ධ මෙහෙයුම්වල සැබෑ චිත්‍රයයි. නිසැකයෙන්ම මේ අයගෙන් බහුතරයක් සාදුකින් පෙලෙන්නෝය. අවුරුද්දකට දවසක් වත් බඩට යමක් දාගෙන හීනියට අඩියකුත් ගැසීමට ලැබෙන මැයි දිනය ඒ බොහෝ දෙනෙකුට කොළඹ ඇතුළු තදාසන්න නගරවල් දැක බලා ගැනීමට අවස්ථාවක්ද උදාකර දෙයි. එහෙත් කාබී රටතොටත් බලා කියාගෙන ආපසු ගමට යන මේ අහිංසකයෝ බොහෝ විට ඒ ඒ දේශපාලන පක්ෂවල සංවිධායකයන්ට තම ඡන්දය හෙවත් මනාපය ලබාදීමටද පුරුදුව සිටිති. මේ අයගෙන් බහුතරයකට දේශපාලන සාකෂරතාවක් ද නැත. අනෙක් අතට කිසියම් පක්ෂ සංවිධායකයකු විසින් මේ සඳහා වියදම් කරන මුදල් මැතිවරණ වියදම් සීමාවට ඇතුළත් වන්නේද නැත. වැඩේ හරියට පත්තු වුවහොත් සංවිධායකත් ගොඩය. පක්ෂයත් ගොඩය. පක්ෂ නායකයා ඒ ඔලුගෙඩි දෙස බලා සංවිධායකගේ හපන්කම් ගැන ද වැටහීමක් ලබාගනී.

මෙවර කොළඹ නගරයේ මැයි උණුසුම ඔබ දුටුවෙහි නම් අප විසින් දක්වන ලද විශ්ලේෂණය කෙරතම් නිවැරදි දැයි පසක් වනු ඇත. රූපවාහිනී පුවත්වලින් ඒවායේ සමීප රූප මෙන්ම දුරට විහිදී ගිය දුරස්ථ රූප රාමුද අප අබියස විදහා දැක්විණි. ඒ ඒ පක්ෂවල අනුගාමිකයෝ තමන්ගේ මැයි දිනය පිළිබඳ අධි තක්සේරු හා වර්ජනය ඉදිරිපත් කරමින්ද සිටිති. තවත් දින කීපයකින් වැඩිම ජනතාවක් එක් රැස්ව සිටි මැයි දිනය ගැන දන්ත හා වෙනත් බොහෝ තොරතුරුද ඉදිරිපත් විය හැකිය. ඒවා දෙස බලා ජනප්‍රසාදයේ ප්‍රතිශතයද පෙන්වා දී උද්දාමයටද පත්විය හැකිය. එහෙත් මේ විකාර රූපී මැයි සන්දර්ශනවලට යටින් ඇත්තේ කුමක්ද? මේ ව්‍යාජ සැරසිලි බඳු මැවීම්වලින් වත්මන් දේශපාලනය පිළිබඳ සැබෑ චිත්‍රය වසන් කළ හැකිද?

ආණ්ඩුව කම්කරු දිනයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප රු. 1700කට නංවන ගැසට් නිවේදනයක් නිකුත් කළේය. තලවකැලේ එ.ජා.ප. මැයි රැළියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ ආරංචිය වතුකරයේ ජනතාවට ලබාදෙන ලද්දේ ඔල්වරසන් හඬ මැදය. එහෙත් දැනටම වතු හිමියෝ එයට එරෙහිව නැඟී සිටිති. රටේ ජනාධිපතිවරයා ඒ ප්‍රතිලාභය නිවේදනය කරද්දීම වතුහිමියන් එයට විරෝධය දැක්වීම අප තේරුම් ගන්නේ කෙසේද? වරප්‍රසාද සහිත පන්තිය තවමත් බලවත් බවද? කම්කරු ශ්‍රමය පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව ආණ්ඩුවක් පිළිගත යුතු බවද? කුමක් වුවත් ඒ ක්ෂණික වැටුප වැඩිකිරීම ජනාධිපති රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙනි. 2024 ජනාධිපතිවරණය ගැන ජනාධිපති රනිල් කිසිදු සඳහනක් නොකළත් එ.ජා.ප. මැයි දිනය ඒ ජනාධිපතිවරණ සටනේ පළමු වෙඩි මුරය බව ඔහුගේ පාක්ෂිකයෝ කියති. කොළඹ එ.ජා.ප. මැයි දින වේදාකාවෙන් ඇසුණේත් කඩා වැටුණු රට ගොඩදැමූ රනිල් ජාතික නායකයා ලෙස පත්ව සිටින බවකි. එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධනගේ විහිළු කතාවලට අපට සිනාසිය නොහැකි වුවත් ඔහු පුන පුනා කියා සිටියේත් “නැත අන් සරණ – රනිලුත් හැර රටටා” යන කතාවමය. “රනිල්ට ඉඩදෙමු” යන තේමා පාඨය රැගෙන ගිය එ.ජා.ප. යතුරුපැදි සවාරියක් ද විය. එපමණක් නොව මැයි ජනහමුව ඇමතූ රනිල් ප්‍රශ්න කළේත් රට ඉදිරියට ගෙන යනවාද නැතිනම් 2022 තිබුණු තැනට ගෙනයනවාද යන්නයි.

මැයි දින සැරසිල්ල හා දේශපාලන කැලඹිල්ල !

ස.ජ.බ. මැයි රැළියේදී එහි නායක සජිත් ප්‍රේමදාස විසින් ජනතාව හමුවේ තබන ලද්දේ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය බව පෙනුණි. ඔහු විශේෂයෙන් අවධාරණය කළේ තමන් ප්‍රතිපත්ති ගරුක තීන්දු මත පදනම් වූ දේශපාලනයක නිරතව සිටින බවය. ආන්දෝලනාත්මක බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කෙහෙළිය රඹුක්වැල්ල රැකගැනීමට තම පක්ෂය ක්‍රියා නොකළ බවය. පාස්කු ප්‍රහාරය රටට හෙළි කරන අතරම හොරුන්ට දඬුවම් දී හොරකම් කළ මුදල් රටට ලබාදෙන බවද ඔහු පැවසීය. සුහුරු රටක් – ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීම. තම අභිලාෂය බවද සජිත් පැවසීය. සජිත් ධනවතුන් මෙන්ම මාක්ස්වාදයද නොපිළිගනී. එහෙත් මානුෂීය ධනවාදයක් ගැනද ඔහු පවසා ඇත. මෙහිදී අපට සිහිපත් වන්නේ එදා ජනාධිපති සටනට එළඹෙමින් චන්ද්‍රිකා කුමාරතුංග පැවසූ විවෘත ආර්ථිකයකට මානුෂික මුහුණුවරක් දීමට සූදානම් වූ ගාම්භීර ප්‍රකාශයයි.

ආණ්ඩුවේ මැයි හමුවට සහභාගි නොවී වෙනම ජනහමුවක් පැවැත්වූ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ පොහොට්ටුවේ 69 ලක්ෂය කයිවාරුකරුවන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නැති බවය. ඔහුට අනුව තවම බලය තිබෙන්නේ පොහොට්ටුවට බවය. එපමණක් නොව එළැඹෙන ජනාධිපතිවරණයේදී ජයගන්නේ තම පක්ෂයේ සහාය ලැබෙන අපේක්ෂකයා බවද මහින්ද කීවේය. මේවා අද පවතින දේශපාලනයට උඩින් පැන මෙම දූෂිත දේශපාලනයට එරෙහිව ගොඩනැඟී තිබෙන විරෝධය අමතක කර හෝ ඒ පිළිබඳ නොදැන හෝ කරන ප්‍රකාශයක් වැන්න.

ආණ්ඩුවට සහාය දෙන බල උල්පත පොහොට්ටුවය. එහි අගමැති දිනේෂ් සිටියේත් පොහොට්ටු මැයි රැළියේය. එසේම ජනාධිපති රනිල් සමග සිටින බවට පිළිගනු ලබන ඇමතිවරුන් කීපදෙනකුද පොහොට්ටු වේදිකාව තෝරා ගෙන තිබුණි. ඒ සියලු දෙනාගේත් මහින්දගේත් සෘජු විවේචනයට ලක්වූයේ මාලිමාවය. එදා ජ.වි.පෙ. ලෙස ක්‍රියාත්මක වූ දේශපාලනය මිනීමරු එකක් බවද මෙම පොහොට්ටු වේදිකාවෙන්ද චෝදනා නැඟුණි.

1971දී හා 88-89 ජ.වි.පෙ. ක්‍රියාකාරකම් සම්බන්ධ චෝදනා පත්‍රය අද රාජපක්ෂ කැඳවුරෙන් මෙන්ම ස.ජ.බයෙන්ද නිබඳව ඉදිරිපත් වන්නකි. රාජ්‍ය සම්පත් විනාශ කිරීම පුද්ගල ඝාතන හා භීෂණය පිළිබඳ එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන්ම ජ.වි.පෙද රටට වගකිව යුතු බව මේ හැම වේදිකාවකම පුන පුනා නැඟෙන චෝදනාවක් මෙන්ම දේශපාලන අවලාදයක් ද වී තිබේ. ජ.වි.පෙ. එබඳු භීෂණයකට තල්ලු වී තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා ඉඳුරා වෙනස් ආකාරයකටය. කුමක් වුවත් ඒ භීෂණ හා ඝාතන සංස්කෘතිය ගැන අපටද දැඩි විවේචනයක් තිබේ. ඒ මහා විනාශය ගැන ජ.වි.පෙ. වගකීම භාරගත යුතුය. එහෙත් අද ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට අයිතියක් නැතැයි පැවසීම සම්බන්ධයෙන් විවිධ විවේචනද කියවීම්ද තිබේ.

ලේ පිපාසිත මිනීමරු ඉතිහාසයක් සහිත පක්ෂයකට බලය ලබාදිය යුතු නැතැයි මහින්දලා අද කියති. චන්ද්‍රිකාත් කියයි. එහෙත් පොදුජන පෙරමුණ හා ශ්‍රී.ල.නි.පයද ජ.වි.පෙ. සමග සන්ධාන ගත වූ බව අපට මතකය. ඒ 2001 දීය. පරිවාස ආණ්ඩුවක් හදා මැතිවරණය දිනාගෙන ජ.වි.පෙට කැබිනට් ඇමතිධුර පවා ලබාදුන් මේ මහත්වරුන්ට ඒ ඉතිහාසය අමතක වී තිබේද? 2005දීත් මහින්දලාට ඔවුන්ගේ සහාය හිමිවිය. එපමණක්ද? 2010 ජනාධිපතිවරණයටද ජ.වි.පෙ සරත් ෆොන්සේකාට සහාය වූයේ නැද්ද? 2015 මෛත්‍රී – රනිල් හැදූ යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවකටද ජ.වි.පෙ සිටි බව පොහොට්ටුවම චෝදනා කරනු ඇසෙයි. ඇත්තටම බලය සඳහා ජ.වි.පෙ ඉඹලා පිළිගත් රාජපක්ෂ කඳවුර අද ඒ ඉතිහාසයේම සරදම් විඳියි. ජයවර්ධන යුගයේ වැටුණු භීෂණයේ අඳුරු සෙවණැලි ප්‍රේමදාස පාලන සමයේදී දුරු වූයේද නැත. ඒ භීෂණය දේශපාලනයෙන් බාහිර කලාකරුවන් – මාධ්‍යවේදීන් කරාද හඹා ආ අයුරු අපට මතකය. මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය නන්දා මාලිනී පසුපස හඹා ආ තුවක්කුකරුවන් ගැන අපට ද මතකය. ඒ ඔවුන්ගේ ‘පවන’ නමැති විරෝධාකල්ප ගී ප්‍රසංගය නිසාය. එදා ඒ පවන ගැන විචාරයක් ලිවීම නිසා මේ ලියුම්කරු පසු පසද රාජ්‍ය අනුග්‍රහය ලත් ඝාතකයන් ලුහුබැඳ ආ බවද සිහිපත් කිරීම පමණක් සෑහේ. එසේම ඒ යුගයේ දිවයින මාධ්‍යවේදී සගයන් පසුපසද ඒ භීෂණයේ අඳුර ඇදී ආ බව ඉතිහාසයෙහි සටහන් වූවකි.

අප මේ කරුණු මතක් කළේ ජේ.වී.පී.ය වෙනුවෙන් නොව එය සත්‍යය නිසාය. කොටින්ට එක්ව ඝාතන සිදුකළ අයත් රාජපක්ෂ ආණ්ඩුවලට දායක වී සිටියහ. කවරකුට වුවද වැරදි නිවැරදි කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්විය හැකිය. ජ.වි.පෙ. අද ඒ මාර්ගයේ දේශපාලන ගමනකට යොමු වී සිටියි. ඔවුන්ගේ ගමන දෙස ජනතාව අවධානයෙන් ද සිටියි. 2022 දී රාජපක්ෂ කඳවුරට එරෙහිව නැඟුණු ජනතා විරෝධයටත් ජ.වි.පෙ. වගකිව යුතු බව පොහොට්ටුවටත් ස.ජ.බය හා එජාපයත් පවසයි. එහෙත් එහි සත්‍යයක් නැත. ජ.ජ.බ. බලයට පැමිණීම යනු රාජපක්ෂවරුන්ට මෙන්ම තවදුරටත් පැවැති වැඩවසම් ගර්හිත ප්‍රභූ දේශපාලන කඳවුරටම භීතිය දනවන්නකි.

මෙවර ජා.ජ.බ. මැයි දින වේදිකාවේදීත් අනුර කුමාර ප්‍රකාශ කළේ දේශපාලනයේ සිදු විය හැකි වෙනස දැනෙන ප්‍රභූ දේශපාලනයේ සියල්ලන්ම තම පෞද්ගලික භේද මත ගැටුම් අමතක කර තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට එරෙහිව එක කඳවුරකට පැමිණෙන බවය. රනිල්, මහින්ද, චන්ද්‍රිකා මෙන්ම ස.ජ.බ.යද අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස මාලිමාව දකින බවද අනුර කුමාර ප්‍රකාශ කර ඇත. එසේම ජා.ජ.බය සිය දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කර ඇත. දසක කීපයකට පෙර තිබුණු භූ දේශපාලනයන්, ආර්ථිකයන් වෙනස් වී ඇති බවද මාලිමාවේ ස්ථාවරය බව පෙනේ. රාජ්‍ය අංශය සමඟ පෞද්ගලික අංශයද තරගකාරීව පවත්වාගෙන යන බව නලින්ද ජයතිස්සයන් ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණයට පෙර සිය ආර්ථික ප්‍රතිපත්තිය රට ඉදිරියේ තැබීමද ඔවුන්ගේ වගකීමකි.

මේ වනවිට ඒ ඒ දේශපාලන පක්ෂවලට ලැබී තිබෙන ජනප්‍රසාදය පිළිබඳ සමීක්ෂණ වාර්තා ප්‍රතික්‍ෂේප කරන පොහොට්ටුව තමන්ගේ බලය ගැන තිබෙන විශ්වාසය සම්බන්ධයෙන් අපට විවාදයකට පැටලීමට අවශ්‍ය නැත. එහෙත් අපට පෙනෙන හා හැඟෙන ආකාරයට අද මේ සියලු සම්ප්‍රදායානුකූල පක්ෂ පසුබස්වමින් ස.ජ.බ. හා ජා.ජ.බ. කැපී පෙනෙන දේශපාලන වර්ධනයක් ලබාගෙන සිටියි. පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ජ.වි.පෙ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු මැදිවූ විවාදය තුළින් පිළිබිඹු වන්නේද මේ ගර්හිත දේශපාලනයේම පැතිකඩකි. එම විවාදය සමබර එකක් නොවූයේ පොහොට්ටුවේ දෙදෙනෙක් හා ස.ජ.බ. නියෝජිතයා සහ තිදෙනාම මාලිමාවේ දැඩි විවේචකයන් වීම නිසාය. නලින් හේවගේ පසුව සඳහන් කළේ තමන්ට තම අදහස පැහැදිලි කිරීමට ඉඩක් නොදුන් බවය. තම අදහස ප්‍රකාශ කිරීමට පෙර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බාධා කළ බවය. අප මෙය මතක් කළේ ස.ජ.බ. හා ජා.ජ.බ. විවාදයක් ගැන ඇසෙන කතා සිහිපත් වීමෙනි. අනුර කුමාර ඒ පිළිබඳ මැයි වේදිකාවේත් සිහි කළේය. ඇත්තටම වේදිකාවල මඩ ගසා ගැනීම් වෙනුවට සංයමයකින් හා සංවරයකින් සමාජ දේශපාලන යථාර්ථයන් පිළිබඳ ජනතාව ශූන්‍ය කළ හැකි ප්‍රබුද්ධ චරිත විවාද සඳහා කැඳවීමද මාධ්‍යවල වගකීමය. ශිෂ්ටයන් යෙදිය යුතු තැන අශිෂ්ටයන්ට ලබාදීම පක්ෂවලටද හානියකි. කොහොමටත් අද ප්‍රබුද්ධ වේදිකාවල මීහරක් සරඹ සුලබව දැක ගත හැකිය.

කෙසේ හෝ මෙවර මැයි දිනය වෙනම පැවැත්වූ ශ්‍රී ල.නි.ප.ය, උත්තර ලංකා සභාගය, පෙරටුගාමී පක්ෂය, සමසමාජ පක්ෂය හා තවත් සංවිධානද විය. දේශපාලන ජංජාලයක සිරවී සිටින ශ්‍රී ල.නි.ප. මෛත්‍රී පිල මැයි ජනහමුවක් පවත්වා සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඇමැති විජයදාස රාජපක්ෂද නම් කළේය. අයි. එම්. එෆ්. මරඋගුල හා ඉන්දියානුකරණය ගැන අනතුරු ඇඟවීම් පෙරටුගාමීන්ගෙන් මෙන්ම විමල් හා උදයලාගෙන්ද ප්‍රකාශ විය. අනුර කුමාර අවධාරණය කළේ සියයට තුන සියයට පනස් එක වීම මහ පොළවේ යථාර්ථය වී අවසන් බවය. පෙරටුගාමී කුමාර ගුණරත්න පැවැසුවේ ලාභ කඳු ගසන ප්‍රාග්ධන ලෝකය පිළිබඳ ලෙනින් කළ අනතුරු ඇඟවීමට එ.ජා.ප. – ස.ජ.බ. පොහොට්ටුව මෙන්ම ජා.ජ.බ.යද නතු වී සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment