නිදහස් උළෙල වෙනුවෙන් කොළඹ රථවාහන සැලැස්මක්

77

76 වැනි නිදහස් දින උළෙළේ පෙරහුරු වැඩසටහන හේතුවෙන් අද (30) සිට කොළඹ ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසීය පවසයි.අද සිට පෙබරවාරි මස 03 වැනිදා දක්වා අවස්ථා කිහිපයකදී මාර්ග වසා තැබීම් සහ සීමාකිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.නිදහස් උළෙල පැවැත්වෙන ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබන අද සිට පෙබරවාරි මස 02වැනිදා දක්වා පෙරවරු 06 සිට දහවල් 12 දක්වාත් පෙබරවාරි මස 03 වැනිදා පස්වරු 02 සිට පෙබරවාරි මස 04 වන දින උත්සවය අවසන් වන වේලාව දක්වාත් එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මාර්ග ආරක්ෂාව හා රථවාහන පාලන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා,”කොල්ලුපිටිය සිට කොළඹට ඇතුළුවන වාහන සීමා කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කොළඹ කොටුවේ සෙරමික් හන්දියේ සිට ගාලු මාර්ගය ඔස්සේ පිටවීම සම්බන්ධවත් වාහන සීමා කිරීමක් සිදුවෙනවා. උදෑසන 6 සිට උදෑසන 8.30 දක්වා පළමු පෙරහුරුව පැවැත්වෙනවා. එය අවසන් වූ වහාම වසා තැබෙන මාර්ග සියල්ල විවෘත කරලා, දෙවන පෙරහුරුව 11ට ආරම්භ වෙනවා. එ් අනුව 12.30 දක්වා මාර්ග වසා තැබේ. පෙබරවාරි මස 3 වනදා සවස 2 සිට මෙම උත්සව භූමියට කිසිදු වාහනයක් ඇතුළු වීමට නොහැකි වන ලෙස සියල්ල වසා තබනවා.”වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය.”ගාලු මැද පාර, ගාලු මුවදොර වටරවුම, NSA වටරවුම දක්වා, චෛත්‍යපාර වසා තබනවා. ඒ වගේම කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දුම්රිය පොළ දක්වා ඇතුළුවීම වසා තබනවා. ඒ වගේම ශාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාරට ඇතුළුවීම, රොටුන්ඩා වට රවුමෙන් ගාලු පාරට ඇතුළු වීම, සෙරමික් හන්දිය NSA වටරවුම දෙසින් ඇතුළු වීම, යෝක් වීදියේ බැංකු මාවතෙන් ඇතුළුවීම, චැතම් වීදියේ ඇතුළුවීම, යෝක් වීදියෙන් මුදලිගේ මාවතට ඇතුළු වීම ආදී මාර්ග රැසක් මෙලෙස වසා තබනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment