පාස්කු ප්‍රහාර මහමොළකරු අවතාරයක් නොවේ

619

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පෙර සිටම සහරාන් ඇතුළු කණ්ඩායම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව හඳුනාගත් සියලු ජාතීන්ට අයත් සිවිල් පුරවැසියන් ආරක්ෂක අංශවලට සහය වූ බව නොරහසකි. මාවනැල්ලේ, මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ද ඒ අතර සිටි තරුණයෙකි. ඇත්තෙන්ම වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් සිය ජීවිත අවදානම නොතකා ආරක්ෂක අංශ වෙත සහය දෙන ලදී. ඉන් කුපිත වූ සහරාන්, සිය සැලසුම් අවුල් කරන තස්ලිම් වෙඩි තබා ඝාතනය කිරීමට සිය සගයන් යෙදවීය. 2019 මාර්තු 09 වැනි දින තස්ලිම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහු නිවසේ නිදා සිටියදීය. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු තස්ලිම් දින 20ක් සිහිසුන්ව සිටියේය. 2019 මාර්තු 27 වැනි දින පානදුර, පරත්ත පාරේ පිහිටි නිවසක පැවති සාකච්ඡාවකදී සහරාන් විසින් තස්ලීම්ගේ නම සඳහන් කරනු ලැබ තිබිණි. එදින පැවති රැස්වීමේ තොරතුරු කවුරුන් හෝ හෙළිදරවු කළොත් ඔවුන්ට වව්නතිවු හිදී මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ මාවනැල්ලේ තස්ලිම්ට අත් වූ ඉරණම අත්වන බවට අනතුරු අඟවමින් සහරාන් අදාළ සාකච්ඡාව අවසන් කර තිබිණි. එහෙත් මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ගැන අද සිහිකරන්නේ කවරෙක්ද? ඔහු දේශප්‍රේමියෙකි. වෙඩි වැදීමෙන් අනතුරුව තස්ලිම් රැකියාවක් කළ නොහැකි තත්ත්වයට පත් වී තිබේ. එමෙන්ම ආරක්ෂක හේතුන් මත ඔහුගේ සංචරණය ද සීමා කර ඇත. එහෙත් තවමත් පාස්කු මහමොළකරු සෙවීම නම් සිදුවේ.

නමුත් නවුෆර් මවුලවි අතහැර මහමොළකරු සෙවීම සිදු කරන්නේ කෙසේද? අපි නම් දන්නේ නැත. පාස්කු ප්‍රහාර මහමොළකරු අවතාරයක් නම් නොවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමෙන් පසුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද අහිමිවිය.

සිරියාවේ හා ඉරාකයේ පැතිර තිබූ අයි.එස්.අයි.එස්. සංවිධානයේ අන්තවාදී මතවාදය මෙරට තුළ පෝෂණය කරන්නට පෙරමුණ ගත්තේ ඊබ්‍රාහිම් මොහමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවූලවිය. ලංකාවත් සිරියාවක් බවට පත් කරන්නට අන්තවාදය වපුරන න්‍යායාචාර්යවරයා වන්නේ නවුෆර් මව්ලවි බව පසුගිය කාලය පුරා සිදු කළ විමර්ශන වලින් තහවුරු වී තිබේ. අයිසිස් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නවුෆර් තෝරාගන්නේ සහරාන් හෂීම්වය. කාත්තන්කුඩි උපන් නවුෆර් මව්ලවි විවාහ වන්නේ කුලියාපිටිය කැකුණගොල්ලෙන්ය. 1997දී කටාර් රාජ්‍යයේ රැකියාවක් සඳහා පිටව යන නව්ෆර් මවුලවි එහිදී අන්තවාදී දේශන පවත්වා ශ්‍රී ලාංකිකයන් අන්තවාදයට නැඹුරු කිරීමට පටන් ගෙන තිබිණි. නමුත් පාස්කු කොමිසමේ මහමොළකරු” (mastermind) වචනය මුළු වාර්තාවේම ඇත්තේ තුන්පොළකය. 143, 528 හා 402 හිය. මුල් දෙපළ බංග්ලාදේශ අවන්හලට බෝම්බ ගැසූ සිද්ධිය අලලාය. තුන්වැන්න 402 පිටුවෙහිය. එහි උපුටනය මෙසේය. “පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහමොළකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය” එතැන සහරාන් හෂීම් මහමොළකරු ලෙස නම් කර ඇත. කාදිනල්තුමා නම් කිසිම විටක සහරාන් හෂීම් මහමොළකරු ලෙස පිළිනොගනී. පල්ලියට අවශ්‍ය බෞද්ධයකු මහමොළකරු වීමද? මෙය බරපතළ විවාදාත්මක කාරණයකි. එහෙත් පාස්කු වාර්තාවේ නවුෆර් මවුලවි සහරාන් හසුරුවන්නා නැත්නම් මහමොළකරුවී යයි නොකියවේ. සහරාන් හා මවුලවි අතර කිට්ටු සම්බන්ධයක් තිබුණු බව පැහැදිලිය. ඔහු පුහුණු හා රැස්වීම් සංවිධානයට සම්බන්ධවූ බව මේ වාර්තාවේ පිටු 235න් පෙනේ. මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්, සහරාන් හා ඉතා කිට්ටුවෙන් සිටියේය. එය පාස්කු වාර්තාවේ 229 පිටුව අනුව හෙළිවේ. “සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපයන්නෙකු වූ ඉල්හාම් සමග ඔහුගේ සහෝදර ඉන්ශාෆ් ද වීය” ලෙස සටහන්වී තිබේ. සිරියාවට මුදල් යැවීම ගැන දෙදෙනා සාකච්ඡා කළ බව පෙනෙන හෙයින්ද දෙදෙනා අතර හිතෛෂීභාවය බොහෝ වැඩි බව පෙනේ. මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ජාතික ලැයිස්තුවේ සිටි පක්ෂය දැන් මහමොළකරු තමන් බලයට පත්වූ විට වහාම සොයන බව කියමින් පල්ලියට ලිපියක්ද භාරදී ඇත. මෙය අභාවාචක සිද්ධියක් නොවන්නේද? මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් වන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන සොහොයුරන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා යන හෝටල් දෙකටයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩුවක් පවරා තිබේ. මොහොමඩ් ඊබ්‍රාහීම් ප්‍රසිද්ධ කුළුබඩු වෙළෙන්දෙකි. කුරුඳු හා ගම්මිරිස් අපනයනකරුවෙකි. කොළඹ ව්‍යාපාරික කවයන් අතර ප්‍රසිද්ධ, දේශපාලනික වශයෙන් මනා සම්බන්ධතා ඇති අයෙකු ලෙස ඔහු සැලකෙයි. ව්‍යාපාරික ප්‍රජාවේ නායකයෙකු වූ ඊබ්‍රාහිම්ට පුතුන් හය දෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටියහ. මොහොමඩ් ඊබ්‍රාහිම්ව බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබුවේ හජ්ජියාර් ලෙසයි. බලවත් ධානපතියෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය. 2015 ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටියේ මොහුය.

පාස්කු ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම්ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය. තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය. ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ශාන්ත සෙබස්තියන් බෝම්බකරු මොහොමඩ් හස්තුන් ය. මඩකලපුවේ පිහිටි ක්‍රිස්තියානි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්හලකදී බෝම්බය පුපුරුවා හැරියේ බි්‍රතාන්‍යයේ සහ ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය. ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල් හා භෞතික සම්පත් ලැබෙන්නේ 2018 සිටය. වැල්ලම්පිටිය තඹ කම්හල හිමි දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම් විසින් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් සහරාන්ට ලබාදී තිබිණි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදුවී ඊයේට වසර පහක් සම්පූර්ණ වුවද එහි මහමොළකරුවන් සහ කුමන්ත්‍රණකරුවන් හෙළි කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇති බව කාදිනල් හිමියෝ පවසති. යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්‍රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බව බීබීසීය සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබිණි. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් සෙනසුරාදා මාධ්‍යයට අනාවරණය කර තිබිණි. ඔහු මෙහිදී හමුදා බුද්ධි අංශයට චෝදනාවක් එල්ල කරන බව පැහැදිලි විය. මීට පෙර එනම් 2022 දී වව්නතිවුහි දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම ගැන රහස් පොලිසියේ පරීක්ෂණ නොමඟ යැවීමට හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමේ දක්වා තිබිණි. මේ කරුණු සඳහන්ව තිබුණේ 2022 පෙබරවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමේය. 2020 ජුලි 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට පත්විය.

ඉතිහාසය මතක් කිරීමේදී 2019 අප්‍රේල් 21 උදෑසන 08.45 – 09.00 අතර දේවස්ථාන සහ සංචාරක හෝටල් 6 ක් කෙටි කාල පරාසයක් තුළ ප්‍රහාරයට ලක්විය. පෙරවරු 11.00ට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දින දෙකක කාලයක් පාසල් වසා දමනු ලැබීය. පස්වරු 01.45ට පළමු පිපිරීම් මාලාව සිදු වී පැය 5කට පමණ පසු දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හළක තවත් පිපිරීමක් වාර්තා විය. ඒ එදින සිදු වූ හත්වෙනි පිපිරීමය. පස්වරු 02.15ට දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමක් අතරතුර තවත් පිපිරීමක් සිදු වූ අතර ඉන් පොලිස් සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත් විය. මෙය ව්‍යාපාරික ප්‍රජාවේ නායකයෙකු වූ ඊබ්‍රාහිම්ගේ නිවසේ පිපිරීමයි. පස්වරු 02.30ට රජය විසින් ප්‍රමුඛ පෙළ සමාජ ජාල පණිවුඩ සේවා අත්හිටුවීමට පියවර ගනු ලැබූ අතර පසුව පස්වරු 06.00 සිට පසුදින උදෑසන 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment