අයි එම් එෆ් දෙවන වාරිකය හබක්?

1896

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ නියෝජිත පිරිස සිය ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කළේය. රටක් වෙත කළ සංචාරයෙන් පසු සිදු කළ මූලික සොයා ගැනීම් පිළිබිඹු කරන මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමේ ප්‍රකාශයන්ට එම දූත මෙහෙවර අවසානයේ දී නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන ඇතුළත් වේ. ඒ අනුව මෙරටට පැමිණ අයිඑම්එෆ් ධූත කණ්ඩායම නිල ප්‍රකාශයක් එම සංචාරයේ අවසන් දිනය වූ ඉකුත් 27 දින නිකුත් කළ අතර එය නිකුත් කරමින් මහ බැංකුවේ දී මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබීය. එම නිකුත් කළ ප්‍රකාශයෙහි ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙහි අදහස් වන අතර, එම අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය කෙරෙයි. මේ අනුව මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම මූලික වශයෙන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදු කළ ප්‍රථම සමාලෝචනය තහවුරු කරමින් ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඵලදායී සහ සාරවත් සාකච්ඡාවන් පවත්වන ලද බවයි.

අයි එම් එෆ් දෙවන වාරිකය හබක්?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් ඉකුත් සැප්තැම්බර් 27 සවස පැවැත්වූ මාධ්‍ය හමුව සමග නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිශේෂී ලෙස ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කර ඇති අතර, වැදගත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බලධාරීන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවට එහි උග්‍ර ආර්ථික අර්බුදයෙන් නැඟී සිටීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ වේග ශක්තිය පවත්වා ගෙන යනු ඇති, නුදුරු කාලය තුළ කාර්ය මණ්ඩල එකඟතාවක් කරා මෙම සාකච්ඡාවන් අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලත් මෙම වැඩසටහනෙහි අරමුණු මඟින් දිළිඳු සහ අවදානමට ලක් විය හැකි පාර්ශ්වයන් රැක ගැනීම, මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම, දූෂණ අවදානම්වලට පිළියම් යෙදීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ ශ්‍රී ලංකාවේ අනාගත වර්ධන හැකියාව විවර කිරීම සිදු කෙරෙන අතරතුර, සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ණය තිරසරභාවය අඛණ්ඩව ඉලක්කගත කෙරෙනු ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමා කළත් අදාළ ණය මුදල සම්බන්ධයෙන් වන සමාලෝචනය තවමත් අවසන්ව නැති බවයි. ඒ නිසාම එම ණය මුදලට අදාළ දෙවන වාරිකය අප වෙත ලබා දෙන දිනයක් ද තවමත් නැත. මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේ ද දෙවන වාරිකය ලබා දෙන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි. ඒ සඳහා අප විසින් මූල්‍ය අරමුදල සමග අප එකඟ වී ඇති කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරගත යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන කරුණු දෙකක් කියා සිටියේය. එකක් නම් අප විසින් ණය තිරසාර බව තවදුරටත් තහවුරු කරගත යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල මෙසේ කියයි.

‘ශ්‍රී ලංකාව ගෙවිය යුතු රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බැවින්, මූල්‍යයන සහතික කිරීමේ සමාලෝචන සම්පූර්ණ පළමු වැඩසටහන් සමාලෝචනයෙහි විධායක මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය වේ..

මේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති වීම දක්වා තවදුරටත් අපගේ ආර්ථික බලධාරීන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පැවැත්වෙනු ඇත. එසේම පීටර් බ්රූවර් මහතා සඳහන් කළ අනිත් කරුණ නම් ආදායම් ඉලක්ක අපුරා ගැනීමේ ප්‍රගතියයි. ඒ සම්බන්ධයෙන් වන ඉලක්කවලට සාපේක්ෂව අප සිටින්නේ තවමත් පසුපසිනි. මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව අර්ධ වශයෙන් ආර්ථික සාධක හේතුවෙන් ඉහළ ගිය ආදායම් සංචලන ලාභ මේ වසර (2022) අවසානයේ දී මූලික පුරෝකථනවලට වඩා ආසන්න වශයෙන් සියයට15 කින් පහළ යනු ඇතැයි මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි. මේ නිසා අප වෙත අයිඑම්එෆ් ණය මුදලේ දෙවන වාරිකය මුදාහැරීමට මේ ප්‍රධාන කාරණා දෙක සම්බන්ධයෙන් එම අරමුදලේ විධායක සභාව සෑහීමට පත් විය යුතුව ඇති බව අපගේ අදහසයි. මේ සඳහා වන සාකච්ඡා මූල්‍ය අරමුදල සමග තවදුරටත් පැවැත්වෙනු ඇති අතර ඒ අනුව මූල්‍ය අරමුදලේ තීරණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මේ අනුව කිසියම් දුරකට අප වෙත මූල්‍ය අරමුදල විසින් අපගේ විස්තීර්ණ ණය මුදලට අදාළව ලබාදෙන දෙවන ණය වාරිකය ලබා දීම ප්‍රමාද වීමේ ලකුණු පහළ වී ඇත.

මූල්‍ය අරමුදලේ මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී කත්සියර්නා ස්විරීඩ්සෙන්කා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මේ දෙදෙනා ප්‍රධාන කොටගත් මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ වැඩසටහනෙහි ප්‍රථම සමාලෝචනයෙහි අනුමැතිය සඳහා ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට පසුගිය සැප්තැම්බර් 14 දින සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ මෙම සංචාරයේ නිරත විය. මෙම දූත මෙහෙයුම අවසානයේ දී පීටර් බෘවර් මහතා සහ කන්සියර්නා ස්විරීඩ්සෙන්කා මහත්මිය විසින් එම නිල ප්‍රකාශය නිකුත් කරන ලදි. එහි මෙසේ ද සඳහන් වේ.

‘ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අසීරු වුව ද බෙහෙවින් අවැසි වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ආර්ථිකය ස්ථාවරත්වයට පත්වීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කිරීමත් සමඟ, මෙම ප්‍රයත්නයන් ඵල දරමින් සිටියි. උද්ධමනය 2022 වසරේ පැවති ඉහළම අගයක් වූ සියයට 70 සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 2 ක් දක්වා පහළ ගොස් ඇති අතර, දළ නිල සංචිත මෙම වසරේ මාර්තු – ජුනි කාලපරිච්ඡේදයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.5 කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ද ලිහිල් වී ඇත. ආර්ථිකය ස්ථාවරත්යට පත්වීමේ පෙරමං සලකුණු පැවතිය ද ආර්ථිකය පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වීම තවමත් සහතික කර නොමැත. වර්ධන වේගය මැඩපැවැත්වී තිබෙන අතර, දෙවන කාර්තුවේ මුර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.1 කින් පහළ යෑමත්, ඉහළ සංඛ්‍යාතයකින් යුත් ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සැපයීමත් දක්නට ලැබේ. සංචිත එක් රැස් වීමෙහි මෑත මාසවල දී පහළ යෑමක් පෙන්නුම් කෙරිණි.

මෙමගින් අයිඑම්එෆ් නියෝජිතයන් කියන්නේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් අප සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. ගිය වසරේ (2022) අප්‍රේල් මාසය වන විට අප මුහුණ දුන් තත්ත්වය කිසිවකුටත් අමතක නැත. උග්‍ර විදේශ විනිමය හිඟය නිසා තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීමෙන් රට තුළ පෝලිම් තත්ත්වයක් නිර්මාණය වී ජනයාට බොහෝ දුක්පීඩා විඳීමට සිදු විය. උද්ධමනය ද සියයට 70 ක් දක්වා විශාල ලෙස වැඩි වී අධි උද්ධමනයක් කරා අප ගමන් කරමින් සිටියේය. එහෙත් අද එවන් තත්ත්වයක් නැත. පෝලිම් කිසිවක් නැත. උද්ධමනය මර්දනය කිරීමට අප සමත්ව ඇත. ඒ අනුව සියයට 70 ක් දක්වා ඉහළ ගිය උද්ධමනය ගිය මාසය එනම් සැප්තැම්බර් මස අග වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සියයට 1.3 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. අගෝස්තු මාසයේ පැවති මෙම උද්ධමනය සියයට 4.0 ක් විය. උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීම බව අප මීට පෙර සඳහන් කර ඇත. මේ නිසා සිදුව ඇත්තේ අධික වේගයකින් බඩු මිල වැඩිවෙමින් පැවති වේගය විශාල ලෙස අඩු කර ගනිමින් එය අවම කර ගැනීමට හැකි වීමයි. ඒ අනුව ගිය වසරේ උද්ධමනය වැඩි වෙමින් පැවති තත්ත්වය අනුවම ගියා නම් බඩු මිල තිබෙන්නේ අද තිබෙන තැන නොව මීට වඩා බොහෝ ඉහළ තැනකය. මේ නිසා අයිඑම්එෆ් සහාය ගනිමින් අප ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ තුළ මේ වන විට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇති වී තිබෙන බව අපට පිළිගත හැකිය.

මූල්‍ය අරමුදල සිය ප්‍රකාශයෙන් කියන්නේ දිගුකල් පවත්නා ස්ථාවර හා සාර්ව සහභාගිත්වයක් සහිත ආර්ථික වර්ධනයක් කරා දිවෙන මාර්ගය වෙත ආර්ථිකය යොමු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගය නොනවත්වා පවත්වා ගෙන යෑම ඉතා වැදගත් වන බවයි. එසේම බලධාරීන් විසින් මෙම වැඩසටහනෙහි මූලික තුලන ඉලක්ක සාක්ෂාත් කර ගෙන ඇති බව ද, ණය තිරසර බව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අප ගෙන ඇති ප්‍රයත්නයන්ට සහාය ලබා දීමට හැකි වන පරිදි මෙම වැඩසටහනේ ඉතාමත් වැදගත්ම අංශය වෙත කැපවී ක්‍රියා කරන බව ඔවුන් කියයි. කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව අර්ධ වශයෙන් ආර්ථික සාධක හේතුවෙන් ඉහළ ගිය ආදායම් සංචලන ලාභ වසර අවසානයේ දී මූලික පුරෝකථනවලට වඩා ආසන්න වශයෙන් සියයට 15 කින් පහළ යනු ඇතැයි යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙම හිඟය පිරිමසා ගැනීමට කිසිදු ප්‍රයත්නයක් නොයෙදුවහොත් රාජ්‍ය මූල්‍ය ගැළපුමෙහි භාරදූර වගකීම රාජ්‍ය වියදම මත පැටවෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය පොදු සේවාවන් සැපයීමට රජයට තිබෙන හැකියාව දුර්වල කෙරෙනු ඇති බවත් මූල්‍ය අරමුදල කියයි. ඉන් ණය තිරසර බව කරා ළඟා වීමට තිබෙන මාර්ගයට බාධා එල්ල වීමට ඉඩ ඇත. මේ නිසා ආදායම් ඉහළ නැංවීමට සහ මනා පාලනයක් ඇති කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ සක්‍රීය බදු පැහැර හැරීම් තුරන් කිරීම වැදගත් වන මූල්‍ය අරමුදල කියයි. මේ අනුව අපට තවදුරටත් රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට පියවර ගැනීමට සිදු වේ. මේ පණිවිඩය සමග ජනතාව බියපත් වී සිටින්නේ ඔවුන් වෙත තවදුරටත් බදු බර පැටවෙනු ඇති බවටයි. මේ අපේක්ෂිත සියයට 15 ක් පමණ වන ආදායම් හිඟය මඟහරවා ගැනීමට නම් සාමාන්‍ය ජනයා මත තවත් බදු බර පැටවෙන්නේ නැතිව බදු ආදායම් මාර්ග වැඩි කර ගැනීමට රජය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්ය.

එසේම අප විසින් තවදුරටත් අපගේ විදේශ සංචිත තත්ත්වය වර්ධනය කරගත යුතු වේ. පසුගිය වසරේ (2022) අප විසින් විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවන විට අපගේ භාවිතා කළ හැකි විදේශ සංචිත මට්ටම ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ දක්වා අඩු වී තිබුණි. එසේම 2022 අප්‍රේල් 18 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 182 ක රාජ්‍ය ණය සේවාකරණ වගකීමක් පියවීමට ද තිබිණි. අපට විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුව පැවතියේ මේ පසුබිම තුළය. මේ තත්ත්වයන් සමනය කර ගනිමින් මේ වන විට අපගේ විදේශ සංචිත මට්ටම වර්ධනය කරගෙන ඇත. එනම් මූල්‍ය අරමුදලම පවසන්නේ 2023 මාර්තු – ජුනි කාලයේ දී විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කින් වැඩි වී ඇති බවයි. එහෙත් පසුගිය මාසවල විදේශ සංචිත තවදුරටත් වැඩි වීමේ මන්දගාමීත්වයක් දක්නට ඇත. ඒ නිසා තවදුරටත් මේ සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇත. ඊට එරෙහිව ශක්තිමත් සංචිත එක්රැස් කිරීමක් ඔස්සේ බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැඟීම ද වැදගත් කරුණක් බව මූල්‍ය අරමුදල කියයි. මේ අනුව පැහැදිලි වන්නේ අප විසින් අපගේ විදේශ විනිමය ලැබීම් තවදුරටත් වර්ධනය කර ගනිමින් අපගේ විදේශ සංචිත මට්ටම වර්ධනය කරගත යුතුව ඇති බවයි. මේ අනුව විශේෂයෙන් සංචාරක ඉපයුම්, විදේශ විනිමය ප්‍රේෂණ සහ අපනයන ආදායම් සහ සෘජු විදේශ ආයෝජන ඇතුළු කුමන මාර්ගයකින් හෝ රටට ලැබෙන විදේශ විනිමය ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට අවශ්‍ය වේ. ඒවා මූල්‍ය අරමුදල පැමිණ අපට සිදු කර දෙන්නේ නැත. මෙය මහ බැංකුවට ද කළ හැකි දෙයක් නොවේ. ඒ තත්ත්වයන් වැඩිදියුණු කර ගැනීම සඳහා රජයට නිසි සැලසුම් හා උපායමාර්ග තිබීම අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් නම් අපට සතුටු විය නොහැකිය. මේ නිසා අප කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් එම මාර්ගයේ යන අතරම මේ ආර්ථික අගාදයෙන් ගොඩ ඒම සඳහා රජයට ද ආර්ථිකයේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම වැඩපිළිවෙළක් තිබිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජය ව්‍යුහාත්මක සංස්කරණ සම්බන්ධව අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මූල්‍ය අරමුදල් කියයි. නව මහ බැංකු පනත සහ දූෂණ විරෝධී පනත ඇතුළුව, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ප්‍රධාන නීති සම්පාදන සාර්ථකව ක්‍රියාත්මක කළහොත්, පාලනය වැඩිදියුණු කරගත හැකි බව ද එම අරමුදල පවසයි. මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය වාර්තාව ප්‍රකාශ කළ විට පාලනය ශක්තිමත් කිරීම සඳහා වන අනාගත ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග එම අරමුදල විසින් දැනුම් දෙනු ඇත. ඉලක්කගතකරණය, ප්‍රමාණවත් බව සහ සමාජ ආරක්ෂණ දැල්වල ආවරණය ඉහළ නැංවීම අරමුණු කරගත් නව යෝග්‍යතා නිර්ණායකයත් සමඟ නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබේ. මූල්‍ය ස්ථායීතාව සහතික කිරීම සඳහා, බැංකු විනිශ්චයන් පැවැත්වීම, බැංකුකරණ පද්ධති ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා හිඟයට පිළියම් යෙදීම සඳහා පෙර දැක්මක් සංවර්ධනය කිරීම සහ බැංකුවල නිරාකරණ රාමුව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම සහ විදේශීය ණය හිමියන් සමඟ අඛණ්ඩව සාකච්ඡා සිදු කිරීම ඔස්සේ ණය තිරසරබව යළි අත්කර ගැනීම සම්බන්ධයෙන් රජය සහ මහ බැංකුව ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු කෙරෙමින් පවතින අතර අපේ ආර්ථික බලධාරීන් ආදායම් සංචලන ඉලක්ක, දූෂණ විරෝධී ප්‍රයත්න සහ අනෙකුත් වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන අපගේ සැලසුම් සම්බන්ධයෙන් අඛණ්ඩව ප්‍රගතියක් අත්කර ගැනීමට තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.

මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම විසින් මෙම සංචාරයේ දී ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ අනෙකුත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමු වී ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. එසේම එම කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමු වී ඇත. මෙම දූත මෙහෙවර සඳහා අපගේ පැත්තෙන් දැක්වූ විශිෂ්ට සහයෝගිතාව වෙනුවෙන් එම කණ්ඩායම බලධාරීන්ට ස්තුති කළ අතර, නුදුරු කාලීනව කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ අරමුණින් මෙම කණ්ඩායම පළමු සමාලෝචන පසුබිම තුළ සිය සාකච්ඡා අඛණ්ඩව සිදු කරනු ඇත. මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැපවීමෙන් ක්‍රියා කරන බවට යළිත් තහවුරු කරන බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් සහතික වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment