ඩීසල් විදුලිජනක යන්ත්‍ර මිලදී ගැනීමේ දී කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නැහැ

විදුලිජනක යන්ත්‍ර නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා මාස හතරට විදුලිබල මණ්ඩලයට වී ඇති පාඩුව මිලියන 1263ක්

කොන්ත්‍රාත්කරුට දැනටමත් රුපියල් මිලියන 2373.32 මුදලක් ගෙවලා

යන්ත්‍රවල ගුණාත්මකභාවය ආරක්ෂාකරන කොන්දේසි ලංසුකරුවන්ගේ ඉල්ලීම පරිදි පසුව වෙනස්කරලා

ගුණාත්මකභාවයෙන් යුතු යන්ත්‍ර මිලදීගෙන නැහැ.

මිලදීගත් යන්ත්‍ර දිගුකාලයක් ගබඩාවල තබාගෙන ඉඳලා

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් 20 දෙනකු විසින් අවස්ථා 12ක් ජනන යන්ත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා විදේශගතවෙලා

ඒ සඳහා අනියම් හා සංයුක්ත දීමනා වශයෙන් ඇමෙරිකානු ඩොලර් 108,315ක් සහ ගුවන් ටිකට්පත් හා වෙනත් වියදම් ලෙස 3,700,681 මුදලක් වැයකරලා

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් කොමිස් මුදල් ලබාගත නොහැකි නිසා ඇතැම් පාර්ශ්ව ඒ සඳහා විරෝධය දක්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයට ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකිය. එහෙත් සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මගින් කොමිස් ලබාගත නොහැකිය. මේ කතාව නම් සහතික ඇත්තය. විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාට කොහෙත්ම කැමති නැත. කුමන හෝ කකුල්මාට්ටුවක් දමා පුනර්ජනනීය ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට ඔවුහු කටයුතු කරති.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට අනුව කටයුතු නොකිරීම නිසා ඉකුත් වර්ෂයේදී (2022) රුපියල් බිලියන 5ක් වටිනා ගිගාවොට් පැය 60.33ක අතිරේක විදුලි බලයක් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදුවී තිබුණි. ජනාධිපතිවරයාගේ කතාවට මෙය කදිම උදාහරණයකි. ඒ විතරක් නොව විදුලිබල පනතේ වගන්තිවලට පටහැනිව නියාමකගේ බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබානොගත් විශ්‍රාමලත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් මේ අයුරින් අතිරේක විදුලිය මිලදී ගෙන තිබුණි.

විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දී තිබූ අවම පිරිවැය දිගුකාලීන ජනන පුළුල්කිරීමේ සැලැස්මට අනුව (2022-2041) ඉකුත් වර්ෂයේදී (2022) මෙගාවොට් 544ක ධාරිතාවයකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් ඉකුත් වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇත්තේ මෙගාවොට් 211ක ධාරිතාවයකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර පමණක් බව ද විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. අප මේ කියන්නට යන්නේ විදුලිය නිෂ්පාදනයේදී සිදුවන ජනන සහ සුළු ඌණතා හේතුවෙන් මුළු විදුලි පද්ධතියම බිඳ වැටෙන අවස්ථාවලදී එකී සුළු අවහිරතා මගහරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතියක් ගැනය. මෙකී ව්‍යාපෘතිය ද විදුලි ඉංජිනේරුවන්ගේ වුවමනාවන් මත ඉතා හදිස්සියට ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය යටතේ බහාලුම්ගත මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුතු ඩීසල් ජනක යන්ත්‍ර 50ක්, බහාලුම්ගත ට්‍රාන්ස්පෝමර් 25ක් බහාලුම්ගත ඉන්ධන ටැංකි 25ක් මිලදී ගැනීමට තීරණය කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල් රුපියල් මිලියන 3000ක් වූ අතර මේ සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 10ක මුදලද සහිතව කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 2373.32කි.

ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීම්වලදී අදාළ සේවාව ප්‍රාදේශීය මට්ටමින් අඛණ්ඩව ලබාදීම මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ විය. මේ තුළින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට විදුලිය බිඳවැටීමෙන් සිදුවන අවහිරතා තාවකාලිකව මගහරවා ගැනීම, ජනජීවිතයේ දෛනික කටයුතු, මහජන හා කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණුවලින් යුතුව මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය සම්බන්ධව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත්තේ මෙම ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇති බවය.

මෙකී ව්‍යාපෘතිය යටතේ මිලදී ගනු ලැබූ ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50 නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා ඉකුත් වර්ෂයේ (2022) ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ රුපියල් මිලියන 1263ක ඇස්තමේන්තුගත මූල්‍ය අලාභයක් ලංකාවිදුලි බල මණ්ඩලයට සිදුවී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

කොන්ත්‍රාත්කරු විසින් ඉටුනොකරන ලද අතපසුවීම් අඩුපාඩු සැලසුම්කරණයේදී දුර්වලතා හේතුවෙන් සිදුවූ යන්ත්‍ර බිඳවැටීම් හා නැවැත්වීම් කාලය තුළ විදුලි උත්පාදනය අහිමිවීම නිසා මෙම අලාභය වී තිබුණි. මෙකී ඩීසල් විදුලි ජනකයන්ත්‍ර මිලදී ගැනීමට පෙර කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොතිබූ අතර මෙකී යන්ත්‍රවල කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපවතින බවත් එම යන්ත්‍ර දෝෂවලින් යුක්ත බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සැබැවින්ම මෙකී ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ හරි අපූරු ආකාරයෙනි. එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලකඳවුර ලෙස සැලකෙන පොළොන්නරුව ප්‍රදේශයේදී එවකට සිටි විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබී ඇත. ඒ 2016 අප්‍රේල් මස 25 වැනිදාය. එදින පොළොන්නරුව ප්‍රදේශයේ පැය කිහිපයක් පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවී තිබුණි. මෙකී හදිසි විදුලිය බිඳවැටීම පදනම් කරගෙන මෙම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරිපත්වී තිබුණි.

කෙසේ වුවද මෙකී ව්‍යාපෘති යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලයේ සංයුක්ත සැලැස්මේ, ක්‍රියාකාරී සැලැස්මේ, දිගුකාලීන ජනන සැලැස්මේ හෝ ප්‍රසම්පාදන සැලැස්මේ ඇතුළත්කර නොතිබුණි. මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදුකළ යුතුය. එහෙත් එවැනි කිසිදු අධ්‍යයනයක් සිදුකොට නොතිබුණි. එමෙන්ම පද්ධතියේ ඇතිවන විදුලිය බිඳවැටීම්වලදී සුදුසුම විසඳුම කුමක්ද යන්න පිළිබඳ හා වෙනත් විකල්ප අවස්ථා පිළිබඳ කිසිදු අධ්‍යයනයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය මගින් කටයුතු කර නොතිබුණි. විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට මෙකී යන්ත්‍ර මිලදී ගැනීමට පෙර අවශ්‍යතාවය නිවරැදිව හඳුනාගෙන නොතිබුණි. මෙකී ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයා සතුටු කිරීමට මෙන්ම කොමිස් කුට්ටි ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කොට ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේය. අනික් කාරණය වන්නේ හදිසි විදුලිය බිඳවැටීම්වලදී එය විදුලිබල මණ්ඩලයට පාලනය කිරීමට හැකි මට්ටමක පැවතුණි. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ එවැනි පසුබිමක් තුළය.

ශක්‍යතා අණ්ඩරයක් ගස ගසා මණ්ඩලයට ජෙනරේටර් ගෙන ගෙනා…

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් ඇස්තමේන්තුකොට තිබුණද එහි වටිනාකම ගණනය කරනු ලැබූ ආකාරය පිළිබඳ විස්තර විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

ඩීසල් විදුලි ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පසුගිය යහපාලන රජය කාලයේ දී (2017 නොවැම්බර් මස 16) ප්‍රසම්පාදන පිලිගැනීමේ ලිපිය නිකුත්කොට තිබුණි. 2018 වර්ෂයේ ජනවාරි 17 දින කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කොට තිබුණි. ඒ කොයිහැටි වුවද විදුලි ජනන යන්ත්‍රවල ගුණාත්මකභාවය ආරක්ෂාකරන කොන්දේසි ලංසුකරුවන්ගේ ඉල්ලීම පරිදි ප්‍රසම්පාදන කමිටුව විසින් පසුව වෙනස් කිරීම නිසා ගුණාත්මකභාවයෙන් යුතු යන්ත්‍ර මිලදී ගැනීමට නොහැකිවී තිබුණි. විගණනය
මගින් යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වරින් වර කරනු ලැබූ පරීක්ෂණවලදී මේ බව අනාවරණය විය.

එමෙන්ම ඩීසල් ජනන යන්ත්‍ර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය නිසි පරිදි හඳුනාගෙන නොතිබුණි. මිලදීගත් යන්ත්‍ර තාවකාලිකව දිගු කාලයක් ගබඩා පරිශ්‍රවල තබාගැනීම හා ස්ථාපනය කිරීමට දිගු කාලයක් වැයවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ජනක යන්ත්‍ර සහ ඉන්ධන බහාලුම් ටැංකි ස්ථානගත කිරීම සඳහා වූ ස්ථානය සැකසීම හා ජනක යන්ත්‍ර උපාංග සකස්කිරීම නිවැරදි සැලැස්මකට අනුව සිදුකොට නොතිබුණි.

මෙකී විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීමේ මූලික අරමුණ වූයේ සුළු ඌනතා නිසා විදුලි පද්ධතිය බිඳ වැටෙන අවස්ථාවලදී එම ස්ථානවලට මෙකී විදුලි ජනක යන්ත්‍ර ප්‍රවාහනය කර විදුලි සැපයුම ලබාදීමය. එහෙත් එම අරමුණ වෙනස්කොට මෙම යන්ත්‍ර ස්ථාවර ස්ථානයක ස්ථාපනය කොට අඛණ්ඩව ජනන කටයුතු සඳහා යොදාගෙන තිබුණි. මෙකී යන්ත්‍රවල දෝෂ වගකීම් කාලය තුළදී නිවැරදි කිරීම කෙරෙහි කොන්ත්‍රාත්කරුගේ දායකත්වය අවම මට්ටමක පැවති බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. කොන්ත්‍රාත්කරු සාර්ථක ලංසුකරුවකු නොවන බවට ද විගණනය මගින් තීන්දුකොට ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් තාක්ෂණිකව ප්‍රතික්ෂේප කරනු ලැබූ අවම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ මෙකී කොන්ත්‍රාත් ආයතනය වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට ප්‍රසම්පාදන කමිටුව තීන්දුකොට තිබුණි. මේ පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළද ගැටලු ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් 20 දෙනකු විසින් අවස්ථා 12කදී ජනන යන්ත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා විදේශගතවී තිබුණි. ඒ වෙනුවෙන් අනියම් හා සංයුක්ත දීමනා වශයෙන් ඇමෙරිකානු ඩොලර් 108,315ක් සහ ගුවන් ටිකට්පත් හා වෙනත් වියදම් ලෙස තිස්හත්ලක්ෂ හයසිය අසූඑකක මුදලක් (3,700,681) වැයකොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී යන්ත්‍ර සැලසුම්සහගත බිඳවැටීම් නොවන අවස්ථාවලදී සැලකියයුතු මට්ටමක පැය ගණනක් ධාවනය නොකොට තිබූ බව නිරීක්ෂණය වී තිබුණි. කාර්මික දෝෂ, ඉන්ධන නොමැතිවීම, ලිහිසිතෙල් නොමැතිවීම ආදී හේතු නිසා මෙම යන්ත්‍ර 2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පැය 98,133ක්, අක්‍රීයවී තිබුණි. මෙම කාලසීමාව තුළ ඩීසල් විදුලිජනක යන්ත්‍ර 50 හි ධාවනය වූ පැය ගණනට සාපේක්ෂව ධාවනය නොවූ පැය ගණන වැඩි අගයක් ගෙන තිබුණි. යන්ත්‍රයක දෝෂයක් ඇති වුවද එය නිවැරදි කිරීමට සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් ලැබීමට විදුලිබල මණ්ඩලයට සිදුවී තිබුණි. එමෙන්ම 2021 වර්ෂයේ පැය 36414ක් විදුලි ජනන යන්ත්‍ර අක්‍රීයව පැවති අතර පැය 53,517ක් ධාවනය වී තිබුණි. 2022 වර්ෂය තුළ මෙකී ඩීසල් ජනන යන්ත්‍ර ධාවනය කිරීමට හැකිවී ඇත්තේ පැය 59.052කි. ඉන්ධන, ලිහිසිතෙල් නොමැතිවීම සහ ජනක යන්ත්‍රයන්හි කාර්මික දෝෂ හේතුවෙන් පැය 187,229ක් ධාවනය කිරීමට නොහැකි වී තිබුණි. එමෙන්ම මෙම වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළදී ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පැය 38943ක් සහ කාර්මික දෝෂ හේතුවෙන් පැය 35,345ක් ඩීසල් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිතවී තිබුණි. මෙකී යන්ත්‍රවල කාර්යසාධනය සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී තිබුණි. මෙකී දත්ත අනුව පෙනී යන්නේ ඩීසල් විදුලි ජනන යන්ත්‍ර ධාවනය කොට ඇති පැය ගණනට සාපේක්ෂව ධාවනය නොවූ පැය ගණන වැඩි අගයක් ගෙන ඇති බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment