මිදුණු විශ්වයක ක්ෂීර සාගරයක් කැලඹේ…

373

ක්ෂීර සාගරය කැලඹේ සුනිල් ආරියරත්නගේ නවතම සිනමා සිත්තමයි. මිදුණු විශ්වය ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත් ම චිත්‍රපටයයි. දෙදෙනාම සිනමාවට අමුත්තෝ නොවෙති. එහෙත් සුනිල් ආරියරත්නට සාපේක්ෂව ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපට අධ්‍යක්ෂ භූමිකාව වයසින් අඩුය. 1978 දී අනූපමාගෙන් ඇරැඹෙන සුනිල්ගේ අධ්‍යක්ෂ භූමිකාව 2023 ක්ෂීර සාගරය කැලඹේ දක්වා නිර්මාණ විසිපහකට ආසන්න සංඛ්‍යාවක් දක්වා විහිදී ඇති බව පෙනේ. ඒ අතර සරුංගලේ, සිරිබෝ අය්යා, පොඩි මල්ලි, සුදු සෙවනැලි, යසෝදරා වැනි සිනමාරූපී චිත්‍රපට මෙන්ම අලි කතාව, විජයබා කොල්ලය වැනි හුදු බයිස්කෝප් ද වූ බවයි සිනමා විචාරකයන් හා බහුතර ප්‍රේක්ෂකයන්ගේ අදහස. මේ සා දිගු කලක් අධ්‍යක්ෂ භූමිකාවෙහි රැඳී සිටීමට ඔහු සමත්වන්නේ නිෂ්පාදන කාර්යය සඳහා අර්ථපතීන්ගේ හිඟයක් නොවීම හේතුවෙනි. 2002 දී අග්නිදාහය අධ්‍යක්ෂණයෙන් ටෙලිනාට්‍යයේ සිට සිනමාවට අවතීර්ණ වන ජයන්තගේ නවතම සිනමා කෘතිය වන මිදුණු විශ්වය (2023) තෙක් චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කිරීමට වාසනාවන්ත වී ඇත. ගරිල්ලා මාකටිං හා ඝරසර්ප වැනි සිනමාත්මක නිර්මාණ අතරේ මහරජ ගැමුණු හා සමනල සංධ්වනිය වැනි චිත්‍රපට ද වූ බව අමතක නොවේ. කුමක් හෝ දෛවෝපගත සිදුවීමකට මෙන් අද දවසේ මෙරට සිනමා රසිකයන්ට ප්‍රවීණ සුනිල් ආරියරත්නගේ මෙන් ම නවීන ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටයක් ද සමගාමීව නරඹන්නට ඉඩ හසර සැලසී ඇත. මෙම නිර්මාණ ද්වය ම අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ භූමිකාවන්හි කඩඉම් අවස්ථා සේ සැලකීමට සිදුවී ඇත්තේ මෙම නිර්මාණ තුළින් දෙදෙනාගේම පරිණත බව හා සිනමා රීතීන් තුළ ප්‍රශස්ත නිර්මාණ ද්වයක් පිරිනැමීමට ඔවුන් සමත් ව සිටිනා බැවිනි. වෙසෙසින් ම සුනිල් ආරියරත්නගේ මෑතකාලීන අධ්‍යක්ෂ භූමිකාව තුළ සිනමා බස මනාව වටහාගත් සිනමානුරූපී නිර්මාණය ක්ෂීර සාගරය කැලඹේය යන්න අවිවාදාත්මක ය.

කඩා බිඳ වැටී ඇතැයි පැවසෙන සිංහල සිනමා කලාව හා ව්‍යාපාරය තුළ ක්ෂීර සාගරය හා මිදුණු විශ්වය ප්‍රේක්ෂක අවධානයට හා කතාබහට පත්ව ඇත්තේ කිනම් පසුබිමකද යන්න විමසිය යුතුය. රටෙහි ඇති වූ විවිධ ව්‍යසන හා අර්බුද නිසා සිනමාව කඩා බිඳ වැටී ඇතැයි වාර්තා වූවද, 2022 වර්ෂය තුළ තිරගත වී ඇති සිංහල චිත්‍රපට සංඛ්‍යාව විස්සකට ආසන්නය. අශෝක හඳගමගේ අල්බොරාදා සිට උදයකාන්ත වර්ණසූරිය ගේ ගින්දරී 3 ද ඇතුළත්ව නවක චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් විසින් නිර්මාණය කළ මේ චිත්‍රපට නැරැඹූ ප්‍රේක්ෂාගාරය කෙබඳුද මේ චිත්‍රපට අගනුවර හා තදාසන්න PVR, CCC, Amity Lite, ලිබර්ටි සැවෝයි වැනි සිනමාශාලා හැර දිවයින පුරා ප්‍රදර්ශනය වූ සිනමා ශාලා කවරේද යන්න පිළිබඳ තොරතුරු හා දත්ත ලබා ගත හැක්කේද? 2022 වසරේ මෙලෙස තිරගත වී ඇති චිත්‍රපට නාමාවලියෙන් කොටසක් බලන්න. මොනලිසා, ආශාවරී, පියාඹන්න ආයෙත්, ප්‍රාණ, හිතුමතේ ජීවිතේ, රං කොල්ලා, නිමි, විහඟ ප්‍රේමය ආදී චිත්‍රපට සිනමා ශාලාවන්හි කොතෙක් දවසක් තිරගත වී ද කියා හෝ දන්නෝ කවරහු ද? 2023 වර්ෂයේ ද තත්ත්වය 2022 ට දෙවනි නොවේ. මේ වන විටත්, ගජමෑන්, වෙඩි නොවදින ළමයි, තට්ටු දෙකේ ඉස්කෝලේ, වියසිදුරු, යාළුවොද? යාළුයිද? ගාඩි, සහෝ, යුගාත්‍රා, දඩ ඉම හා තවත් චිත්‍රපට තිරගත වී හා තිරගතවෙමින් පවතී. සිනමාවේ කඩා වැටීමක් පිළිබඳ කතාබහ කිරීම කෙතරම් සාධාරණ ද කියා ප්‍රශ්න කළ යුතු නොවෙද? මේ සන්දර්භයෙහි ය ක්ෂීර සාගරය හා මිදුණු විශ්වය ප්‍රදර්ශනය වෙමින් පවතින්නේ.

මිදුණු විශ්වයක ක්ෂීර සාගරයක් කැලඹේ…

ක්ෂීර සාගරය කැලඹේ චිත්‍රපටයෙහි තිර රචනය සයිමන් නවගත්තේගම සාහිත්‍යධරයාගේ එනම් නවකතාව පසුබිම් වූවද නවකතාවෙන් වියුක්තව චිත්‍රපටයක් ලෙස රස විඳීමට හැකි අයුරින් නිර්මාණය කිරීමට සුනිල් ආරියරත්න සමත් වී සිටියි. මා චිත්‍රපටය නැරැඹීමෙන් පසු නවකතාව කියවූ මුත් යළි චිත්‍රපටය කෙරෙහි මතකය දිව යද්දී නවකතාවට අධ්‍යක්ෂවරයා විසින් හානිකරන ලද්දේ යයි චෝදනාවක් නගන්නට ඉඩක් ලැබී නැත. තිර රචනය හා අධ්‍යක්ෂණය විසින් කතා තේමාවෙහි හරය හඳුනාගෙන අපූර්ව නළුවරණයක් ඔස්සේ ප්‍රේක්ෂක මනසට සමීප, කාලීන සමාජ දේශපාලන සංසිද්ධීන් ප්‍රතිනිර්මාණයෙහි ලා අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න දක්වන ප්‍රතිභාව ඔහුගේ මෑත කාලීන කෘති සියල්ලෙන් විශද කළ ප්‍රතිභාව ඉක්මවා යන්නක් ලෙස හඟිමි.

නළුවරණය කෙතරම් විශිෂ්ට වූවත් අධ්‍යක්ෂකගේ භූමිකාව ඔස්සේ ඒකමිතියක් කරා ගොනු කරලන්නට හැකිවන්නේ මනා ශික්ෂණයකින් යුතුව ඔවුන්ගේ ශක්‍යතා උකහාගැනීමට සමත් වුවහොත් පමණි. මෙහිදී සුනිල් ආරියරත්න විසින් තමාගේ දීර්ඝකාලීන පරිචය තුළින් අපූරු සිනමා අත්දැකීමක් කරා ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන්නට සමත් වෙයි. ක්ෂීර සාගරය කැලඹේ හි සාකච්ඡා කෙරෙන අධිරාජයාට එරෙහි අධිරාජයා අප දැක ඇති කියවා ඇති අධිරාජයකු ලෙස සිතන්නට පෙලඹවීමක් කරන අතරෙහි සයිමන්ගේ නවකතාවෙහි නිරූපිත අරගලය අපට ආගන්තුක නොවන්නක් බවත් අඩු වැඩි වශයෙන් එවන් අරගල අත්දැකීම් අපගේ ජීවිත හා බද්ධව තිබූ බවත් සිහියට නංවන බව දැනේ. ක්ෂීර සාගරය පිළිබඳ Face Book ප්‍රතිචාර දක්වන්නන්ගේ ප්‍රතික්‍රියා විමසන කල්හි පෙනී යන්නේ එක්කෝ ඔවුන් සුනිල්ගෙන් තවත් සිරිබෝ අය්යා නිර්මාණයක් පැතීම ය. නොවේ නම් ඔහුගේ සාර්ථක නොවූ චිත්‍රපට ගොන්නට මේ නිර්මාණය ද එකතු කොට පූර්ව විනිශ්චයක පිහිටා සුනිල් ආරියරත්න ගේ නිර්මාණශීලීත්වය අවතක්සේරුවට ලක් කිරීමය. එහෙත් සැබැවින්ම ක්ෂීර සාගරය කැලඹේ යනු මෑත කාලීන සිංහල සිනමාවෙහි දක්නට ලැබුණු සිනමාත්මක හා කලාත්මක නිර්මාණයක් වන අතර සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂ භූමිකාව නව මාවතකට, යථාර්ථවාදී මගකට පිවිසුණු බව සටහන් කරන්නකි.

ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය ඔහුගේ පෙර නිර්මාණාවලියෙන් වෙනස් වූ හැඩ තලයක් ගන්නා නිර්මාණයකි. ඔහුගේ පූර්ව නිර්මාණ අතර ගරිල්ලා මාකටිං හා ඝරසර්ප වැනි චිත්‍රපට පිළිබඳ මතකයෙන් ඈත්වන්නට අපට සිත් නොදුන්න ද මිදුණු විශ්වය ඉන් පරිබාහිරව රස විඳින්නට හැකි, අපට සමීප අත්දැකීමක් බවට පත් කරන්නට ජයන්තගේ ව්‍යායාමය සමත්ව සිටිනු දක්නට ලැබේ. ඔහු තම තිර රචනය හා ඉන් විකාශය කරනු ලබන විස්තීර්ණ සිද්ධි සමුදාය අතීතය හා වර්තමානය යන කාලකරණය තුළ මනාව සංයෝග කරන්නට ගනු ලබන උත්සාහයක් නිර්මාණයෙන් දකිමු. 60 දශකයේ ජීවත්වූ රාජිනී නම් ජනප්‍රිය සිනමා තාරකාවකට එදවස නොඉපදුණ පුද්ගලයකුගේ අහිමි වූ ආදර කතාව ඔස්සේ අතීතය, වර්තමානය අතර දෝලනය වන ජීවිතානුභූතියක් සිනමා බසින් කීමට ජයන්ත උත්සාහ ගනී. එහි දී හැටේ දශකයේ අප දැක ඇති, අප මතකයේ ඇති සිනමා ඉතිහාසයේ චරිත රැසක් සිහිගන්වන අතර එදවස සිනමා ක්ෂේත්‍රයෙහි සුලබ වූ රහසිගත ක්‍රියාකාරකම් ද ජයන්තගේ නිරීක්ෂණාක්ෂියෙන් ඉවත් නොවුණු බවට සාක්ෂි සැපයේ. ගමෙන් නගරයට එන නිළියක වූ රාජිනී ගේ චරිතය ඔස්සේ ඇය පත්වන අසරණ තත්ත්වයත් නළුවන් පුහුණු කරන Actor Trainer වරෙන්ය වික්‍රමසිංහගේ මනෝ ලොවෙහි ඈ සැරිසරන අයුරුත් 2020 වන විට ඔහුගේ ●සිහින රාජනිය හමුවන අයුරුත් ජයන්ත රචනා කරන්නේ මනෝ චිකිත්සකයකුගේ දෘෂ්ටියෙනි. ඔහුගේ අරමුණ ඉටුකර ගැන්මෙහි ලා ඩන්කන්, රාජිනී, වරෙන්ය වික්‍රමසිංහ, සුමධ්‍යා ආදී වූ චරිත දායකත්වය අගනේ ය. නවරත්න ගමගේ ගේ සංගීතය හා මුසුවන පැරණි සිනමා ගීතාවලිය අතරට ප්‍රේක්ෂකයා කැඳවන ජයන්තගේ නව්‍ය ගේය කාව්‍ය රචනා ගීතෞචිතය. මිදුණු විශ්වය ජයන්තගේ සිනමා කලාවෙහි ද සිංහල සිනමාවෙහි ද අපූර්ව කඩඉමක් සේ දකිමි. එමතුද නොව ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවා විසින් අනාගතයේ දී තෝරා ගතයුතු සිනමා භාවිතය මේ යයි කියාපාන්නක් ද වේ යයි සිතමි.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment