ශ්‍රී ලංකාවේ ලේඛකයාගේ සම්මානය ප්‍රංශයේ ලේඛකයාගේ නිවාඩුව වගේ – එරික් ඉලයප්ආරච්චි

183

මිනිස් ආත්මයේ සහ සමාජ හෘදසාක්ෂියේ විශේෂඥයා සාහිත්‍යකරුවායි

“ආචාර්ය ගුණදාස අමරසේකර මහත්තය ඔහුගේ හොඳම කාලයේ මාවැනි නවකයන්ට දෙන හොඳ ඔවදනක් තිබුණා. ‘තමා තමාට පහණක් වෙන්න’ එහෙමයි එතුම අපට ඔවදන් දුන්නේ…”
පහත පළවන සංවාදය අතර තුර ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ සම්මානනීය ලේඛක එරික් ඉලයප්ආරච්චි විසින්ය. ඔහුගේ සාහිත්‍යයික වැඩ බිම තුළ තවමත් ඒ පහණ දැල්වෙමින් ඇත. එහි ආලෝකයෙන් මෙවර නිමාවට පත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලද දීප්තිමත් විය. වසරේ විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර පිරිනමන ලද්දේ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත “සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා” කෙටි කතා සංග්‍රහය උදෙසාය. පහත පළවන්නේ ඒ පිළිබඳව සහ වත්මන් සාහිත්‍ය වටපිටාව පිළිබඳව ඔහුත් සමග සිදුකළ කතා බහක්ය.

● ඔබ විසින් රචිත සාහිත්‍ය කෘතීන් උදෙසා සම්මාන හිමිවීම මෑත කාලීනව ගත් කල සෑම වසරකම දකින්නට ලැබෙන දෙයක්. ඔබේ ලේඛන දිවියට ඒ තුළින් ලැබෙන උත්තේජනය මොන වගේ ද?

සම්මාන ප්‍රදානයක් පසුපස කලා අනුග්‍රහකයින්, තේරීම් මණ්ඩල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසකගේ ධනය හා ශ්‍රමය තිබෙනවා. එක අතකින් එය පාලක ප්‍රභූවල සැබෑ සංස්කෘතික තත්ත්වය බාල රටක, ආර්ථික ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු රටක, කලාව වෙනුවෙන් තිබුණු සමාජ අතිරික්තය බින්දුවට බැහැපු රටක, අසංස්කෘතික දෘෂ්ටිවාද හා විනෝද මාධ්‍ය සංස්කෘතිය මඟින් හප කර දැමූ රටක සාහිත්‍යය පවත්වා ගෙන යෑමේ උත්සාහයක්.

අනෙක් අතට මිනිස් ආත්මයේ සහ සමාජ හෘදසාක්ෂියේ විශේෂඥයා වුණු සාහිත්‍යකරුවාත් සමාජයේ අනෙක් පුද්ගලයින් වගේම සමාජය යන සාමාන්‍ය ගමන යන්නට කැමැති කෙනෙක් බව සම්මාන මඟින් ලෝකයාට පෙන්නුම් කිරීමක්. මේකේ දක්ෂිණාංශික වාමාංශික කියලා භේදයක් නැහැ. සම්මානයකින් මට ලැබෙන උත්තේජනය නම් ලේඛකයකු ලෙස මේ ප්‍රතිවිරෝධයටත් මුහුණ දීමයි. මෙවර රජත පුස්තක උත්සවයේ මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර පැවැත් වූ කතාවේදීත් මතු වුණේ මේ ප්‍රතිවිරෝධාත්මක උත්ප්‍රේරණයයි.

● නිමාවට පත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම කෙටිකතා සංග්‍රහයට සහ හොඳම විචාර කෘතියට හිමි සම්මාන ඔබ විසින් දිනා ඒ පිළිබඳව ඔබේ මතය මොකක්ද?

සාහිත්‍යය කියවීම සහ එහි ගැඹුර දැකීම කියන්නේ දෙකක්. පළමුවැන්න සාහිත්‍යමයි, දෙවැන්න දේශපාලනයයි. ඕනෑම සාහිත්‍ය මණ්ඩලයක්, විශේෂයෙන් කෘති තේරීමේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන නිලවරණයේ දී, මේ දෙක අතර දෝලනය වෙනවා. ඒ අනුව මේ වසර පළමුවැන්නට මුල් තැන දුන් අදේශපාලනික වසරක් විය හැකියි. එයින් මතු වන්නේ සම්මාන මස්තක නොවන සාහිත්‍ය විචාරයේ වුවමනාවයි. මා මෙය කියන්නේ හුදෙක් මා වෙනුවෙන් නොව දීර්ඝ ලැයිස්තු හා කෙටි ලැයිස්තුගත නොවුණු ලේඛක ලේඛිකාවන් වෙනුවෙන්. ගුණදාස අමරසේකර ඔහුගේ හොඳම කාලයේ මා වැනි නවකයින්ට දෙන හොඳ ඔවදනක් තිබුණා. තමා තමාට පහනක් වෙන්න.

● සාහිත්‍ය කෘතියක් විනිශ්චයට ලක් කිරීමේ දී ඒ සඳහා පාදක කරගන්නා සහ එම නිර්ණායකයන් කිරා මැන බලන මිනුම්දඬු ආදිය පිළිබඳව ඔබ දැනුවත් ද? එසේ නම් ඒ පිළිබඳ තෘප්තිමත් ද?

විනිශ්චය මණ්ඩලයක් වෘත්තීයතාවකින් කටයුතු කිරීමයි යහපත් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ විනෝද කර්මාන්තයේ කර වටක් ගිලුණ, ප්‍රවෘත්ති හා ඕපාදූප දෛනික සංස්කෘතික වේල කර ගත්ත සමාජයක සාහිත්‍ය විනිසුරුවරුන් ද ඒ ජනප්‍රිය කාරණා දෙක ඔස්සේ මිනුම්දඬු සකස් කර ගන්නා අනතුර අනිවාර්යෙන් මතු වෙනවා. එනම් විනෝද කර්මාන්තය නිසා අද සිංහල සංගීතයේ වගේම සාහිත්‍යයේත් විනෝදය මුල් කර ගත් කතා රසය හා කතා වින්‍යාසයේ සැහැල්ලුගතිය මුල්කර ගත් බාල නිර්ණායකය මතුවෙනවා. ප්‍රවෘත්ති හා ඕපාදූප සංස්කෘතිය නිසා ප්‍රබන්ධ චරිතවල ජාතකේ, අරයා කවුද? මෙයා කවුද? හොයන්න ගන්නවා. මගේ නකුලමුනි ඒ විප්‍රකාරයට ගොදුරු වෙන නවකතාවක්.

● සෑම සාහිත්‍ය සම්මානයක් අවසානයේ දී ඒ අරභයා පැනනඟින සාහිත්‍යය කන්දොස්කිරියාවක් අසන්නට ලැබෙනවා. මෙවරත් එහි වෙනසක් නැහැ. මේ අතෘප්තිය හටගන්නේ මොන වගේ තත්ත්වයක් තුළ ද?

ශ්‍රී ලංකාවේ ලේඛකයාගේ සම්මානය ප්‍රංශයේ ලේඛකයාගේ නිවාඩුව වගේ. ප්‍රංශයේ ලේඛකයින් නිවාඩු ගෙවන හැටි පත්තරවල ලස්සනට පළ වෙනවා. මේ දෙකේම තියෙන්නේ උපහාසයක් සරදමක් නොවේ. එහි තිබෙන්නේ දක්ෂිණාංශික වාමාංශික ආණ්ඩු අතරේ වෙනසක් නැතිව සමාජ ක්‍රමයේ ඇත්ත ස්වභාවය පෙන්නුම් කිරීමක්.

සුප්‍රසිද්ධ ප්‍රංශ සංස්කෘතික විචාරක රෝලන්ඩ් බාත කියන්නේ ඡායාරූප සහිත ලේඛක නිවාඩු ආරංචි පත්තරවල පළ කිරීමෙන් පෙන්නුම් කරන්නේ ලේඛකයාත් අනිත් මිනිස්සු වගේ චාරිකා නිවාඩු ගත කරන සාමාන්‍ය කෙනෙක් බවයි. එය ලේඛකයා සමාජයට හීලෑ කිරීමක්. සමාජය ඔහු හෝ ඇයව තමාගේ කෙනෙක් හැටියට හලෝ රයිටර් මහත්තයා කියලා පිළිගන්නවා. එනමුත් ඊට තදබල සීමාවකුත් තිබනවා.ිසීමාව පනින්න එපා. ඔබට පොලිසියට කටඋත්තර දෙන්න යන්න වේවි. රිමාණ්ඩ් වෙන්ඩ වේවි.? වගේ දෙයකුත් ඉන් පළ වෙනවා. මං හිතන්නේ මෙරට මුහුණු පොතේ අද ලේඛක සාද, සම්මන්ත්‍රණ පින්තූර ආදියෙන් සිද්ධ කරන්නේත් මේකයි. ඉතින් ඔබ කියන කන්දොස්කිරියාවත් ඒ සංස්කෘතික ප්‍රචාරණවාදයේ කොටසක්.

● සාහිත්‍ය සම්මාන ප්‍රදානයක් අවසානයේ දී එවැනි තත්ත්වයක්හට නොගැනීම පිණිස ඉදිරිපත් කළ හැකි යෝජනා මාලාවක් ඔබ සතුව පවතිනවා ද ?

අද දවසේ යෝජනා කියන්නේ ප්‍රචණ්ඩතාවටයි. ෆ්රාන්ස් කෆ්කා තම පියා සම්බන්ධයෙන් කිව්වේ ආදරය නිතරම ප්‍රචණ්ඩත්වයේ මුහුණ පෙන්නනවා කියලා. කන්දොස්කිරියාවක් ලෙස හැරුණේ මේ වදන් පාචනේ හෙවත් ලෝගෝරියාව (ලෝගෝ – ඩයරියාව) සාහිත්‍යයයේ හා සාහිත්‍යකරුවාගේ සාරයෙන් මතු වෙන දෙයක් බවයි. රෝලන්ඩ් බාත චින්තකයා කියන්නේ.

● එරික් ඉලයප්ආරච්චි ඒ ගාලගෝට්ටියෙන් වියුක්තව පවතින්නෙක් ද?

සරච්චන්ද්‍රගේ භාෂාවෙන් කිව්වොත් ඔබ කියන ගාලගෝට්ටිය එන්නේ පැරණි කල්පනා ලෝකය බිඳ වැටිලා අලුත් කල්පනා ලෝකයක් බිහි කර ගන්නට බැරිකමේ විලිරුදාවෙන්. අපි අද ජීවත් වෙන්නේ පශ්චාත් – ජාතික සමාජයක. තව දුරටත් සිංහල නවකතා සාහිත්‍යය නඩත්තු කරන්නට ජාතික කතිකාව අපොහොසත්. එහි තියෙන්නේ එක්කෝ නොස්ටැලිජියානු නවකථා අවකාශයක්. නැතිනම් මුවන්පැලැස්ස, මොනරතැන්න වගේ අවකාශයක්.

අද ලේඛකයාට ම කතිකාව නිර්මාණය කර ගන්නට වෙනවා. එනමුත් සාහිතම්‍යභාවය අහිමි කර ගනිමින් දේශපාලනික වෙන්න, ජනතාවාදී වෙන්න, ජාතිකවාදී වෙන්න, දාර්ශනික වෙන්න, මනෝවිශ්ලේෂණාත්මක වෙන්න, මනෝකලා නවකතා ලියන්න, කාමකලා නවකතා ලියන්න, ආගමික වෙන්න ඔහුට බැහැ. එක අතකින් අපි හැමෝම ඉන්නේ ජෝර්ජ් ඕවල්ගේ 1984 නවකථාවට වඩා ශොන් පෝල් සාත්‍රගේ ජීවිත ජුගුප්සාව දැනෙන සමාජයක. අනෙක් අතින් අපි චාල්ස් ඩිකන්ස්ගේ ලන්ඩනයට වඩා, ඇල්බෙයා කමූගේ ඕරානයට වඩා, ජාතිකත්වයේ පීතෘ පීඩාව දැනෙන ආර්. කේ. නරායන්ගේ මල්ගුඩියට සමානයි. එකම වෙනස තමයි අපේ මල්ගුඩිය කියන්නේ සිසිපස් යෝධයා කන්ද උඩට තල්ලු කර ගෙන යන විශාල ගල වගේ.

ශ්‍රී ලංකාවේ ලේඛකයාගේ සම්මානය ප්‍රංශයේ ලේඛකයාගේ නිවාඩුව වගේ - එරික් ඉලයප්ආරච්චි

● කවිය, කෙටිකතාව, නවකතාව මේ අතරින් ඔබ වඩාත් ඇලුම් කරන්නේ කුමක් සඳහා ද?

ඉතිහාසය, වර්තමානය, අනාගතය මෙන්ම මිනිස් ජීවිතයත්, සංස්කෘතික පරිසරයත් පුළුල් ලෙස චිත්‍රණය කිරීමේ ආසාව අතින් මේ මොහොතේ මම නවකතාවට වැඩිය කැමතියි. එනමුත් සාහිත්‍යයයේ දී ශානරය හෙවත් සාහිත්‍යය උප-ප්‍රභේදය කුමක් ද කියන කාරණාව හුඟක් වැදගත්. ශානරය සහ අත්දැකීම අතර ප්‍රතිවිරෝධයක් තියෙනවා. අපට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ පෙනෙනවා ඒ ඒ ඓතිහාසික යුගවල ගද්‍යයෙන්, පද්‍යයට, ගී කාව්‍යයෙන් වෙනත් අකෘති සහිත සංදේශ වැනි සම්භාව්‍ය ශානරවලට මාරුවුණු හැටි. ඊට හේතුවිඓතිහාසික අනුභූතිය සහ ශානරය අතර ප්‍රතිවිරෝධයක් පැවතීමයි. නූතන සාහිත්‍යකරුවකුට වුණත් ඒ පැරණි ලෝකයේ සාහිත්‍ය අධිෂ්ඨානයෙන් මිදෙන්නට බැහැ.

● සාහිත්‍යය තුළ පවතින මනෝ විද්‍යාත්මක වටිනාකම පිළිබඳව ඔබේ මතය මොන වගේ ද?

ස්ටීවන් ග්‍රීන්බ්ලැට් කියන සාහිත්‍ය මහාචාර්යවරයාි සාප කරන්නට ඉගෙන ගැනීම නම් විචාර කෘතියේ කියනවා එක තේරුමකට වඩා වැඩි තේරුම්වලින් මනෝවිශ්ලේෂණය කියන්නේ මහා පුනරුදයේ අවසානය කියලා. ම්ලාඩන් ඩෝලාර් සහ ජිජෙක් කියනවා මනෝවිශ්ලේෂණය පටන් ගැනීමෙන් ඔපෙරාවේ අවසානය ලකුණු වුණායි කියලා. සාහිත්‍යකරුවකු තෝරාගත යුතුයි ඔහු ඉන්නේ මනෝවිශ්ලේෂණයේ ද, පුනරුදයේ හා ඔපෙරාවේ ද කියලා. ලේඛකයා පරණ තාලේ කෙනෙක්.

● ඔබගේ සම්මාන දිනීම ඔබගේ ලිවීමට සමපාත වෙනවා. ඔබ මේ තරම් ලියන්නේ ඇයි? ලියන්නේ කොහොම ද?

සුප්‍රකට බි්‍රතාන්‍ය චිත්‍රපට නිළියක හා ලේබර් පාක්ෂික මන්ත්‍රීවරියක වූ ග්ලෙන්ඩා ජැක්සන්ගෙන් ඔය ප්‍රශ්නය ඇසුවාම ඇය මෙහෙම කියනවා. මම වැඩ කළොත් පමණක් පවුලට කන්නට ලැබුණු පියෙකුගේ දියණියක්මි. මම නොනවත්වා වැඩ කිරීමට හේතුව ඒ පවුල් උරුමය විය හැකිය.

එය ඇයටත් වඩා මට ගැළපෙනවා. මගේ පළමුවෙනි නිර්මාණය වුණු මැදියමේ ගීතය මුද්‍රණය කළේ සරසවි යෑම අඩු කර ඉතුරුකර ගත් ශිෂ්‍ය ණය මුදලින්. ඒ නිසා මගේ සරසවි ජීවිතයේ අඩකදී මට පූර්ණකාලීන රැකියාවක් කරන්නට සිදු වුණා. මගේ මුල් නවකථාව වුණු බගන්දරා ලියන්නට පෙර මම නවකථා තුනක් ලිව්වා. සරත් විජේසූරිය මගේ ඒ බගන්දරාව මුද්‍රණය නොකළා නම්, ඒ වගේම ඒ නවකතාවේ පිටපතක් අජිත් සමරනායකට දෙන්න කියලා ගුණදාස අමරසේකර මට නොකීවා නම්, නිවාඩුවකට ලංකාවට පැමිණි සිරි ගුණසිංහ දිවයින සම්මුඛ සාකච්ඡාවක දී ඒ නවකතාව ගැන සඳහනක් නොකළා නම් මම තාමත් කෙටුම්පත් රචක ලේඛකයෙක් පමණයි.

● සාහිත්‍යයයේ සමාජ කාර්යභාරය වන්නේ සමාජයට යම් යම් පාඩම් කියා දී සමාජයට බලපෑමක් කිරීම ද?

සාහිත්‍යයයේ සාරය, ආකිටෙක්චර් එක හෙවත් වාස්තුව, සමාජයට කරන්නට හැකි නොහැකි බලපෑම කියන තුනම තියෙන්නේ සාහිත්‍යය තුළමයි. එය ලෝකයට බලපෑම් කරන්නේ තමාගේ පපුව පලා ලෝකයට තමා විවෘත කිරීමෙන්. රුසියානු විප්ලවයේ කැඩපත ලියෝ ටොල්ස්ටෝයි බව ලෙනින් කියන්නේ ටොල්ස්ටෝයිගේ සාහිත්‍යයයෙන් රුසියානු විප්ලව දෙකකට ඇති කළ ප්‍රායෝගික බලපෑම ගැන සිතමින් නොවේ. විප්ලවයකට මඟ හෙළි කළ පූර්ව සමාජ වෙනස්කම් සහ ප්‍රතිවිරෝධයන්ට සිය සාහිත්‍යය විවෘත කරන්න ටොල්ස්ටෝයි නමැති සිටුවරයාට තිබුණු වුවමනාව හා හැකියාව නිසයි.

● එය තව දුරටත් පැහැදිලි කළොත්…

හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකථාව ජර්මනියේ පළ වෙන්නේ 1922 දී. 1933 ඒ ජර්මනියේ ඒ ජර්මානු භාෂා ලෝකය තුළම හිට්ලර් බලයට එනවා. ඒ කියන්නේ එය නොවැදගත් නවකතාවක් ද? නෑ. බටහිර අධිරාජ්‍යවාදය තුළම බටහිර නොවන මිනිස් ලෝකයට විවෘත වීමට සම්භාව්‍ය රොමෑන්ටික ජර්මානු වියත් ආත්මයට තිබුණු හැකියාව හා සූදානම සිද්ධාර්ථ නවකතාවෙන් පේනවා. ගයිගර්ගේ සිංහල ව්‍යාපෘතියෙන් පවා පෙනෙන ඒ විදග්ධ ක්‍රියාන්විතයට ජර්මානු නවකතාව හා නූතනවාදය විවෘත කරන්නට තිබුණු සූදානම සිද්ධාර්ථ පෙන්නුම් කරනවා. හිට්ලර් විසින් ජර්මානු මහජාතිකවාදය, යුදෙව් විරෝධී ජර්මානු උන්මාදය හා මිලිටරිවාදය අවදි කරන්නට යොදා ගත් ජර්මානු පුරුෂවාදී පෘෂියන්වාදය මගින් විනාශ කර දමන ලද්දේ කොයි තරම් උතුම් ජර්මානු ආධ්‍යාත්මයක් ද යන්න සිද්ධාර්ථ නවකතාවෙන් ඔප්පු වෙනවා.

● අද පළවන බෙස්ට්සෙලර් පරිවර්තන සාහිත්‍යය ගැන ඔබේ අදහස…

සමකාලීන විචාරය මඟින් සිදු වුණේ ඒ විචාර ක්‍රමවලට ප්‍රතිවිරෝධය නොදක්වන කලා කෘති නිර්මාණය කරන්නට හා නිර්මාණය කරවන්නට උත්සාහ කිරීමයි. එයින් බිහි වුණේ අර විචාර කතිකාවලට යටත් කරන්නට පහසු, හීලෑ කරන්නට පහසු නිදර්ශනාත්මක කලා කෘති පමණයි. ජාතිකවාදී විචාරයත්, ජනතාවාදී විචාරයත්, ව්‍යාපෘති විචාරයත් බලාපොරොත්තු වුණේ ඒ දේමයි.

අද සාහිත්‍ය විචාරය වෙනුවට සම්මාන මත දුවන ජවනිකා සාහිත්‍ය පරිසරයක් මැවුණේ සාහිත්‍යයට ආරක්ෂක පවුරක් ගොඩනැඟීමේ අභ්‍යන්තර සමාජ වුවමනාව නිසා විය හැකියි. බැරෑරුම් විශ්ව සාහිත්‍යයට පමණක් සීමා වී තිබුණු සිංහල පරිවර්තන සාහිත්‍යය අද ජනප්‍රිය බෙස්ට්සෙලර් ඉංග්‍රීසි සාහිත්‍යයටත් වේගයෙන් විවෘත වන බව පේනවා. ඒ ඔස්සේ සාහිත්‍යකාමී පාඨක ලෝකයකට ඉඩ ලැබේවි.

● අද වනවිට නවකතා, කෙටිකතා, කවි, චරිතාපදාන, ඔපෙරා පිටපත්, ස්වරූප සිනමා අනුවර්තනය ආදිය කර ඇති ඔබ ලේඛක දිනපොත්, ස්වයං චරිතාපදාන ආදිය ලියන්නට අදහසක් නැද්ද?

බටහිර ලේඛකයා අපිට වඩා සාහිත්‍යය තුළ ජීවත් වෙනවා. එකක් ඔවුන් බොහෝ දෙනෙක්ට පූර්ණකාලීනව සාහිත්‍යයේ යෙදෙන්නට පුළුවන් වපසරියක්, සමාජ අතිරික්තයත් තිබෙනවා. අනෙක් අතින් ඔවුන් බොහෝ දෙනෙක් දිනපොත ලියන්නෝ. සාහිත්‍යය හා ජීවිතය අතර ඔවුන්ගේ සාහිත්‍ය ඩයරිය තියෙනවා. අනෙක ඔවුන් බොහෝ පුද්ගලික ලියුම් ලියනවා. අපිට සාහිත්‍ය ඩයරි හෝ ලියුම් සංස්කෘතියක් නැහැ. ඇල්බෙයා කමූගේ නවකතාවල වගන්ති සමහරක් කෙළින්ම ඔහුගේ ඩයරිවලින් ලබා ගත්තු දේවල්.

advertistmentadvertistment
advertistmentadvertistment