යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය

59

ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා වන “BOC ගම්මාන” ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය වසරේ මැදිරිගිරිය දිව්ලන්කඩවල තිස්ස අමුණ ගම්මානයේදී විවෘත කරන ලදී.

එමඟින් ලද පන්නරය හා එම ග්‍රාමයේ ජනතාවගේ දිනෙන් දින ඉහළ යන ජීවන මට්ටම, අනෙක් පළාත්වල ග්‍රාමීය ජනතාවටත් ලබාදීම උදෙසා එහි දෙවන පියවර ලෙස මධ්‍යම පළාතේ මන්දාරම් නුවර ග්‍රාමය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරනු ලැබීය.

මෙම ක්‍රියාන්විතය තවදුරටත් පුළුල් කරමින් උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තීත්තකරෛයි ගම්මානය “BOC ගම්මාන” ව්‍යාපෘතියේ තෙවන දිගහැරුම ලෙස පසුගියදා ජනතාවට තිළිණ කිරීමට ලංකා බැංකුවට හැකියාව ලැබුණි. ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වය සහ අධීක්ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබූ “BOC ගම්මාන” සංවර්ධන වැඩසටහන යටතේ විවිධ මූල්‍ය හා මූල්‍ය නොවන ක්‍රියාකාරකම් රැසක් ගම්මානයට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. තම ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය කරගත් පවුල් 300 කට අධික පිරිසක් ජීවත්වන “තීත්තකරෛයි” ගම්මානයට නව්‍ය නිෂ්පාදන, සංකල්පයන් හඳුන්වා දෙමින් සම්ප්‍රදායික බැංකුකරණය වඩාත් හිතකර අන්දමින් අතික්‍රමණය කිරීමට කටයුතු කළේ ගම්මානයේ ජනතාවගේ ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමිනි.

BOC ගම්මාන වැඩසටහනට සමගාමීව මිරිදිය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගම්මානයේ හදවත බඳු වූ “පුලියන්කුලම වැව” ග්‍රාමීය ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් හා ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පිලිසකර කරමින් මත්ස්‍ය පැටව් මුදාහැරීම සිදු කරන ලද අතර එමඟින් ඉදිරියේ අතමිට සරු හෙටක් මෙන්ම පෝෂණයෙන් පිරි ගමක් සෑදීමට ද ඉමහත් පිටුවහලක් වනු ඇත.

“තීත්තකරෛයි” ගම්මානය ස්වයංපෝෂිත කිරීමේ දැක්ම පෙරදැරි කොටගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ලංකා බැංකුව අත්වැල් බැඳගනිමින් ගම්මානය තුළ ගෙවතු වගා තරග වැඩසටහන්ද සංවිධානය කරන ලද අතර එහි ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කරන ලදී.

“BOC ගම්මාන” වැඩසටහනේ අරමුණ පිළිබඳව ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා මහතා අප සමඟ මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ ආර්ථීකය වර්ධනයට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ උන්නතිය උදෙසා “BOC ගම්මාන” ව්‍යාපෘතිය හඳුන්වාදීම තුළින් අත්වැලක් ලබාදීමට ලංකා බැංකුව අපේක්‍ෂා කරනවා. එලෙසම ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කරගනිමින්, ඔවුන් විධිමත් බැංකු ක්‍රමවේදයට අනුගත කර ගැනීමට, ලංකා බැංකුව දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාත්මක කරන “BOC මිතුරු” කුඩා කණ්ඩායම් ක්‍රමවේදය මෙම ගම්මානයේ ජනතාව සඳහා හඳුන්වාදී මූල්‍ය සාක්‍ෂරතාවය ඇතුළු විවිධ දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වනු ලැබුවා. මේ ප්‍රදේශයේ පුද්ගලයන්ට තව තවත් බැංකුව සමීප කරවමින් බැංකුව ඔබේ අත ළඟටම රැගෙන ඒමට

“BOC CONNECT” නියෝජිත බැංකු සේවා ස්ථානයක් ආරම්භ කරදීමෙන් ඔවුන්ගේ ගනුදෙනු කටයුතු පහසුවෙන්ම කරගැනීමට හැකියාව අප විසින් ලබා දෙනු ලැබුවා. ඒ වගේම අපගේ ඩිජිටල් සේවාවන් හා සුවිශේෂි බැංකු සේවාවන් ගමට රැගෙන යෑම මඟින් එම ග්‍රාමීය ආර්ථිකය දියුණුවීම තුළින් අවසාන වශයෙන් රටේ ආර්ථිකය ද ඉහළ මට්ටමකට ළඟාවීම අනිවාර්යයෙන් සිදු වේවි.

advertistmentadvertistment
advertistmentadvertistment