ඇයි තාත්තේ මේ අපරාධය කළේ… – දරු තිදෙනා හා බිරිඳ මහමඟට දමා නිවෙසට ගිනි තබලා

860

දරුවන්ට අද උරුම ඇදිවත පමණයි: පොතපත් සියල්ලත් ගිනි රකුසාට බිලි
මනුෂ්‍යත්වයේ නෙත් මේ අසරණුන්ට යොමු වේවා
අමන පියෙක් කළ හදියක්

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතුයායට අයත් කුයිල්වත්තේ තම දරුවන් තිදෙනා සමග වසරක පමණ කාලයක් පදිංචිව සිටි නිවස දරුවන් තිදෙනාගේ පියා විසින් ගිනි තබා විනාශ කර ඇති බවට දරුවන්ගේ මව විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

තම අනියම් සැමියා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් නිවසින් බැහැරව වී එම වතුයායේම පදිංචි හිතවතෙකුගේ නිවසක රැඳී සිටියදී ඉකුත් (03) දින අලුයම සැකකාර පියා නිවස ගිනි තබා විනාශ කර ඇති බවයි දරුවන් තිදෙනාගේ මව වන එම්. අචලා කුමාරි සිල්වා නැමති (44) හැවිරිදි කාන්තාව කියා සිටියේ.

දරුවන්ගේ පියා සමග තමන් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවත්, තමන්ව විවාහ කර ගන්නා බවට දුන් පොරොන්දුව මත අවු. 15 ක් තිස්සේ තමන් සමග අනියම් ලෙස දරුවන්ගේ පියා සමග සිටි බවත්, ඔහුට දාව දියණියන් දෙදෙනකු සහ එක් පුතෙකු සිටින බවයි ඇය කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අචලා කුමාරි සිල්වා කියා සිටියේ, තම වැඩිමහල් දියණියට අවු. 14 ක් වන අතර, දෙවන පුතාට අවු. 10 ක් සහ බාල දියණියට අවු. 08 වන බවත්, දරුවන් තිදෙනාම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල දමිළ මහා විද්‍යාලයේ 08, 05 සහ 03 යන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටින බවයි.

තම අනියම් සැමියා අවුරුදු 10කට පමණ ආසන්න කාලයක් තමන්ට සහ දරුවන් තිදෙනාට කිසිදු උපකාරයක් සිදු නොකළ බවත්, ඔහු එම වතුයායේම පදිංචි කාන්තාවක් සමග නීති්‍යානුකූලව විවාහ වී එම කාන්තාවට දරුවන් සිව්දෙනකු සිටින බවයි.

තමන් පදිංචිව සිටි නිවසේ තමන්ගේ සහ දරුවන් තිදෙනාගේ ඇඳුම් පැළඳුම්, පාසල් පෙළපොත්, පාසල් නිල ඇඳුම්, පාසල් උපකරණ සහ නිවස ගෘහ භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී ඇති බවත්, තමන්ට දැනට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බවයි.

තමන් දිනපතා ගම්පොල ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට ගොස් රු. දහසක වැටුපකට සේවය කරන බවත්, එම ආදායමෙන් තමන් සහ දරුවන් තිදෙනා වසර ගණනාවක් තිස්සේ ජීවත් වන බවත්, එම වැටුපෙන් දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට මුදල් වැය කළ බවයි.

නිවස ගිනි තැබීමෙන් අනතුරුව දරුවන් තිදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසේ තාවකාලිකව නතර කර ඇති බවත්, පවත්නා තත්ත්වය මත තමන්ට ඉන්න හිටින්නට නිවසක් හෝ ළමුන් තිදෙනා පාසල් යැවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි අචලා කුමාරි කියා සිටියේ.

තවදුරටත් දරුවන් තිදෙනාගේ පියා විසින් ඉදිකර

ගිනි තබා විනාශ කළ නිවසේ පදිංචි විය නොහැකි බවත්, එම වතුයායෙන් තමන්ට සහ දරුවන් තිදෙනාට පිටුවහල් වන ලෙස දරුවන්ගේ පියා විසින් තර්ජනය කර ඇති බවත්, තම දරුවන් තිදෙනා පාසල් යැවීමට හෝ තම පවුල පත් වී ඇති පීඩාවෙන් මුදා ගැනීමට උපකාර කිරීමට කිසියම් කෙනකු සිටී නම් තමන්ට උපකාර කරන ලෙසයි අචලා කුමාරි හැඬූ කඳුළෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ.

නිවස ගිනි තැබූ සැකකරු පියාව හැටන් පොලිසිය විසින් (04) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අචලා කුමාරි කොමර්ෂල් බැංකුව, හැටන් ශාඛාව – 8570033706 දුරකථන අංකය – 0741974799
නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment