පුංචි ඡන්දයේ නාම යෝජනා අහෝසි කරන්න පනතක්

113

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා පත්‍ර අහෝසි කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට රැකියා කිරීමේ දී හා උත්සවවලට සහභාගි වීමේදී දිගින් දිගට ම ගැටලු ඇති වන බවට ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගැනීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවේදී පසුගියදා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර අහෝසි කිරීම කළ යුතු බවට කමිටුව තීරණය කළේය.

නාම යෝජනා පත්‍ර අහෝසි කිරීම සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බැවින් ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට එම අමාත්‍යාංශය අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසම විසින් රුපියල් බිලියන 1.5 ක් පමණ මේ වනවිට වැය කර තිබේ. මැතිවරණය කල් දැමීමට එරෙහිව පවරා ඇති නඩු කිහිපයක් ලබන සතියේදී අධිකරණය හමුවේ විභාග වීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment