ප්‍රනාන්දුලා සහ ජයසූරිය ඇෆ්ගනිස්ථාන ඉනිම බිඳ දමති

1365

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (02දා) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට එරෙහිව සාර්ථක පිළිතුරක් සොයමින් සිටියි.

දෙරට අතර මෙවර සංචාරයේ පළමු සහ එකම ටෙස්ට් තරගය ඊයේ ආරම්භ විය. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 198කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට පන්දු වාර 14 කදී කිසිවෙක් නොදැවී ලකුණු 80ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව කඩුලු 10ක් අතැතිව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 118ක් පිටුපසින් සිටී.

දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්න පන්දු 37 කදී ලකුණු 42 ක් සහ නිශාන් මදුෂ්ක පන්දු 48 කදී නොදැවී ලකුණු 36ක් ලබා සිටියහ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනා වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු 4 ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 24 ට කඩුලු 3 ක් බිඳ හෙළුෑහ.

ඔවුන් දෙදෙනාට අනගි සහයක් ලබා දුන් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 67 කට කඩුලු 3 ක් දවාලමින් සිය යුතුකම ඉටු කළේය.

ප්‍රනාන්දුලා සහ ජයසූරිය ඇෆ්ගනිස්ථාන ඉනිම බිඳ දමති

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ අංක 3 පිතිකරු රහමන් ෂා ලකුණු 91 ක් ලැබීය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක කඩුල්ල තරගයේ දෙවන පන්දුවේදීම දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර ඉන් අනතුරුව ලකුණු 57 ක සහ 52 ක සම්බන්ධතාවයක් දෙවැනි සහ තෙවැනි කඩුලු වෙනුවෙන් ගොඩනැගුණි.

එහෙත් ඉන් පසුව ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට ඔළුව ඉස්සීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ලකුණු 89 ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 8 ම බිඳ වැටුණි.

මෙම තරඟයේදී ක්‍රීඩකයන් 05 දෙනෙකු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා ගැනීමට සමත්වුණි.

ඒ ඇෆ්ගනිස්ථානයෙන් ක්‍රීඩකයන් 04ක් සහ ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙකු වශයෙන් වූ අතර 24 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත්තේය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 165 වැනි ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් විය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු ටෙස්ට් වරම් හිමිකරගත් අතර, ඔවුන් වනුයේ මොහොමඩ් නවීඩ් සඩ්රන්, මොහොමඩ් සලීම් සාෆි, සියා-උර්-රෙහ්මාන් අක්බාර් සහ නූර් අලි සඩ්රන් යන ක්‍රීඩකයන්ය. අද තරගයේ දෙවැනි දිනයයි.

ප්‍රනාන්දුලා සහ ජයසූරිය ඇෆ්ගනිස්ථාන ඉනිම බිඳ දමති

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්ථානය

පළමු ඉනිම 198/10(62.4)

රහමන් ෂා 91, නූර් අලි සර්ධාන් 31, කයිස් අහමඩ් 21

පන්දු යැවීම

විශ්ව ප්‍රනාන්දු 12-51-4, අසිත ප්‍රනාන්දු 14.4-24-3, ප්‍රභාත් ජයසූරිය 25-67-3

ශ්‍රී ලංකාව

පළමු ඉනිම 80/0 (14)

දිමුත් කරුණාරත්න 42, නිශාන් මධුෂ්ක 36

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment