රිචර්ඩ් ඉබෙල් සභාපති (ව) / සෙනරත් බණ්ඩාර කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කාගිල්ස් බැංකුව (ද)

කාගිල්ස් බැංකුව 2023 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. එම වාර්තාවට අනුව ගෙවුණු මූල්‍ය වර්ෂය තුළ 30%ක වත්කම් වර්ධනයක් අත්පත් කර ගනිමින් ශක්තිමත් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට කාගිල්ස් බැංකුව සමත්ව ඇත.

ඒ අනුව 2023 වසර සඳහා රුපියල් මිලියන 730ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කිරීමට කාගිල්ස් බැංකුව සමත්ව ඇත්තේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ වාර්තා කළ රුපියල් මිලියන 206ක බදු ගෙවීමට පෙර ලාභය අභිබවා යමිනි. පසුගිය වසර හා සැස`ඳීමේදී මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 4,875ක් දක්වා 14%කින් වර්ධනය කර ගෙන ඇති කාගිල්ස් බැංකුවෙහි ශුද්ධ ගාස්තුවල හා අනෙකුත් ආදායම් වර්ධනය 39%ක් වන අතර එය රුපියල් මිලියන 1,494ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි. 2023 වර්ෂයේ දෙවන භාගයේදී අඩු වෙමින් පැවති පොලී තත්ත්වයන් මධ්‍යයේ බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය සුළු වශයෙන් හැකිලීමට ලක් වූ අතර පෙර වර්ෂයේ 5.99%ක් වූ එය 2023 වසරේ 5.61%ක් විය.

බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 23%කින් ඉහළ යමින් රුපියල් මිලියන 2,892ක් දක්වා වැඩි වී ඇති අතර ආයතනික පිරිවැය ඉහළ යාම හා තොරතුරු තාක්ෂණ වියදම් මධ්‍යයේ අනෙකුත් මෙහෙයුම් වියදම්වල 48%ක වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර බැංකුවේ හානිකරණ අලාභය පසුගිය වසරට සාපේක්ෂව 42%කින් පහළ යමින් රුපියල් මිලියන 849ක් දක්වා අඩු කර ගැනීමට සමත් වූ කාගිල්ස් බැංකුව එහි ප්‍රතිඵලයක් ලෙස බදු පෙර රුපියල් මිලියන 1,135ක මෙහෙයුම් ලාභයක් වාර්තා කරනු ලැබුවේ පසුගිය වසරට සාප්ක්ෂව 145%ක වර්ධනයක් වාර්තා කරමිනි.

බැංකුවේ සමස්ත වගකීම් පසුගිය වසර හා සැසඳීමේදී 31%කින් වර්ධනය විය. මෙයට ප්‍රධාන වශයෙන් 2023 වසර සඳහා පෙර වසරට සාපේක්ෂව 34%ක වර්ධනයක් තුළින් රුපියල් මිලියන 50,729ක් දක්වා තැන්පතු වර්ධනය වීම හේතු විය. ඒ සමඟම බැංකුවේ වත්කම් රුපියල් බිලියන 69.7ක් දක්වා 30%ක වර්ධනයක් ලබා ගැනීමට, 13%ක වර්ධනයක් සමඟින් ණය කළඹ රුපියල් මිලියන 40,559ක් දක්වා ද 73%ක වර්ධනයක් සමඟින් සාධාරණ වටිනාකම් මනිනු ලබන මූල්‍ය වත්කම්ද හේතු වී ඇත.

2023 වසරේ කාගිල්ස් බැංකුව දැක්වූ මෙම විශිෂ්ට කාර්ය සාධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ “කාගිල්ස් බැංකුව මෙතෙක් වාර්තා කරනු ලැබූ ඉහළම මෙහෙයුම් ලාභය වන රුපියල් මිලියන 1,135ක් සහ පසුගිය වසරට සාපේක්ෂව 30%ක සමස්ත වත්කම් වර්ධනයක් 2023 වසරේදී අත්කර ගනිමින් අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ කාර්යක්ෂමතාව, අවධානය සහ විචක්ෂණශීලී ද්‍රවශීලතා කළමනාකරණය මෙන්ම ගුණාත්මක කළඹ කළමනාකරණය තුළින් අත්පත් කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා ශාඛා ජාලය හා කාගිල්ස් බැංකු පරිසරය තුළ වූ අවස්ථා මඟින් සුවිසල් සහායක් හිමි වූ බව සඳහන් කළ යුතුයි. ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් අනාගත වර්ධන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සඳහා සේවාවන් ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කර කාගිල්ස් බැංකුව උපාය මාර්ගිකව ස්ථාන ගත කිරීමටත් කටයුතු යොදා තිබෙනවා” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “අස්ථාවර මෙහෙයුම් පරිසරයක් මධ්‍යයේ වුවද බැංකුව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් සාර්ථකව අවසන් කිරීමට සමත් වුණා. එහි මූලික මහජන කොටස් නිකුතුව සඳහා හිමිවන වටිනාකම මෙන් තුන් ගුණයක වටිනාකමක් ලැබී තිබෙන බවත් සඳහන් කළ හැකියි. අපගේ දැක්ම හා බෙදා හැරීමේ හැකියාවන් කෙරෙහි වන විශ්වාසය තව තවත් ඉහළ නංවන මෙම ධනාත්මක ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් අපි ඉතා සතුටට පත් වනවා. ලැයිස්තුගත කිරීමෙන් පසු අපගේ ප්‍රාග්ධන පදනම රුපියල් බිලියන 11.9ක් වන අතර අපගේ කොටස් හිමියන්ගේ පදනමට අමතරව තවත් කොටස් හිමියන් 2,000ක් එකතුකර ගැනීමටත් අවස්ථාව උදා වුණා.” යනුවෙන් පවසා සිටින ලදී.

ඩිජිටල් සක්‍රීයකරණය මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම පු`ඵල් සේවා බැංකුව බවට පත්වීමේ දැක්ම සමඟින්, කාගිල්ස් බැංකුව ලංකා ෆිච් රේටිංස් ශ්‍රේණිගත කිරීමේදී A(lka) ශ්‍රේණිය ලබා ඇත. පූර්ණ පරාසයක බැංකු සහ මුල්‍ය සේවා සපයන කාගිල්ස් බැංකුව, කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සේවා අංශය වේ. මුදල් රහිත සමාජයක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්ම අප බැංකුව පිළිගෙන ඇති අතර, තාක්‍ෂණය පදනම් කරගත් මුදල් ගනුදෙනු දීප ව්‍යාප්තව මෙහෙයවමින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ලංකා QR ගනුදෙනු මගින් මුදල් නිකුත් කිරීම් සහ ලබා ගැනීම් සිදු කිරීමට බැංකුව කටයුතු කර ඇත.

බැංකු ශාඛා, ATM යන්ත්‍ර සහ ඩිජිටල් පහසුකම් වලට අමතරව, දිවයින පුරා පිහිටි කාගිල්ස් ෆුඩ්සිටි අලෙවිසැල් හරහා ද කාගිල්ස් බැංකු ගිණුම් වෙත ප්‍රවේශ විය හැකි අතර, ‘කාගිල්ස් කෑෂ්’ සේවාවේ අනුග්‍රහය ඇතිව කාගිල්ස් ෆුඩ්සිටි අලෙවිසැල් 470 කට අධික සංඛ්‍යාවකදී නොමිලයේ මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ පහසුව භුත්කි විඳිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment