පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දැනුවත් කර වැඩවර්ජන නැවැත්විය යුතුයි

856

එජාප සභාපති වජිර පොළොන්නරුව එජාප සමුළුවේදී කියයි

පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දැනුවත් කර වැඩවර්ජන යම් කාලයකට නැවැත්විය යුතු බවත් ඒ සමගම දහඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණත්වය රාජ්‍ය යාන්ත්‍රණය මගින් තවදුරටත් සිදුකළ යුතු බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මේ රට බංකොලොත්භාවයට ආපස්සට ගෙනයෑමට ජනතා විමුක්ති පෙරමුණත් වගකිවයුතු බවත්, ඔවුන් කළ විනාශ ගැන අද පරපුර දැනුවත් කළ යුතු බවත් අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පෙරේදා (17 වැනිදා) පොළොන්නරු බුද්ධි මණ්ඩපයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතා ඔහු මේ බව කීය.

මේ බංකොලොත් වූ රට බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනස් කරමින් තිබෙනවා. නිදහසින් පසුව අවුරුදු 76 ක් ම අපි විවිධ දේශපාලන සටන් පාඨ කියලා බොරු පොරොන්දු දීලා තිබෙනවා. මේකෙන් කාටවත් මිදෙන්න බැහැ.

මේකෙ ජනතා විමුක්ති පෙරමුණත් කොටස් කාරයෝ. ජනතා විමුක්ති පෙරමුණත් ඉතිහාසය පුරා ආණ්ඩු පිහිටුවන්න, ආණ්ඩු පෙරළන්න උදව් කරපු කණ්ඩායම්. බණ්ඩාරනායක මැතිනිට 1970 දී රෝහණ විජේවීර එදා උදව් කළා. මැතිනිට උදව් කරලා මැතිනි පත් වුණාට පසුව 71 කැරැල්ල ක්‍රියාත්මක කළා. ඒකෙන් විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් මේ රටේ විනාශ වුණා. ත්‍රිවිධ හමුදාවේ විශාල ප්‍රමාණයක් ජීවතක්ෂයට පත්වුණා. සිරගත කර හිටපු රෝහණ විජේවීර, ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඒ පොරොන්දුව අනුව 77 ජයග්‍රහණයෙන් පසුව නිදහස් කළා. ඒ නිදහස් කළාට පසුව ආයෙමත් 83, 84 වෙනකොට රටේ කැරලි තත්ත්වයක් ඇති කරපු නිසා නැවත ඔහු සැඟවෙන තැනට පත්වුණාම, සැඟවිලා රටේ භීෂණය මතු කළාම, නැවතත් රට තුළ අරාජික තත්ත්වයක් ඇති වුණා.

දැන් මේ රට වරින්වර අරාජික කරමින් දිගින් දිගටම මේ රට පුරා කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. 87,88 වෙනකොට තිබුණේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංඟ මැතිණිය සමග ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පළවෙනි නියෝජිතයා හම්බන්තොටින් බුලේගොඩ මහත්මයා පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු අස්වුණු නිසා නිහාල් ගලප්පත්ති මහත්මයා පසුව පාර්ලිමේන්තුවට පැමිණියා. කෙසේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සමග දෙවන වර ජනාධිපතිවරණයෙදිත් නන්දන ගුණතිලක මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා, පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙලා ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා චන්ද්‍රිකා මැතිනියට ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. එතැනින් නැවතුණේ නෑ, මේ ව්‍යාපාරය තව ඉදිරියට ගියා. චන්ද්‍රිකා මැතිනියගෙන් පසුව මහින්ද රාජපක්ෂ දිනවන්න ගෙන් ගෙට ගිහිල්ලා කිව්වා මේ රටේ ඉන්න කෘතහස්තම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ඒ නිසා මහින්දට ඡන්දය දෙන්න කියලා. එතැනින් නැවතිලත් නෑ, පසු කාලීනව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනවන්න වැඩ කළා. ෆොන්සේකා මහත්තයා දිනවන්න වැඩ කළා.

එතකොට මේ සෑම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තම මහජන නියෝජිතයන් 38 දෙනෙක් පත් වුණා. ඔවුනට ලැබුණු ජාතික ලැයිස්තුවේ තනතුරු දෙකත් මහින්ද රාජපක්ෂ මහත්තයට පූජා කරලා පොහොට්ටුවෙන් මහජන නියෝජිතයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වන්න තරම් සහයෝගයෙන් මහින්ද මහත්තයා සමග ඔවුන් ක්‍රියා කළා.

ඒ ආකාරයට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ක්‍රියා කරලා තියෙන්නෙ. එතකොට මෙවැනි ඉතිහාසයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රට බංකොලොත් භාවයට පත් කළාට ජනතා විමුක්ති පෙරමුණ අංක 01 ට වගකිව යුතු බව මතක තබා ගත යුතුයි.ඉතින් බැංකු මංකොල්ල ඉතිහාසයක් ගැන ලංකා ඉතිහාසයේ දේශපාලන භූමිකාවේ සඳහන් වෙනවා.

ඒක්සත් ජාතික පක්ෂ උප කායක අකිල විරාජ් කාරියවසම් මහතා,

මේ පැත්තේ සිටින ගොවි මහත්තුරුන්ට විශාල ප්‍රශ්නයක් වුණු පොහොර ප්‍රශ්නයට ජනාධිපතිතුමා විසඳුම් ලබාදුන්නා. දැන් නැවත අපේ ගොවි මහත්වරු තමන්ගේ වැඩ කොටස ඉටු කරනවා. මේකම අපි ලබපු විශාල ජයග්‍රහණයක් කියලා මම කියන්න කැමතියි. රට තුළ තව ප්‍රශ්න තිබෙනවා. ඒවත් ක්‍රම ක්‍රමයෙන් අපි විසඳාගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත වශයෙන්ම මේ ගැටලු විසඳන බව මා ඔබට ප්‍රකාශ කරන්න කැමතියි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා,

අද කයිවාරු ගහන අය එදා රට වැටුණු වෙලාවේ ඉදිරියට ආවේ නැහැ. සියලුදෙනාම හැංගුණා. දැන් එළියට ඇවිත් වීරයෝ වගේ කෑගහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ආගාධයෙන් ගොඩ ගත්ත නිසයි. සුන්දර කතා කියන්න පුළුවන්. ඒත් ්වගකීම් භාරගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශු මාරසිංහ මහතා,

2022 දී මේ රටේ තිබුණේ සෘණ ආර්ථිකයක්. නමුත් දැන් තියෙන්නේ ධන ආර්ථිකයක්. එය එසේ පරිවර්තනය කිරීමට හැකිවුණා.
පොළොන්නරුව – කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment