ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු පළමු කොටසේ රග්බි ශූරයෝ වෙති

111

අවසන් මහා තරගයේදී කසකස්ථානයට එරෙහිව පහසු ජයක්

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රතිවාදී කසකස්ථානයට එරෙහිව ලකුණු 38 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පෙරේදා (04 වැනිදා) රාත්‍රියේ සමත් විය.

අවසාන් මහා තරගයේදී ප්‍රතිවාදී කසකස්ථානය ලබා ගත් ලකුණු 07 ට එරෙහිව ලකුණු 45 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ජයග්‍රහණය වාර්තා කළහ.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටිය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු ආසියානු රග්බි පාපන්දු පළමු කොටස පුරා අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් ශූරතා කුසලාන දිනා ගැනීමට සුහිරු ඇන්තනි ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම තරග මාලාවේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා ජාතික රග්බි පාපන්දු කණ්ඩායම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ආසියානු කුසලාන ප්‍රමුඛ පෙළ තරගාවලියට ද සුදුසුකම් ලැබීම ඒ අතරේ කැපී පෙණුනි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 31 – 00 ක් ලෙස පෙරමුණ ගනිමින් ජයග්‍රාහී මාවත විවර කර ගෙන තිබිණි. ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් 10 මිනිත්තුවේ දී සුබයිර් දොරේ පළමු උත්සාහක දිනුම ද 17 මිනිත්තුවේ දී අධීෂ වීරතුංග දෙවන උත්සාහක දිනුම ද 23 මිනිත්තුවේ දී තෙනුක නානායක්කාර තෙවන උත්සාහක දිනුම ද 30 වැනි මිනිත්තුවේ දී තරින්ද රත්වත්තේ සිව් වැනි උත්සාහක දිනුමද 35 මිනිත්තුවේ දී ඩිනාල් ඒකනායක පස් වැනි උත්සාහක දිනුම ද, 41 මිනිත්තුවේ දී හේෂාන් ජැන්සන් සය වැනි උත්සාහක දිනුම ද 74 මිනිත්තුවේ දී සචින් සිල්වා සත් වැනි උත්සාහක දිනුම ද සටහන් කරමින් කැපී පෙනුණි.

එහි ප්‍රවර්තන 03 ක් ගෝල් දිනුම් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා උප නායක තරින්ද රත්වත්තේ සමත් විය. තමන් විසින් සටහන් කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද ප්‍රතිවාදී ගෝල් කණු අතරෙන් යොමු කිරීමට තරින්ද රත්වත්තේ ට හැකි විය. තෙනුක නානායක්කාර සහ හිරුෂ නෙත්මිණ එක් ප්‍රවර්තනය බැගින් සාර්ථක කර ගනිමින් කැපී පෙණුනි.

මෙම තරගාවලියේදී ජාතික පුහුණුකරු ලෙස සනත් මාටීස් මහතා කටයුතු කළ නිල්ෆර් ඊබ්‍රාහීම් මහතා සහ දුෂාන්ත ලෙව්කේ මහතා සහාය පුහුණුකරුවන් ලෙස තම යුතුකම මැනවින් ඉටුකර තිබිණි.

සිව් කොන් තරගාවලියක් ලෙස පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මෙහි අවසන් පූර්ව වටයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 45 – 10 ක පහසු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ද කටාර් රාජ්‍යයට එරෙහිව ලකුණු 33 – 31 ක තියුණු ජයග්‍රහණයක් කසකස්තානය ද සටහන් කර ගැනීමට සමත් විය.

කටාර් රාජ්‍ය සහ ඉන්දියාව අතර පැවති සටන ජය ගැනීමට කටාර් ක්‍රීඩකයන් සමත් වූයේ ලකුණු 34 – 25 ක් ලෙසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තෙවන ස්ථානය කටාර් රාජ්‍යය සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment