නීලම්මහර මාරක යතුරුපැදි අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් මරුට

506

මහරගම පොලිස් වසමේ පිළියන්දල – මහරගම ප්‍රධාන බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේ (18) වන දින අලුයම 12.10 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් (19) වැනි වියේ පසුවූ තරුණයන් දෙදෙනෙක් මියගොස් එක් යතුරුපැදියක පිටුපස ගමන් ගත් පසුපැදිකරු බරපතළ තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් මහරගම පොලිසියේ රථවාහන අංශය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල පාර, ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එච්. ජී. මෙත්සිත් නැමැති අය සහ ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කවිඳු රණසිංහ නැමැති තරුණයන් දෙදෙනා බවත් පොලිසිය පවසයි.

පිළියන්දල – මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇරව්වල සිට මහරගම දෙසට පැමිණි එක් යතුරුපැදියක් මහරගම දෙස සිට එම මාර්ගයේම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ නීලම්මහර පාරට හැරවීමට උත්සහ කළ අවස්ථාවේදී අනෙක් යතුරුපැදිය සමග ගැටීමෙන් මහරගම දෙස සිට නීලම්මහර දෙසට ගමන් කිරීමට පැමිණි යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් දහයක් පමණ ඉදිරියට විසිවී ගොස් රාත්‍රි කාලයේ ධාවනය අවසන්ව නවතා තිබූ පිළියන්දල – මහරගම පෞද්ගලික බස් රථයක ගැටී ඇති බවත් පොලිසිය පැවසීය.

අනතුර සිදුවීමත් සමග අවට ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබූ බවත් පොලිසිය පැවසීය.

අනතුරට පත් වූ යතුරුපැදි පැදවූ රියැදුරන් එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කැඳවා ඇති බවත් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරන විට එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව සිටි බවත් අනෙක් තරුණයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව දැනගන්නට ලැබූණු බවත් විමර්ශන සිදුකරනු ලබන පොලිස් නිලධාරීන් පැවසීය.

පෞද්ගලික බස් රථයේ රියැදුරුවරයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනතුරට ලක් වූ යතුරුපැදිවලට ඉතා බරපතළ ලෙස හානි සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

රාත්‍රී කාලයේ මහාමාර්ගය භාවිතා කරමින් නීති විරෝධී අයුරින් මහජනයාට පීඩාකාරී අන්දමින් විවිධ වර්ගයේ යතුරුපැදි ධාවන තරග පවත්වන බවට කිහිපවිටක්ම පැමිණිලි ලැබීමත් සමඟ එවැනි යතුරුපැදි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළද නිතර නිතර එම ක්‍රියාවම සිදු කිරීමට යෑමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.සී. රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.ඒ. බණ්ඩාර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත රථ වාහන අංශයේ පොලිස් සැරයන් 39126 අරුණ ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment