එකෙළි වුණ දඹුලු පිටියේදී දුටු දිදුලන සිරිය….. දෙවෙනි තරගය අද

353

ඇෆ්ගනිස්ථානය සමග පළමු පන්දු වාර 20-20 ක්‍රිකට් තරගය ලකුණු 4 කින් ජයගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව දෙවන තරගය සඳහා අද (19 වැනිදා) රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිය නැගීමට නියමිතය.

අද පැවැත්වෙන තරගය ද ජයග්‍රහණය කළහොත් තරග තුනකින් යුත් තරගාවලියේ 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වේ.

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු පන්දු වාර 20-20 පිරිමි තරගය ලෙස ද එම තරගය වාර්තා අතරට එක් විය.

එමෙන්ම නව LED විදුලි ආලෝක පද්ධතියක් සහ තවත් ප්‍රතිසංස්කරණ සමගින් දඹුලු ක්‍රීඩා පිටිය යළි ජාත්‍යන්තර තරග සඳහා විවෘත කරමින් වසර හයකට පසුව පැවති පළමු තරගයද එය විය.

පෙරේදා රාත්‍රී පැවැති එම තරගය නැරඹීම සඳහා 18000 ක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි අතර එම ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් වනිඳු හසරංග ලබාගත් ලකුණු 67 සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලබා ගත් කඩුලු 4 ශ්‍රී ලංකා ජයග්‍රහණයට ඉවහල් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 160 ක් රැස් කළ අතර ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 156 ක් පමණක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අතරින් පැතුම් ලකුණු 6 කටත්, කුසල් ලකුණු 10 කටත් දැවී ගියහ. ධනංජය ද සිල්වා ලකුණු 24 කින්ද, සධීර සමරවික්‍රම ලකුණු 25 කින්ද කණ්ඩායමට දායකත්වය දුන්න.

වැඩිම ලකුණු ලාභියා වෙමින්, නායක වනිඳු හසරංග පන්දු 32 කදී ලකුණු 67 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වූයේය. පන්දු යැවීමේදී ෆසාල් හක් ෆරුකි කඩුලු 3 ක් බිඳහෙළීය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 25 ක් වනවිට, ගුර්බාස් ලකුණු 13 කට දැවී ගිය අතර ගුල්බඩීන් නයිබ් ලකුණු 16 ක් සහ කරීම් ජානට් ලකුණු 20 ක් ලබාගත්හ.

ඇෆ්ගනිස්ථාන නායක සහ ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සාඩ්‍රන් එක් අන්තයකින් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඇෆ්ගනිස්ථානය තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊට අවස්ථාව ලබාදුන්නේ නැත.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට පන්දු වාර 20 ක් තුළ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 156 ක් පමණි. නායක ඊබ්‍රහිම් සාඩ්‍රන් නොදැවී ලකුණු 67 ක් ලබාගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානයද මතීෂ පතිරණට හිමි විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 160/10 (19)

වනිඳු හසරංග 67, ධනංජය ද සිල්වා 24, සධීර සමරවික්‍රම 25.

පන්දු යැවීම

ෆසාල් හක් ෆරුකි 25/3, නවීන් උල් හක් 25/2, අශ්මටුල්ලා ඔමාර්සායි 30/2

ඇෆ්ගනිස්ථානය 156/9(20)

ඊබ්‍රහිම් සාඩ්‍රන් නොදැවී 67, ගුල්බඩීන් නයිබ් 16, කරීම් ජානට් 20

පන්දු යැවීම

මතීෂ පතිරණ 24/4, දසුන් ශානක 17/2

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment