අනුල ද සිල්වා නම් ඇය

450

පුවත්පත් කලාවේදිනියක්; ලේඛිකාවක් ලෙස මෙරට ලේඛන කලාවට සුවිශේෂී මෙහෙවර සිදුකළ අනුල ද සිල්වා මහත්මිය මියගොස් ඉකුත් 12 වැනි දිනට තෙමසක් සම්පූර්ණ විය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දිනය හරියටම 1999 සැප්තැම්බර් පළමු වැනිදා. ස්ථානය කොළඹ ජාතික කලා භවන. සාහිත්‍ය මාසය වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයක්. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවධිය. ප්‍රදර්ශන අලෙවි කුටි ඉතාම සීමිත ප්‍රමාණයකි. එම ප්‍රදර්ශන භූමියේ සැරිසරමින් පොත්වල උණුසුම විඳිමින්, පොත් අත ගාමින් සිටි මගේ ඇස ගැටුණේ මනරම් පිටකවරයක් සහිත පොතක් වෙතය. සුන්දර නිමාව දුටු පොත අතට ගත් මම එහි පසු වදන එක හුස්මට කියවන්නට වීමි. බේටි මහමුදි නම් කාන්තාවකගේ, නැති නම් දිරිය ගැහැනියකගේ සත්‍ය කතාවකි. එහි සිංහල පරිවර්තනය අනුල ද සිල්වා ගෙනි. දෙවියන්ගේ අඩවිය යනුවෙන් සඳහන් වී තිබිණි. පොතක් මිලදී ගත් මම එදින රාත්‍රියේම එම පොත කියවා නිම කළේය. එහි ආකර්ෂණීය බස් වහර පොත එක හුස්මට කියවා නිම කරන්නට හේතු විය.

එම පොතෙහි ප්‍රකාශකයා සූරිය ප්‍රකාශකයෝ යනුවෙන් සඳහන් වී තිබුණ නිසා පහුවදාම මරදාන පියදාස සිරිසේන මාවතේ පිහිටි සූරිය පොත් හලට ගියෙමි. එදින එහි හිමිකරු වූ අතුල ජයකොඩි මහතා ද සිටියේ. මම ඔහුගෙන් විමසා සිටියේ අනුල ද සිල්වා මහත්මියගේ පරිවර්තන කෘති තිබෙනවාද කියාය. මම දෙවියන්ගේ අඩවිය පොත කියෙව්වා කියා පැවසූ පසු ඔහු මගේ අතට නව වසර’, ‘තටු කුරුළු හඬ’ පොත් දෙක ලබාදුන්නේය. එම පොත් දෙකත් ඉක්මනින්ම කියවා නිම කළ මට අනුල ද සිල්වා කියන නම හුරු පුරුදු නමක් විය. ඉන් වසරකට පමණ පසු අනුල ද සිල්වා මහත්මියගේ “බේරේ ගෙදර සිට” පොතත් මිලදී ගන්නට ලැබුණි. ඇයගේ ජීවිත කතාව එම පොතෙහි විය. බේරේ ගෙදර යනුවෙන් හඳුන්වන්නේ පත්තර මහ ගෙදර වන ලේක් හවුසියට බව පසුව දැන ගන්නට ලැබුණි.

2003 වර්ෂයේ දිනකි. එකල මම සේවය කරමින් සිටියේ සුමති පුවත්පත් සමාගමේය. පිළිගැනීමේ නිලධාරිනිය අසල පුටුවේ ඉඳගෙන සිටි කෙනෙකු වෙත මගේ නෙත ගැටුනි. මම කරන්නට ගිය රාජකාරි කටයුත්ත පසෙකලා ඔබතුමිය අනුල ද සිල්වා මහත්මිය නේදැයි මා විමසුවේය.

“ඔව්. මම අනුල ද සිල්වා, ඔයා කවුදැයි දරුවෝ” කියා විමසන්නට විය. මම ඔබතුමියගේ පරිවර්තන කෘති පරිශීලනය කළ කෙනක්. මා ඒ වනවිට “ලී පහුර”, “දිලිසෙන පිහාටු” පරිවර්තන කෘති දෙකක් කියවා තිබුණි. ඇයගේ මම කියවපු පොත්වල නම් කට පාඩමින් කියන්නට විය. එතුමිය අසුනේ සිටම සුන්දර ලෙස සිනහසුනේය. මම ඔබතුමියගේ ජීවිත කතාව “බේරේ ගෙදර සිට” ත් මිලදීගෙන කියෙව්වා, කී විට ඉඳගෙන සිටි අසුනෙන් නැගිට මගේ අත් දෙකන්ම අල්ලා ගත්තේය. අනේ දරුවෝ ඔයා මගේ පරිවර්තන කෘති කියෙව්වා කිව්වාම මම වැඩි ගාණකට ගත්තේ නැහැ. නමුත් මගේ ජීවිත කතාවත් කියවලා කියා සතුටින් පවසන්නට විය. මම රාජකාරි කටයුත්තකට යනවා කියා එතනින් නික්ම ගියේය. සමහර විට අපි දිගටම මුණ ගැහේවි කියා අනුල ද සිල්වා මහත්මිය මා හට පැවසීය.

ඉන් පැයකට පමණ පසු අපේ පිළිගැනීමේ නිලධාරිනියගෙන් ඇමතුමකි. අර ඔයා මෙතනදී කතා කරමින් සිටි මිස් ඔයාට අඩගහනවා යැයි කීවේය. මම එම මොහොතේම පිළිගැනීමේ නිලධාරිනිය අසලට ගියවිට අනුල ද සිල්වා මහත්මිය මාහට පැවසුවේ දරුවෝ ඔය ගොල්ලන්ගේ ආයතනය අලුතින් පටන් ගන්නා ළමා පුවත්පතේ කර්තෘ තුමිය මම, ලබන සතියේ ඉඳලා වැඩට එනවා අපි දිගටම මුණ ගැහේවි කියාය. ඉන් සතියකට පසු අනුල මහත්මිය සමග සුනිල් එස් සේරසිංහ මහතාත්, තුෂාරි මීගම නංගිත් සමග අපේ ආයතනයට එක්ව සිටියේය. ඉන්පසු දිගටම අනුල ද සිල්වා මහත්මිය සමග කිට්ටුවෙන් වැඩ කරන්නට හැකියාව ලැබුණි. ශරීරයෙන් ඉතාම කුඩා කෙනෙකු වුවද මහ දැනුම් සම්භාරයක් ඇති කාන්තාවකි. ඒ වනවිටත් දිවයිනේ ප්‍රධානතම කාන්තා පුවත්පත් දෙකක මුල් පුටු හොබවා තිබිණි. පත්තර කලාවට පුදුමාකාර ලෙස ඇලුම් කළේය. ගුරු වෘත්තියට තිත තබා පත්තර රස්සාව තෝරාගෙන තිබිණි. කාන්තා විමුක්තිය ගැන නිතරම කතා කළේය.

මගේ හැකියාවන් හඳුනාගෙන “සිසුබිම” පුවත්පත සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයන්හි නිවේදන වැඩ භාරදී ජීවිතයේ ප්‍රථම වතාවට නිවේදන රාජකාරියක් වෙනුවෙන් ගෙවීමක් ලබාදීමට ද කටයුතු කළේ අපේ අනුලා මිස්ය. එම ගෙවීම අනුමත නොකිරීමට ගණකාධිකාරිවරයා දැන්වූ පසු කළමනාකාර අධ්‍යක්ෂක තුමන් මුණගැසී එය අනුමත කර ගත් බව පසුකලෙක මට දැන ගන්නට ලැබිණි. ඒ අනුලා මිස්ගෙ හැටිය. දෛවෝපගත සිද්ධිය නම් පහුගිය සෙනසුරාදා අනුල මිස් මියගිය පුවත සේරසිංහ මහතා දන්වන විටත් මා වර්තමානයේ සේවය කරන උපාලි පුවත්පත් සමාගමේ “සුජය” පුවත්පත සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක නිවේදන කටයුතුවල නියැළෙමින් සිටියේය.

එකල මා පොත් කියෙව්වාට එකතු කිරීමේ වුවමනාවන් තිබුණේ නැත. මේ වනවිට මා හට පොත් පන්සියයක පමණ පුස්තකාලයක් හිමිය. ඒ සඳහා මා මිලදී ගත් පළමු පොත Not Without My Daughter, පොතේ සිංහල පරිවර්තනය අනුල ද සිල්වා මහත්මියගේ “දෙවියන්ගේ අඩවිය” පොතය. මම අවසන් වරට මිලදී ගත්තේ ද Lost Without My Daughter පොතෙහි පරිවර්තනය දෙවියන්ගේ අඩවියේදී “දුව නැතිව මං” අනුල ද සිල්වා මහත්මියගේ පොතය. අවසන් වශයෙන් මේ කතාව ද සඳහන් කළ යුතුමය. මට අලුත් ආයතනයකට අයැදුම් පත්‍රයක් දැමීමට, ඥාතීන් නොවන මා පිළිබඳව විමසීමට දෙදෙනකුගේ නම් සඳහන් කිරීමට අවශ්‍ය විය. අනුල ද සිල්වා මහත්මිය අමතා ඔබතුමියගේ නම අයැදුම් පත්‍රයට දැම්මට කමක් නැහැ නේදැයි විමසුවෙමි. එතකොට මම සාක්ෂිකරුවෙක් නේදැයි මගෙන් පෙරළා විමසුවේය. ජයරුක්, අයැදුම් පත්‍රයට පමණක් නොව ඔයා විවාහ වන දිනයේදී විවාහ සහතිකයේ සාක්ෂියට අත්සන් කරන්නෙත් මම යැයි අනුල මිස් පැවසුවයේ. තවමත් මට ඒ ඉල්ලීම ඉටු කරන්නට බැරි විය. දැන් අනුල මිස් අප අතර නැති නිසා ඒ ඉල්ලීම ඉටු කරන්නට වෙන්නේම නැත. අවසන් වශයෙන් ඔබ තුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
● මතීෂ ජයරුක්

advertistmentadvertistment
advertistmentadvertistment