කුමන උද්‍යාන පිවිසුමට තවම හරි හැටි පාරක් නෑ…

කැලේ දී කෙනකුට කරදරයක් වුණොත් අතරමඟදි නොඒන ගමන් යනවා…

කුමන වන උද්‍යානයේ දඩයමේ යන නිලධාරීන් කවුද?

කුමනෙ සත්තු පිරිලා නරඹන්න එන සංචාරකයො අඩුයි

කැලේ ඇතුළෙ පාරවල් හරි හැටි නඩත්තුවක් නෑ…

මැදියමේ සහ අලුයම් කාලයේ කුමනට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් වනපෙත තෙත බරිත වී තිබේ. ඉඩෝරය අවසන් කර නොසිතූ දිනෙක ඇදහැලුණු වර්ෂාවට වනසතුන් ද සතුට ට පත් වී සිටින බව පෙනේ. තණ පිටිවල ජල ක්‍රීඩා කරන මුව පොවුවන් දකිනවිට මගේ සිත ද සතොසින් පිරිණි. ඒ දසන් නැරඹීමට දෑස් ද නොවිසිලිමත්ය. එකම එක වචනයක්වත් කතා කරන්නට නොසිතේ. අප ඉදිරියෙන් ඇති ගුරුපාර වක ගැසෙමින් මෑත තුරු වදුල අතර නොපෙනී යයි. සීතල වනපෙත මැද වැස්සේ මිහිර විඳින වනසතුන් අතර අපගේ දෙනෙත් නතර වී තිබේ.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකට සහ සියඹලාණ්ඩුව, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම් වන ‘කුමන ජාතික වනඋද්‍යානය’ යාල වනඋද්‍යානයේ ම කොටසකි. යාල නැඟෙනහිර ලෙස පැවැති එම රක්‍ෂිත ප්‍රදේශය 2006 වර්ෂයේ දී ‘කුමන ජාතික වනඋද්‍යානය’ ලෙස නම් කරන ලදි. ඒ අනුව හෙක්ටයාර් දාහත්දහසක්ව පැවැති කුමන අභය භූමිය 2006 වර්ෂයේ දී හෙක්ටයාර් 35,664 දක්වා වැඩි කර තිබේ. සංචාරක කුරුල්ලන්ගේ, මෙරට කුරුලු විශේෂවල මෙන්ම අලි, කොටි, වලසුන් ඇතුළු මෙරට ජීවත්වන සියලු ම සත්ව විශේෂවල නිවහනක් වී තිබෙන කුමන ජාතික වනඋද්‍යානය කුරුලු අභය භූමියක් මෙන්ම දිවියන් නැරඹීමට සුවිශේෂී වනඋයනක් බවට ද ප්‍රසිද්ධය. 2019 වර්ෂයේ සිදු කළ පර්යේෂණයකට අනුව කුමන ජාතික වනඋද්‍යානයේ සංචාරකයන්ට විවෘත භූමියේ පමණක් ජීවත් වන දිවියන් සංඛ්‍යාව 73කි. කුමන වනඋද්‍යානයේ සංචාරකයන්ට විවෘතව පවතිනුයේ සම්පූර්ණ රක්‍ෂිත භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණි. සංචාරකයන්ට විවෘත භූමියේ ජීවත් වන දිවියන් අතර කළුදිවියා විශේෂය. කුමනට ආඩම්බරයක් වූ විශාල කළු දිවියා දැක බලාගැනීමට වරක් අපි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ සීත කුටියේ රැයක් ගත කළෙමු. වෙනදා රාත්‍රී කාලයට සීත පොකුණේ දිය බීමට පැමිණෙන කළු දිවියා එදින නාවේ අප සිටින බවට දැනුණ ඉවට විය හැකිය.

“ඒ සතාට හොඳ ඉවක් තියෙනවා. ඒ වගේ ම හරිම අමුතුයි. දවසක් රෑක කළුවරේ මම කුටියට වඩිනකොට මගේ ඇඟේ වැදුණා. ගෙරෙව්වෙත් නෑ. කිසිම කලබලයක් නැතිව පාරෙන් අයින් වුණා. මම නම් අනන්තවත් කළුදිවියා දකිනවා. හරි ම විශාලයි. නුපුරුදු කෙනෙක් දැක්කොත් තිගැස්සෙන තරමට නපුරුයි. ඒත් මේ ආරණ්‍යයයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට නම් කළුදිවියා ගෙන් නෙමෙයි, මේ කැලේ කිසිම සතෙක්ගෙන් කරදරයක් නෑ. සතෙක්ට අපෙන් කරදරයක් නැති නම් උන් අපිට හිරිහැර කරන්නෙ නෑ. ඒ වගේ ම මේ වනාන්තරයේ හරි ම ගුප්ත දේවල් වෙනවා. නොදන්නා අය සංචාරය කරනකොට පරිස්සම් වෙන්න ඕනෑ. අතරමං වීම් වැඩියි…” කුඩුම්බිගල සීත කුටියේ වැඩ සිටි ස්වාමීන් වහන්සේනමක් වරක් අප සමග පැවැසූ කතාවක් මගේ මතකයට නැඟිණි. සිත තුළ මතක පොත පෙරළෙනවිට අප බලාපොරොත්තුවෙන් පැමිණි රුව දෑස් හි රැඳිණි. මෙ දිනනම් සුබය. වැලි පාර දිගේ අප ගමන් කරන කැබ් රථය ඉදිරියට දිවියෙක් ඇවිද ගෙන එයි. වාහනය නතර කළ පරාක්‍රම මහතා දිවියාගේ ගමන් විලාසය රිසි සේ නැරඹීමට අවස්ථාව සැලසුවේය. එහෙත් ඒ සතා අපගේ වාහනය ඉදිරියට නොපැමිණ අසල ගල් තලාව මතට ගියේය.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

ගල මත වැතිරෙමින් උදා හිරු රැස් පහස විඳිමින් සිටින දිවියා අසලින් අපි දෑස් නොගත්තෙමු. එහෙත් විනාඩි කිහිපයක් එක තැන රැඳුණු අප නැවත ගමන් ආරම්භ කිරීමට තීරණය කළේ බොහෝ වේලාවකට දිවියා ගල මතින් නොයන බව තේරුණු හෙයිනි. ඌරෝ රංචු, කුළු හරකුන්, මුව රංචු, විවිධ සිව්පා සතුන් අතර වෛවර්ණ කුරුල්ලන් ඇස ගැටුණු වාර අනන්තය. ඒ අතර වලිකුකුළා, මොනරු සුලබය. ඔකඳ පිහිටි කුමන මූලස්ථානය සමීපයේ දී විසල් බස්සෙක් පැමිණ අප ගමන් ගත් වාහනයේ වහලෙ වැහුවේ අපව ද පුදුම කරවමිනි. කුමන ජාතික වනඋද්‍යානයේ පිවිසුම සහ මූලස්ථානය පිහිටා ඇත්තේ පානම නගරයේ සිට කිලෝ මීටර් 17ක් දුරිනි. ඒ දුර පැමිණිය යුත්තේ වැලි පාර දිගේය. වැස්සට මඩ වෙන, පෑවිල්ලට දූවිලි ගඟක් වෙන එම මාර්ගය කොන්ක්‍රීට් කිරීමට මුල් ගල් තබා වසර කිහිපයක් ගත වී හමාරය. එහෙත් අදට ද එම මාර්ගය මඩ වගුරකි. එමෙන්ම මෙරට ජාතික වනඋද්‍යානවලින් පිවිසුමට පැමිණෙන තෙක් තාර ඇතිරූ මාර්ගයක් නැති එකම වනඋද්‍යනය කුමන ය. මෙරට කෙළවරක පිහිටි කුමන ජාතික වනඋද්‍යානයේ සතුන් නැරඹීමට සංචාරකයන්ගේ පැමිණීම අඩු වීමට මාර්ග දුෂ්කරතාවය ද ප්‍රබලව බලපාන බව ලැබෙන ආරංචි මාර්ගය. එහෙත් පැමිණෙන සංචාරකයන් වනඋද්‍යානය පුරා සංචාරය කරමින් බොහෝ සතුන් නරඹමින් රිසි සේ සතුටු වන බව ද වාර්තා වේ. එම තොරතුරු විශ්වාස කළ හැකි තරමේ සාධක කුමන සංචාරයේ දී අප නෙත ගැටිණි. වනඋද්‍යානය තුළ ගත කළ දින දෙකක කාලය තුළ බොහෝ සතුන් නැරඹීමට අපට අවස්ථාව ලැබුණු බව ද සැබෑය. එමෙන්ම කුමන පිවිසුමේ සිට පානම නගරය දක්වා දිවෙන ‘මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ‘බී’ ශ්‍රේණියේ මාර්ගය වනසතුන්ටත් ගමන් කිරීමට නොහැකි තරමට වළ ගොඩැලි බවට පත්ව මඩ වගුරක් වී තිබෙන අයුරු පෙනිණි. ඔකඳ දේවාලයට, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට යන බැතිමතුන් ගමන් කරන වාහන තැන් කිහිපයක මඩේ එරී තිබෙන අයුරු ද ඇස ගැටිණි. අලි, කොටි, වලසුන් ඔබ මොබ ඇවිදින කැලෑ පරිසරයක මගීන්ගෙන් පිරුණු වාහන පැය ගාණක් එක තැන නතර වී තිබෙනවිට ඇති වන අවදානම සුලුපටු නැත. පෙළගැසෙන කතාවට කුඩුම්බිගල ආරණ්‍ය සේනාධිපති පැල්වත්තේ බුද්ධවංශ නායක හාමුදුරුවෝ ද අදහස් එකතු කළහ.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

‘ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් මේ පාර හදන්න මුල්ගල් තැන්පත් කළේ වසර කිහිපයකට පෙර. මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද මුල්ගල් තියලා විශාල දැන්වීම් පුවරුවකුත් සවි කළා. රුපියල් කෝටි 26ට වැඩි මුදලක් මේ පාරට පාස් වෙලා තියෙනවා කියලත් ආරංචියි. පාර මැනලා වැඩ පටන් ගන්න හදනකොට ම රට තුළ අරගලකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා හිටපු ජනාධිපති ගෝඨාභය මහත්තයාට යන්න වුණා. පානම – ඔකඳ පාර හදන එකත් එතැනම නතර වුණා. දැන් කවුරුවත් මේ පාර හදන්න උනන්දු වෙන්නෙ නෑ. පාර හොඳට ම අබලන්. මඟදිගට වළ ගොඩැලි. පායනකොට දූවිල්ල. වැස්ස දවස්වලට මඩවළක්. වාහනයකට යන්න බෑ. ඒ නිසා කුමන ජාතික වනඋද්‍යානයට පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ලංකවේ ප්‍රකට දේවාලයක් වන ඔකඳ කතරගම දේවාලයට බැතිමතුන්ගේ පැමිණීම අඩු වෙලා තියෙනවා. ඔකඳ දේවාලය වෙන දේවස්ථාන වගේ නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් පැමිණ පුද පූජා පවත්වන පූජා භූමියක්. කුඩුම්බිගල තපෝවන ආරණ්‍ය සේනාසනයේ ඉපැරණි බෞද්ධ ස්මාරක දැක බලාගැනීමට බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙනවා. දාන මාන දීමට දෛනිකව බැතිමතුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙනවා. මේ පාර අබලන් වීම නිසා බැතිමතුන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මාර්ග දුෂ්කරතාවය නිසා ඇතැම් පිරිස් දානය දෙන්න එන්නේ නැතුව මුදල් එවනවා. ඒ වගේ ම මේ ප්‍රදේශයේ ගොඩ, මඩ අක්කර දහස් ගාණක් වගා කරනවා. මාර්ග අපහසුතා නිසා ගොවිතැන් කරන මිනිස්සු නොසෑහෙන්න දුක්විඳිනවා…”

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි
ඔකඳ දේවාලය

“ඒ සියලු ගැටලුවලට වඩා භායනකම තත්ත්වය කුමන වනඋද්‍යානයේ සංචාරය කරන සංචාරකයන්ට, වනජීවී නිලධාරීන්ට, ඔකඳ දේවාලයේ පූජකයන්ට, අපේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට හදිසි කරදරයක් වුණොත් මේ පාරේ පානමට යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. විනාඩි ගාණෙන් පානමට යන්න පුළුවන් ගමන දැන් පැය ගාණක් යන්න වෙලා තියෙනවා. ඒ සියලු කරුණු ගැන සැලකිලිමත් වෙලා වේග සීමා පනවලා, වේගය පාලනය කිරීමට බාධක දාලා ඉක්මනට මේ පාර හදනව නම් රටේ ආර්ථිකයටත්, ප්‍රදේශවාසීන්ටත් සියලුදෙනාට යහපතක්. කතරගම පෙරහැර කාලෙට පාද යාත්‍රාවේ ගමන් කරන මිනිස්සු යන්නෙ මේ පාරෙන්. මේ මාර්ගය අත්‍යවශ්‍ය පාරක්. මාර්ග සංවර්ධන අධිකාරියට තමයි මේ පාර හැදීමේ වගකීම පැවරී තියෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් තියෙන්නෙ අක්කරපත්තුවේ. මේ මාර්ග නඩත්තු වෙන්නෙ එම කාර්යාලයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තමයි මේ ප්‍රදේශ පාලනය වෙන්නේ. මේ පාර හදන එකටත් අන්තවාදී පය ඇදීම් ඇති. ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙලා මුල් ගල පැළවෙලා දලු දාන්න කලින් පාර හදනවා නම් ගොඩක් හොඳයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ…” ඔකඳ දේවාලයේ පූජකතුමා මෙන්ම, එම පූජා භූමියේ පිහිටි එකම තේ කඩේ මුදලාලි කුමාර කීවේ ද පාර අබලන් වීම ගමන් බිමන්වලට විශාල බාධාවක් බවය.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

“සතියකට සැරයක් කඩේට බඩු ගේන ත්‍රීවීල් රථයේ මල්ලි පාර සවුත්තුයි කියලා රුපියල් 3500ක් ගන්නවා. බයික් එකකින්වත් යන්න බෑ. අවස්ථා කිහිපයක දී මඩ වළවල්වල වැටිලා මාව තුවාල වෙලා තියෙනවා. පාර හොඳට තිබුණා නම් දේවාලයටත් ලොකු සෙනඟක් එනවා. අතරමඟ තියෙන පත්තිනි දේවාලයටත් සෙනඟ එනවා. මේ හැම සිද්ධස්ථානයක්ම කැලේට ගිහින් තියෙන්නේ මාර්ග දුෂ්කරතා නිසා තමයි. ඔකඳ ධීවර ගමේ මිනිස්සු මාස ගණන් කූඩාරම්වලට වෙලා ඉන්නේ පානමට යන්න හරිහැටි මාර්ග පහසුකම් නැති නිසයි. පාරක් තිබුණ නම් විනාඩි 45ක ගමන. මේවා ඓතිහාසික ප්‍රදේශ. මිනිසුන්ට දැක බලාගැනීමට, වන්දනා කිරීමට බොහෝ ස්ථාන තියෙනවා. ඒ හැම ස්ථානයක්ම ජනගත නොවෙන්නේ මාර්ග දුෂ්කරතාවය නිසයි. අපිට පාරවල් ගැටලු වුණාට මේ ප්‍රදේශවල දේශපාලනඥයන්ට තියෙන්නේ වෙන ප්‍රශ්න. මේ පාර හැදීමෙන් රටේ ආර්ථිකයට අත් වන වාසි, ප්‍රදේශවාසීන්ට ඇතිවන සුබසිද්ධිය, සිද්ධස්ථානවල දියුණුව, බැතිමතුන්ගේ පහසුව ගැන ඔවුන්ට වගක් නෑ. දැන් කාලයක ඉඳලා මේ පාර හදලා දෙන්න කියලා අප ඉල්ලීම් කරනවා. ඒත් එම ඉල්ලීම් බීරි අලින්ට වයන වීනා වාදන වගේ තමයි…” පානම සිට කිලෝ මීටර් 17කට පසු පිහිටි ඔකඳ තේ කඩේ කුමාර ද නිහඬ විය.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

ලැබෙන තොරතුරු මත යාල ජාතික වනඋද්‍යානයේ ජනවාරි 08 වැනිදා ප්‍රවේශ පත්‍ර ආදායම පමණක් රුපියල් එක්කෝටි අසූහත් ලක්‍ෂයකි. යාල පමණක් නොව, මෙරට සියලුම ජාතික වනඋද්‍යානවලින් රජයට ලබාදෙන ආදායම අති විශාලය. එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවට, ජාතික වනඋද්‍යානවලට මෙරට රජයෙන් ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය. එවැනි පසුබිමක සංචාරක පාරාදීසයක් වූ කුමන ජාතික වනඋද්‍යානයේ ඇතුළාන්තය ද ඛේදාන්තයකි. කුමන වනපෙත මැද පිහිටි තුන්මුල්ල, කිරිගල්බේ සංචාරක බංගලා මෙන්ම මෝයකට, හෙරළිගස් ආර, ඇද කුඹුක 1, 2, පහළ අමුණ කෑම්ෆ් සයිඩ් පහ සහ කුමන විල්ලුවේ පිහිටි නැරඹුම් කුලුනේ සිට වනඋද්‍යානය තුළ සියලු පාරවල් කඩිනමින් අලුත්වැඩියා කළ යුතුය. එමෙන්ම කුමන ජාතික උද්‍යානය පිවිසුම දක්වා පානම සිට ඔකඳ දක්වා වැටුණු ‘බී’ ශ්‍රේණියේ මාර්ගය පිඹුරුපත් සකස් කර ඇති ආකාරයට කඩිනමින් වැඩ අවසාන කළ යුතුය. එවිට ලැබෙන ආදායමට වඩා අතිවිශාල ආදායමක් කුමන ජාතික වනඋද්‍යානයෙන් ද රජයට ලැබෙනු ඇත.

එමෙන්ම කුමන කැලේ වනසතුන්ට වන හිරිහැර නැතුවා ම නොවේ. මෙරට ඉහළ නිල තලවල වැජඹෙන නිලධාරීන් නිවාඩුවට කුමන කැලේ සතුන් දඩයමේ යන බව පානම ගමේ මිනිස්සු අපට කීහ. ඒවා කතා පමණි. එහෙයින් ඒවා ගැන සටහන් තැබීමට මේ සුදුසු අවස්ථාව නොවේ.

කුමනට කුමට මේ කුඩම්මගේ සැලකිලි

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment