යුගයක කරළිය මන්මත් කළ මියැසිය…

223

මෑත ඉතිහාසයේදී, අදින් සියවසකටත් එපිටින් වූ යුගයකදී උත්තර භාරතීය රාගධාරී සංගීතයට දාව සිංහල ගීතය උපත ලැබුවේ නාඩගම් සහ නූර්ති තිඹීරි ගෙයින් බව පෙනීයයි. නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘සිරිසඟබෝ’ නූර්තියේ හා පුරා කියා ගැයුනු අති සුප්‍රසිද්ධ බොදු ගීතය ‘දන්නෝ බුදුන්ගේ……’ විශ්වනාත් ලවුජි නම් වූ භාරතීය සංගීතඥයා මෙහි විත් නිර්මාණය කරන්නට යෙදුණි. සිය ‘ගාන්ධර්ව ආපදාන’ පොත් පෙළින් ඔහු පිළිබඳව සටහන් තැබූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් එහි යටගියාව මතුකර දක්වමින් එය පසුගිය සියවසටත් එපිට යුගයකදී නිපැයුනු බටහිර තනුවකට සබඳකම් දක්වන බව කියා තිබේ.

කෙසේ වෙතත් එකී ගීතය ඇතුඵ ඊට සමකාලීනව ලවුජි විසින් නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් වෙත පුද කළ මධූරතර ගී තනු, භාරතීය සංගීත ශෛලිය අනුව නිර්මාණය කර ඇති බව පෙනීයයි. දාදරා, බෙම්ටෝ, කෙහෙර්වා, ජප්තාල්, දීප්චන්දි තාල රටාවන් ඇසුරේ ඒවා නිර්මිතය.

පසුකාලීනව නවතාවයකින් එළිදැක්වුණු ‘ශ්‍රී සංඝබෝධි මාලිගාවේ’ (සිරිසඟබෝ), අඹ දඹ නාරං කෙසෙල් දෙල් … එමෙන්ම ‘පායන මේ බැද්දේ තාරපති ද මේ…… ,ශ්‍රියා මන්මත් වී මාගේ දැකලා උන්මාද වේවි….’ සවන් දී පෙර රාම චරිතේ අසව්… ‘පත්මේකි පේන මූනා සොඳ මූනා…..’, ‘සීතා මා සිරියා ඉන්නේ …..’ (රාමායනය),සුවඳ පත්ම ඕලු ආදි… (සිරිසඟබෝ)’ පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින්…. ‘වාසනා දිනෙකි මේක පාමූ තුටින්….’ (ශ්‍රී වික්‍රම), ‘දන්න වංහුං අප කන්නසාමි (ශ්‍රී වික්‍රම)’ අද වෙස්සන්තර රාජ පුතා .. , ‘බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා….’, ‘මගේ මන්ද්‍රි නම් බිසෝගේ …..’ (වෙස්සන්තර) ගීත සියවස් ඉක්මවා ශ්‍රාවක හදවත් හි රැව් පිළිරැව් දෙයි.

ඔහු ගිය මග අනුව යමින් නීතිඥ චාල්ස් ඩයස් ශූරීන් විසින් ද නූර්ති ගී කලාවට කරන ලද මෙහෙවර අතිමහත්ය. මෑත කාලීනව ප්‍රතිනිර්මිත ‘සුපිපුනු සුගන්ධයුත් සොඳ පුෂ්පා… – (ඇලඩින් නූර්තිය), ආරන්නේ ඉන්නා මේ රම්‍යා කතේ … – (සිවම්මා ධනපාල), පෙම්බර දේවි මගේ පණ හා සරි…, සෝබමාන දේවපුරා ……. . ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී…..’ (පද්මාවතී නාටකය – 1914), ලෝනා මුණී රාජගේ සිරි දළදා…., (හේමමාලී) වැනි වූ ගීත අදද බිඳකුදු හෝ වැඩිහිටි පරම්පරාවන්හී මතකයෙන් බැහැරව ගොස් නැත්තේය.

සුමධුර තනුරටා වලින් සැරසී ගත් උක්ත ගී සියල්ල ම පාහේ ගර්භීතව, අභාවයට ගොස් පවතිද්දී, 70 දශකයේදීම මහඇදුරු සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, ටී ෂෙල්ටන් පෙරේරා, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, පන්ඩිත් අමරදේව, මාලිනි බුලත්සිංහල, එම්. ඩී. චන්ද්‍රපාල ඇතුඵ එදවස ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ප්‍රතිනිර්මාණය කර, නැවත පටිගත කොට වෙළෙඳ ගී තැටි ඔස්සේ එළිදක්වන්නට යෙදුනු අතර 80 දශකයේදී ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, සාගරිකා ගෝමස්, ආනන්ද පෙරේරා, රංගන ශිල්පී ජයලත් මනෝරත්න ඇතුඵ පිරිස විසින්ද තවත් තෝරාගත් ගී යළි පුබුදාවාලන්නට දායක වූවේය.

යුගයක කරළිය මන්මත් කළ මියැසිය…

19 සියවසේ අගභාගයේ පිලිප්පු සිංඤෝ ගේ ‘නාඩගම්’ යුගයෙන් පසුව ඉහත කී පරිදි නූර්ති ගී යුගයට පිළිපන් සිංහල වේදිකාව සැරසු ගීතාවලිය, සිරිසේන විමලවීර සහ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ප්‍රමුඛ මීගමුවේ මිනර්වා කණ්ඩායමේ සාමාජිකයන් විසින් ‘ටීටර්’ යුගයට කැන්දාගෙන එන්නට යෙදුනි.

40 දශකයේ අවසන් වසර ගෙවෙමින් තිබූ මේ යුගයේ දී, සිංහල කලා ලෝලීන් පිනවන්නට එකතු වූ නවතම මාධ්‍යය වූ ‘බයස්කෝප්’ හෙවත් ‘සිනමා’ ව ඔස්සේ ඔවුන් වෙත තරමක නැවුම් ආරක ගීත කලාවක් අත්කර දෙමින් පැවතිණි. එහෙත් ඒ නිසා සජීවී ‘වේදිකා’ වේ රංගනයේ යෙදෙන නළුනිළි කැළ වෙත ආකර්ෂණය වූ ප්‍රේක්ෂකයන් අකර්මණ්‍ය වූ බවක් පෙනෙන්නට නැත්තේ, ඉන් අනතුරුව ද සිංහල නාට්‍ය කලාවේ විකසිත වීම අඛණ්ඩව සිදුවෙමින් පැවති නිසාය.

මෙකී ක්ෂේත්‍රයේ 50 දශකයේ මූලාසනය හෙබවූයේ මහඇදුරු එදිරිවීර සරත්චන්ද්‍රයන් බව නොකීවමනාය. ඔහු, සාම්ප්‍රදායික නාඩගම් ශිල්පී අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ඇදුරුතුමානන්ගේ රංග ශීල්පීය ඥානය ඉවහල් කොටගෙන, රචනා කරන්නට යෙදුනු ‘මනමේ’ නාඩගම ශෛලිගත වේදිකා නාට්‍ය කලාව නූතන පරපුර වෙතට හඳුන්වාදෙන්නට පුරෝගාමී විය. සංගීතඥ ජයන්ත අරවින්ද ගේ ස්වාධීන සහ නාඩගම් අනුකාරක (බ්‍රම්පෝට්, ඉයුජින්, ඇහැළේපොල) මියැසි නාද රටාවෙන් හැඩවූයේ මහඇදුරු සරත්චන්ද්‍ර ලියූ පදමාලාවන්ය. ‘මනමේ’ මුල් නිෂ්පාදනයන් හිදී උක්ත ගීත පෙළෙහි හා දායකත්වය රංගන ශීල්පී නැසීගිය ‘බෙන් (බෙනඩික්ට්) සිරිමාන්න’ (මනමේ කුමරු) සහ නැසීගිය ‘ටි්‍රලිෂියා අබේකෝන් ගුණවර්ධන’ (මනමේ කුමරිය) ගෙනි. (මනමේ – ‘ප්‍රේමයෙන් මනරංජිත වේ නන්දිත වේ’, ‘ළපනොමවන් සඳ සේ සොමි ගුණෙනා……’)

‘ගල්ලෙන බිඳලා… ළෙන්දොර හැරලා… සිංහබා………. සිංහබා………… සිංහබා……..’ පියෙකුගේ උතුරාගලා යන දාරක ප්‍රේමය කෙබඳුවේ දැයි ප්‍රේක්ෂක ජන හදවත් තුළට ගැඹුරින් කාවැද්දූ ගීතය, මහඇදුරු සරත්චන්ද්‍රගේ අනෙක් විශිෂ්ට නිර්මාණය වූ ‘සිංහබාහු’ වෙතින් බිහිවිය. මුල් යුගයේ වේදිකාවේ අතිප්‍රබල, ගාම්භීර සිංහ නාදය නංවමින් වේදිකාගතව, ඊට හඬ මුසුකරන ලද්දේ ‘මාක් ඇන්ටනි ප්‍රනාන්දු’ විසිනි. හේනන්ගෙදර හේමේන්ද්‍ර බන්ඩාර 50 දශකයේ අගභාගයේ පේරාදෙණිය සරසවි සිසුවකුව, අතිදක්ෂ බටනළා වාද්‍ය ශිල්පියකුව සිටිමින් පසුව 1961 වසරේදී සරත්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ කරළියට ගෙනඑද්දී එහි සංගීත මෙහෙවරෙහි නිරතවෙමින් උක්ත ගීතය සංගීතවත් කළේය. එහිදී ඔහු ‘සිංහයා’ ගේ විත්තප්‍රවාහයේ හටගන්නා විවිධ වූ හැඟීම්, විචිත්‍රාකාරයෙන් මතුකර දක්වන්නට උත්සහ ගෙන තිබේ.

එකී දශකය, වේදිකා නාට්‍ය සංගීතයේ නවපිබිදීමක් සනිටුහන් කරන ලද අතර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, බන්දුල ජයවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි දැවැන්තයන් විසින් සිදුකරන්නට යෙදුනු පෙරළිය ඊට හේතුපාදක වූ බව අවිවාදාත්මකය. පසුකාලීනව ‘සිංහල වේදිකා නාට්‍ය ගීත කලාව’ නමින් නව වර්ගීකරණයක් යටතේ, ලංකා ගුවන් විදුලියෙන් පවා නිතිපතා විනාඩි පහළොවක ගීතමය ප්‍රණීතාංගයකට ගොණු වූයේ මෙම දශකයේ බිහිවූ අතිශය කමණීය ස්වාධීන තනු නිර්මිත වේදිකා නාට්‍ය ගීතාවලියයි.

දක්ෂිණ භාරතීය සංස්කෘතික අභාෂයෙන් නිපන්ීනාඬගම්’ එහි ජනිත වූ ‘කර්ණාටක සංගීතයෙන්’ ඔපවත් වෙද්දී, ඉන් පසුව ලාංකීය කලා ලෝලීන් ගේ හදබැඳගත්ීනූර්ති ගී උත්තර භාරතීය රාගධාරි සංගීතයේ ගුරු ඇසුරෙන් නිර්මාණය වූ බව කියැවෙයි. ඈත අතීතයෙන් මෑත අතීතයට පියමං කිරීමේදී එළඹුණු 60 දශකයේදී, උක්ත නාට්‍යවේදී පරපුර විසින් වේදිකාගත කරන ලද සිය නිර්මාණයන් උදෙසා දේශීය ජන සංගීතයේ නාදමාලාවන්හී ආභාෂය ප්‍රිය කළ බව පෙනීයයි.

ගුණසේන ගලප්පත්ති නාට්‍යවේදියාගේ ප්‍රකට ‘මූදු පුත්තු’ හි සංගීත අධ්‍යක්ෂණය පැවරුනේ 60 දශකයේ දී සිංහල සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට නමක් දිනාගෙන සිටි සෝමදාස ඇල්විටිගලයන් වෙතය. වජිරා බාලසූරිය ශිල්පිනිය විසින් මුල් යුගයේ වේදිකාව සඳහා ගැයූ ‘මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා….’ නම් වූ ‘නැළවිලි ගී නාදමාලාවේ සෙවනැල්ල වැටුනු ගීත පද රචනය නැසීගිය

ප්‍රවීණ සාහිත්‍යවේදී මහගම සේකරයන් ගෙනි. 1961 වසරේ නාට්‍යවේදී ‘පී වැලිකල’ ගේ කුණ්ඩලකේශී රංගනය සහ ගායනයේ යෙදුනේ මතු කී ‘මනමේ’ මුල් අවධියේ රංගනයන් හි නිරත වූ බෙන් සිරිමාන්න’ සහ ‘ට්‍රිලීෂියා ගුණවර්ධන’ විසිනි. ඔවුන් දෙදෙන මහගමසේකරයන් ගේ ‘අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ….’ නමින් ශ්‍රාවක – ප්‍රේක්ෂක හදබැඳගත් යුගයකින් යුගයකට පරපුරකින් පරපුරකට දායද වූ මනහර ගීත නිර්මාණය ගායන කරන්නට යෙදුනේ ද ‘සෝමදාස ඇල්විටිගල’ ස්වතන්ත්‍ර තනුවකට පණ පොවමිනි.

දයානන්ද ගුණවර්ධන නාමය දසත පතළ වූ ඔහුගේ ‘නරිබෑණා ශෛලිගත වේදිකා නාට්‍යයේ සංගීත රටාවන් මැවූ සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගම, එහි එන ගීත උදෙසා සම්ප්‍රදායික ‘රබන් පද’ සහ සවුදම් හැඩතල යොදා ගත්තේය. ‘ඇහැල මලින් ගස් පිරිලා….බලන්න හරි ලස්සනයි…’, ‘නරිබෑණෝ මේ අහන්න…..’ ‘කුමටද සොබනියේ කඳුළු සළන්නේ..’ වැනි ඔහුගේ ජනප්‍රිය ගීතයන් ඊට නිදසුන් ය. නරිබෑනා ලද, අසීමිත ප්‍රේක්ෂක සම්භාවනවාට එහි ඇතුළත් සංගීතය ඉවහල් වන්නට ඇති බව නිසැකය.

පුරාණ ග්‍රීක නාට්‍යකරු සොෆොක්ලීස් අනුව යමින් නාට්‍යවේදී ‘බන්දුල ජයර්ධන’ විසින් විරචිත ‘බෙරහඬ මුල් සංගීත රටාවන්ද උඩුනුවර දිවංගත එච්. එච්. බණ්ඩාර නම් ලද නිහඬ සංගීතකරුවාණන්ගේය. එහි එන ‘හනික වරෙව් කොල්ලනේ….., 1983 ජාතික රූපවාහිනිය වෙනුවෙන් ප්‍රතිනිර්මිත පිටපත උදෙසා සංගීතඥ ‘ඔස්ටින් මුණසිංහ’ විසින් වේදිකාගත කරන ලදුව ජැක්සන් ඇන්තනි සහ රොඩ්නි වර්ණකුල දෙපළ ගේ හඬින් වරින් වර ගැයිනි.

පේරාදෙණිය සරසවියේ සහය කථිකාචාර්ය ධූරයක කටයුතු කොට පසුව නාවලපිටිය ප්‍රදේශීය ආදායම් නිලධාරී බවට පත් වූ සංගීතඥ බණ්ඩාරයෝ හෙන්රි ජයසේනයන් ගේ ‘කුවේණි’ හි මානෙල් ජයසේන මහත්මිය විසින් ගැයූ ‘සත් සියක් කපු මල් රැගෙන මම…’ නම් වූ මධුර ගී නිර්මාණයේ තනු සහ සංගීත අධ්‍යක්ෂණය කළහ. එය 1963 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණයෙන් පිදුම් ලද්දේය. එම ගීතය නාඩගම් සංගීතය සහ උත්තර භාරතීය සංගීත ශෛලියේ එන ‘පී.ඵ’ රාගය අනුගමනය කරමින් නිර්මාණය කරන ලද්දක් බව පෙනීයයි. අනතුරුව, ජයසේනයන්ගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය වූ බර්ටෝල් බ්‍රේෂ්ඨ් ගේ ‘කොකේසියන් චෝක් සර්කල්’ අනුව සැකසුනු ‘හුණුවටයේ කථාව’ සංගීත රටා ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින් නිර්මාණය කරන්නට යෙදුනි. එහි ‘හෙළ ගැඹුරුයි පුත නොබලන්’ ගීතයේ ගායනය ද මානෙල් ජයසේනයන්ගේය. මෙම සංගීතවේදියා මුලින් ඩී. ඩී. සෙනෙවිරත්න විසින්ද පසුව ජී. එච්. ස්ටැන්ලි පෙරේරා වෙතින්ද නිපැයුනු ‘සමුද්‍ර දේවී’ නාට්‍යයේ සත්සර නිර්මාණය කරමින් බිහිකර දුන් ‘ගෝවේ ගැනු පරාදයි…..’ සිංහල නාට්‍ය ගීතාවලියේ නොමියෙන මතක සටහන් තැබූ අතර එහි මුල් ගැයුම ‘එඩී ජූනියර්’ විසින් ද පසුව රංගන ශීල්පී ‘සඳුන් විජේසිරි’ විසින් ද සිදුකරන්නට යෙදුනි.

70 දශකයේ මුල් යුගයේ ආනන්ද එස්. විජේසිරි විසින් ඉදිරිපත් කළ ‘දෙව්ළොව යනකං’ ගී තනු සහ සංගීත නාද රටාවන් සංගීතඥ එමිල් මෙන්ඩිස් ගෙනි. ඔහුගේ ඇනවුමෙන් මුල් යුගයේ ගායිකා පුන්‍යා කත්‍රිආරච්චි සහ ටයිටස් පෙරේරා විසින් ගැයූ ‘දිවිය ලෝකේ ළඟයි පේන මානේ……….’ ගීතය මෙන්ම ‘අපි යන්න යමු දෙව් ලෝකේ දිහා විගසින්…’ ගීත ද්විත්වයම මහත් සේ ජනප්‍රිය වූයේ ගුවන් විදුලි නාට්‍ය ගී පෙළ අතරිනි. උක්ත ගී වේදිකා නාට්‍ය නරඹන්නට අවස්ථාව නොලද බොහෝ ප්‍රේක්ෂකයන් පවා ඒ ගීත සවනින් රසවිඳිමින් අගය කළහ.

යුගයක කරළිය මන්මත් කළ මියැසිය…

ප්‍රවිණ නාට්‍යවේදී ‘දයානන්ද ගුණවර්ධන විසින් විරචිතව 70 දශකයේ මධ්‍ය භාගයේ වේදිකා ගතවූ ‘ගජමන් පුවත’ ගීත සමුච්ඡයේ නිර්මාණකරුවාණෝ ප්‍රවීණ ගායන ශිල්පී සංගීතඥ ‘රෝහණ බැද්දගේ’ ය. ‘තුට කළ ළෙවන්’,සසදර මනන්ද ….‘(එඩ්වර්ඩ් ජයකොඩි), මෙන්ම රංගන ශිල්පිනී රත්මලී ගුණසේකර හා නන්දා රත්නතුංග ගැයූීපුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ…………’ එහි ඇතුළත් ගීතයන්ය. ඔහුගේ තවත් ජනාදරයට පත්වූ නිර්මාණයක් වූ ‘මධුර ජවනිකා’ හී සංගීත නිර්මාණය ප්‍රවිණ සංගීතඥ ගායක, රංග ශිල්පී බන්දුල විජේවීර ගෙනි. ප්‍රවිණ රංගවේදී ජැක්සන් ඇන්තනි සහ ශිල්පිනි අනුලා බුලත්සිංහල ගැයූ ප්‍රකට විරිදු ගීතය ‘පළමුව වැන්දා බුදුන්……’ ජී. එම්. පියදාස ගේ කවි කොළයක් ඇසුරෙන් එහි ‘නෙයිනගේ සූදුව’ ජවනිකා පෙළට ඇතුළත් වෙයි.

රාජ්‍ය සම්මානයෙන් පුද ලද ලූෂන් බුලත්සිංහලයන්ගේ ප්‍රකට නිර්මාණය ‘රතු හැට්ටකාරි’ වේදිකා ගතවූයේ 70 දශකයේ මධ්‍ය භාගයේදීය. සංගීතඥ ඔස්ටින් මුණසිංහ ගේ මියැසි නාදරටාවෙන් සමාලංකෘත වූ එහි ‘අනුලා බුලත්සිංහල’ රංගනවේදිනිය විසින් ගැයුනු ‘දී කිරි දී කිරි..’ මෙන්ම මුල් යුගයේ රංගන ශීල්පී ජය ශ්‍රී චන්ද්‍රජිත් ගේ හඬ මුසුවූ, දළදා පෙරහැරේ ගමන් තාලය (මාත්‍රා 12) අනුව ගැයෙන ‘යස ඉසුරු පිරුණු තැනා…’ ගීත ද්විත්වය ඇතුළත් විය. දේශීය ජන සංගීතයේ ප්‍රගමණයට මහත් සේ දායකත්වය පළකළ මුණසිංහ සංගීතවේදියා විසින් ඊට දේශීය සාම්ප්‍රදායික ‘වන්නම්…’ නාද රටාව යොදාගන්නට උත්සුක විය.

ජය ශ්‍රී චන්ද්‍රජිත් ගේ විදේශගත වීම සමගින් ඊට රංගශිල්පී ‘රොඩ්නි වර්ණකුල’ ගේ හඬ දායකත්වය උපයෝගී කරගන්නා ලදී. ‘ජය ශ්‍රී චන්ද්‍රජිත්’ ගුවන් විදුලි නාට්‍යවේදී, තාක්ෂණ ශීල්පී ‘යූ. ආරියවිමල්’ සමගින් ගැයූීසෝබාව දේ මෙපුර සිරි විසිතුරු……’ ලූෂන් බුලත්සිංහලයන්ගේ අතිශය ජනාදරයට පත් දෙවන පරසිඳු නාට්‍ය නිර්මාණය ‘තාරාවෝ ඉගිළෙති’ හිදී අසන්නට ලැබෙද්දී, එය 40 දශකයේ ‘ඇලන් රත්නායක’ ශිල්පියා විසින් ගැයූ ‘කොළඹ නගරේ රෑට සුරපුර ලෙස …..’ ග්‍රැමෆෝන් ගීතයේ ආභාෂයෙන් බිහිවූ බව දැන සිටියෝ අල්පයකි. 80 දශකයේ මුල් භාගයේදී වේදිකාගතවූ එය සංගීතවේදී ගායන ශීල්පී ‘ගුණදාස කපුගේ’ විසින් තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්ෂණයේ යෙදුනි. එහි ඇතුළත් වූ ‘මඩේ ලගින තාරවන් නාවන්නද මං….. (රංගන ශීල්පිනියන් වූ නැසිගිය ‘අනුලා බුලත්සිංහල මුලින්ම ද සහ පසුව නැසීගිය මර්සි එදිරිසිංහ), කඩේට පළයං චූං චෑං…………. (රොඩ්නි වර්ණකුල)’ තට්ටු කරන්න හෙමින්… (අනුලා බුලත්සිංහල) මෙකී අතිශය ජනප්‍රිය ප්‍රහාසන වේදිකා නාට්‍යයේ සෙසු ගීත නිදසුන්ය.

මෙම ලිපියට මූලික වශයෙන් පාදක වූයේ 1960 – 1985 යුගයේ සිංහල නාට්‍ය ගීතාවලියෙන් උපුටා ගන්නා ලදුව, කලකට ඉහත ‘ලංකා ගුවන් විදුලිය’ විසින් විසුරුවා හැරි ‘වේදිකා නාට්‍ය ගී’ තීරය සැරසූ ජනප්‍රිය ගීත පමණක් බව සැළකුව මනාය. පරිශීලනය -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරුපති මුණසිංහ මහතාගේ ‘සිංහල නාට්‍ය සංගීතයේ නව ප්‍රවණතා කෘතිය.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment