බඹරු ඇවිත් ගැන නැවත කතාබහක් මතුවෙලා. ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම චිත්‍රපටි කිහිපය අතර ඇති එය, අප අතරින් සමුගත් විශිෂ්ටම සිනමා චින්තකයකු වූ ධර්මසේන පතිරාජ ඇතුළු පිරිසක් ගැසූ සිනමා කැරැල්ලක තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ සටහනේ අරමුණ චිත්‍රපටිය දෙස විචාරාක්ෂියකින් නැවත හැරී බැලීම. චිත්‍රපටිය බිහි වී වසර 45කට පසු, ඒ දෙස හැරී බලන්නේ කෙලෙසද?

චිත්‍රපටියේ නව හයි ඩෙෆිනිෂන් පිටපත විශාල වියදමක් දරා සකස් කිරීමෙන් පසු, පසුගිය කාලසීමාව තුළ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කළා. මෙරටදී මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කළ එය සුප්‍රකට ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදීත් සිනමා ඉතිහාසයේ වටිනා අවස්ථාවක් ලෙස ගෞරවයට පාත්‍ර වුණා.

පසුගිය සතියේ හදිසියේ එය යූටියුබ් වෙබ් අඩවියේ දක්නට ලැබුණු අතර, විශාල පිරිසක් නරඹන්නට පටන් ගත්තා. එහෙත්, පසුව දැනගන්නට ලැබුණේ එය අවසරයෙන් තොරව එම අඩවියට එකතු කළ බව. ඒ අනුව ලියුම්කරු ඇතුළු පිරිසක් මැදිහත් වෙමින් පැමිණිලි කළ පසු, එය ඉවත් කර තිබුණා. එසේ කළේ බඹරු ඇවිත් නරඹන්නට කැමති ප්‍රේක්ෂකයන්ට එරෙහි වීමේ අදහසකින් නොවෙයි. නුදුරේදීම එය නරඹන්නට වැඩි වැඩියෙන් අවස්ථා හිමි වේවි.

බඹරු ඇවිත් නිෂ්පාදනය කළේ 1978 වසරේදී. කලා ලෝකයේ භාෂාවෙන් කීවොත් පතීලා, කොස්තලා, කලංලා, ජයසිරිලා, මාලනීලා, සුනිලාලා, දයාලා කල්පිටි වැල්ලේ කඳවුරු බැඳගෙන, හැදූ චිත්‍රපටියක් මේ. වැල්ලේ වැසිකිළි යමින්, ගී ගයමින්, කරවල සහ මාළු ආහාරයට ගනිමින් එදා සිටි සුවිශේෂී තරුණ පරම්පරාවක නිර්මාණශීලීත්වයත්, ජවයත් මුසු කරමින් තැනූ චිත්‍රපටියක් මෙය.

කතාව

ධනවාදය සහ ප්‍රාග්ධනය කල්පිටියේ ධීවර ගම්මානයකට කඩාවදින හැටි, වෙළෙන්දන් ක්‍රමයෙන් ධීවරයන් එතෙක් පවත්වාගෙන ආ ක්‍රමය නැති කරමින්, තමන්ගේ ලාභ සෙවීමේ අරමුණුවලට ධීවර පැවැත්ම වෙනස් කරන හැටි. ධීවර ශ්‍රමය මෙන්ම ඔවුන්ගේ ජීවිත පවා එමගින් ගිලගන්නා හැටි. ධීවරයන් අතර තිබුණු පිරිමි මූලික සමාජය එයට අභියෝග කරන්න උත්සාහ කරන හැටි. අවසානයේ නොසිතූ ලෙස ඒ ගැටුම පුපුරා ගොස්, හිංසනයෙන් පිරුණු සිදුවීම් මාලාවක් ඇති වෙන හැටි මෙන්ම, එහි ප්‍රතිඵලයක් විදියට රාජ්‍යයේ බලපෑමෙන් දුරස්ව පැවති මේ ගමට පොලීසියක් පැමිණීම දක්වා චිත්‍රපටිය ගලා යනවා.

විජය කුමාරතුංගගේ වික්ටර් නම් චරිතය තමයි මේ ගමට ප්‍රාග්ධනය අරගෙන එන ව්‍යාපාරික පවුලේ පුත්‍රයා. ඔහු එන්නේ සනත් (අමරසිරි කලංසූරිය) කියන යාළුවාත් එක්ක. ඔවුන්ගේ නවාතැනෙහි, ආවතේව කරන්නේ ගමේ හැදී වැඩුණු මුත්, ගමේ පැවැත්ම පිළිකුල් කරන ෆ්‍රැන්සිස් (දයා අල්විස්) නම් තරුණයා.

එදා සුචරිත ගම්ලත් සිය විචාරයේ ඒ ගැන මෙහෙම ලීවා. ‘ප්‍රාග්ධනයෙන් සන්නද්ධ වූ වික්ටර් දැවැන්ත පරිමාණයෙන් ධීවරයන් සූරා කෑමට වන් කල්හි ඔහුත් ගම්මානයත් සමගි කළ නොහැකි බලවේග දෙකක් බවට පත් වෙයි.’

වික්ටර් ගමට මුදල් හෙවත් ප්‍රාග්ධනය අරගෙන එන්නේ ආයෝජනය කරලා ලාභ උපයන අදහසින්. ගමේ මාළු වෙළෙඳාම සම්පූර්ණයෙන් වගේ අත්පත් කරගන්න විතරක් නෙවෙයි, සල්ලි හම්බකරන්නයි වික්ටර්ට ඕනෑ. ඔහු ගමේ මිනිසුන් සමග මුහු වෙන්න කැමති නැහැ. කොටින්ම කිවහොත්, තමන්ගේ ආශ්‍රයටත් ඔහු සනත් නම් මිත්‍රයාව පිටින් ආනයනය කරනවා. තනිවම මත්පැන් බොන වෙලාවකවත්, අඩු තරමේ තමාගේ ආවතේවකරු ෆ්‍රැන්සිස් එක්කවත් වික්ටර් මුහු වෙන්න සූදානම් නැහැ. සිනමාත්මක රූපමය භාෂාවෙන් අවස්ථා කිහිපයකදීම ෆ්‍රැන්සිස්ව පෙන්වනවා, ජනේල රාමුවකට එළියේ සිට නිවස ඇතුළට යටහත් පහත්ව කතා කරන ආකාරය. විස්කි වැනි බටහිර මත්පැන් බොමින්, ඉංග්‍රීසි සිංදු වාදනය කරමින්, මිලාධික චිත්‍ර බිත්තිවල එල්ලා ගනිමින් වික්ටර් තමන්ගේ වෙළෙඳ පාන්තික රටාවට නවාතැන හදා ගන්නවා, ‘මේක කුරුඳුවත්තේ කාමරයක් වගේනේ’ කියලා වික්ටර්ගේ මිත්‍රයා ඒ කාමරය ගැන කියන්නේ ඒ නිසයි.

බඹරු ඇවිත් ආපසු කියවමු!

එහෙව් වික්ටර්ට මාලිනී ෆොන්සේකාගේ හෙලන් නම් තරුණියගේ චරිතය මුණගැහෙනවා. ඇය, ගමේ හැදුණු කාන්තාවක්. නොනිල වශයෙන් ගමේම තරුණයෙකු වන සිරිල්ට බහ දීලා සිටි තරුණියක්. චිත්‍රපටියේ මුල, සිරිල් සහ හෙලන් නොනිල ප්‍රේමයක් හුවමාරු කරගන්න බව පෙන්වන දර්ශන කිහිපයක් එනවා. ‘මං උඹව බදිනවා’ කියා සිරිල් කියද්දී, හෙලන් ලැජ්ජාව මුසු සතුටකින් සිනහ වෙනවා. ළමා කාලය සිහිපත් කරද්දී ඇය සතුටින් නැළවෙනවා.

‘වික්ටර් වැඩ පටන් ගන්නේ හෙලන් සහ සිරිල් අතර පවත්නා අව්‍යාජ ආදරය තිරශ්චීන ආකාරයෙන් බිඳීමෙනි. වැල්ලෙහි ගෙවන දුක් දොම්නස්වලින් පිරි ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වන හෙලන් ‘වික්ටර්’ නම් පුරුෂ යානයෙහි නැඟී නගරයට සැපත් වී යස ඉසුරු ලැබුමට පතයි.’ යනුවෙන් එදා සුචරිත ගම්ලත් මේ ගැන ලීවා.

වික්ටර් නම් උස, සුදු, කඩවසම්, ධනවත් තරුණයා දුටු පසු හෙලන් ඔහුට ආකර්ෂණය වෙනවා. සිරිල් නම් ගමේ ධීවර ප්‍රේමවන්තයා කලබල වෙනවා.

චිත්‍රපටියේ දේශපාලන කතාව ඕනෑවට වඩා ඉස්මතු වීල ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටිය ඕලාරික නොවෙන්නේ මෙන්න මේ තුන්කොන් ප්‍රේමයේ කතාව එන නිසා.

හෙලන්ගේත් වික්ටර්ගේත් ප්‍රේම කතාව තුළ සිරිල් දුෂ්ටයා වෙද්දී චිත්‍රපටියේ පොදු කතාව තුළ දුෂ්ටයා වෙන්නේ ජෝ අබේවික්‍රමගේ දිව්‍යමය රංගනයෙන් ආශිර්වාද ලත් චරිතය වන ඇන්ටන් නම් වූ ධීවර මැරයා. ප්‍රාග්ධනය අරගෙන වික්ටර් ගමට එන්න කලින්, ධීවර වෙළෙඳාම සම්පූර්ණයෙන් වගේ ඇන්ටන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටියා. ‘ඌට දූපතක් දූපතක් ගාණේ ගෑනු’ ඇන්ටන් ගැන වික්ටර්ට කියද්දී ෆ්‍රැන්සිස් කියන්නේ එහෙමයි.

වික්ටර් එන්නට කලින්, ඇන්ටන් බොහෝ විට ධීවරයන්ට අඩු මුදලක් ගෙවා මාළු මිලට ගත්තා. ඇත්තටම එයට තවත් එක් හේතුවක් වන්නේ ඒ නිසා පිටින් ප්‍රාග්ධනය හෙවත් මුදල් අරගෙන එන වික්ටර් මෙන් නොව, ධීවර ගමේම සිටින ඇන්ටන්ට වැඩි මිලක් ගෙවන්නට හැකියාවක් නොතිබීම. ඔහු වෙළෙන්දෙක් නොවීම.

කෙසේ වෙතත් ඇන්ටන්ගෙ නායකත්වයෙන් එතෙක් පැවතුණ සාමූහික වෙළඳාමට පහර එල්ලවෙනවා. ලෙල්ලමේදී සියල්ල වික්ටර් අත්පත් කරගන්නවා. එය වික්ටර්ගෙ වෙළඳාමක් බවට හැරෙනවා.

වික්ටර්ගේ පැමිණීම එක්ක ගමට එන බලපෑම ඇත්තටම තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙන චරිතය තමයි වීරසේන. ඔහු පසුව එන වික්ටර්ගේ සහ සනත්ගේ මිතුරෙක්. මධ්‍යම පාන්තික වාමාංශිකයෙක්. පොතපත කියවා, කොණ්ඩය වවාගෙන රෝමාන්තික කයිවාරු ගසන වාමාංශිකයෙක්. මනෝරාජික ලෝකයක සිට සමාජය විග්‍රහ කරගන්නට උත්සාහ කරන මුත්, සැබෑ ලෙස ජනතාව අතර ඉඳන් ජනතාව සංවිධානය කරන්නට අසමත් වාමාංශිකයෙක්ග වෙළෙඳ පැළැන්තිය විවේචනය කරන අතරේම ඔවුන් අතර ගැවසෙන, ඉඳහිට පමණක් පීඩිත පන්තිය අතරට ගොස් මුහුදේ නා, කරවල කෑල්ලක් කා, රා උගුරක් බී විනෝදයක් පමණක් පතන වාමාංශිකයෙක්. ඇත්තටම, මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියෝජනයක්.

‘මට නියම නිදහස දැනෙනවා. ගැඹුරු සමතල ජීවිතයක්. ශිෂ්ටාචාරය පටන්ගත්ත කාලේ වගේ හැමෝටම පොදුයි. උඹලා උංට උඩින් ඉන්නේ.’ කියමින් ඔහු වික්ටර්ට විවේචන එල්ල කරනවා.’උංගෙ ශ්‍රමය විතරක් නෙවෙයි, පෞද්ගලික ජීවිතේත් හූරගෙන කාපල්ලා.’ කියමින්, හෙලන් හා වික්ටර් ඇති කරගන්නා ආදර සම්බන්ධයට කර්කශ වාග් ප්‍රහාරයක් ඔහු එල්ල කරනවා.

ඔහු මේ ගම කියවාගන්නේ හැමෝම සමානව ජිවත් වෙන ‘කොමියුනිස්ට් රාජ්‍යයක්’ වගෙයි. එහෙත්, ඇත්තටම ඇන්ටන්ගේ ආධිපත්‍යය තුළ මේ ගමේ තියෙන්නේ පරිපූර්ණ සමාජයක් නෙවෙයි. ඇන්ටන්ගේ රාජ්‍යය, මේ වැල්ල නැත්නම් කාන්තාරය පරමාදර්ශී රාජ්‍යයක් නොවෙයි. ඒ තුළ අශිෂ්ටකම් පවතිනවා. වික්ටර් ළඟ වැඩකරන ෆ්‍රැන්සිස් බැලූ බැල්මට ඉතා නිවටයෙක් වගේ පෙනුණත්, ඇත්තටම ෆ්‍රැන්සිස්ගේ ඇසෙන් බැලූ කළ වුව, ඔහු ප්‍රේම කරන තරුණිය ඇන්ටන්ගේ බිරින්දෑවරුන් ගණනාවක් අතරින් කෙනෙක් බවට පත්වෙලා. ඇන්ටන්ගේ බලයට අභියෝග කරන කවුරුන් හෝ ගමට පැමිණීම ෆ්‍රැන්සිස් ඉහළින් සමරන්නේ ඒ නිසයි.

පංති ගැටුම

‘රටාවකින් තොරව අහම්බයෙන් සිදු වන සෙයක් පෙනී ගිය ක‍්‍රියාදාමය ප්‍රාග්ධනය විසින් හසුරුවනු ලබන විධිමත් ක්‍රියාදාමයක් බව මෙසේ විශද වෙයි.’ කියා ගම්ලත් සිය විචාරයෙහි ලිව්වා.

මීට සමාන විග්‍රහයන් එදා වාමාංශික දේශපාලන ව්‍යාපාරවල සඟරාවල මෙන්ම ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලත් ලියැවුණා. එහෙත්, මේ විචාර සහ චිත්‍රපටිය අතර යම් දූරස්ථභාවයක් එදා ඇතැම් විචාරකයන් පෙන්වූවා. ඔය කියන තරම් මෙහි පන්ති ගැටුම රූපණය නොවෙන බව කීවා. කුමුදු කුසුම් කුමාර ලියූවක මෙසේ සඳහන්.

‘චිත්‍රපටිය ඇරඹෙන්නේ ධීවර ජනතාව හා මාළු මුදලාලියන් අතරත්, මාළු මුදලාලියන්ම අතරත්, පංති ගැටුමක් ලෙසින් නමුදු එහිදී වුව පංති ගැටුම නිරූපණය කරන්නට අපොහොසත් වන අධ්‍යක්ෂ ඊළඟට මහත් කැමැත්තෙන් අතිශය පෞද්ගලික ත්‍රිකෝණ ප්‍රේම කතාවක්, චිත්‍රපටයට රිංගවයි.’

මතක තබාගන්න, මේ චිත්‍රපටියේ පංති ගැටුම තුළින් සංකේතවත් වන්නේ සමස්ත ශ්‍රී ලංකාවේම දේශපාලන- ආර්ථික පැවැත්මේ සේයාවක්. හැත්තෑ ගණන්වල ජේ.ආර්. ජයවර්ධන නිදහස් වෙළඳපොළ හඳුන්වාදීම වික්ටර්ගෙනුත්, විධායක ජනාධිපති ක්‍රමය සහ එයින් පසු ඇති වූ මර්දනකාරී සහ භීෂණකාරී ක්‍රියාවලිය පොලීසිය සහ හමුදාව ගමට පැමිණීමෙනුත්, මෙරට සමසමාජ හා කොමියුනිස්ට් ආදී වාමාංශික ව්‍යාපාරය අර්බුදය කල්තියා දුටුවත් එයට එරෙහි වීමට අසමත් වීම වීරසේනගෙනුත් චිත්‍රපටිය තුළ නිරූපණය වෙනවා.

පංති ගැටුම සරලද?

බඹරු ඇවිත් ආපසු කියවමු!

එහෙත්, නැවත මේ චිත්‍රපටිය අප බලන්නේ, 1978 මේ චිත්‍රපටිය නිර්මාණය කරද්දී මෙරට සමාජය තුළට අලුතින් එන්නත් කරමින් සිටි නිදහස් වෙළඳ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපේ සමාජය ආක්‍රමණය කළ පසුවයි. වික්ටර් පමණක් නොව, විවිධාකාර ව්‍යාපාරිකයන් ධීවර, ගොවි, කර්මාන්ත ආදී සියල්ල තමන්ගේ කරගෙන හමාරයි. සෞඛ්‍ය හා අධ්‍යාපනය පවා මුදලාලිකරණය වී, අප මේ කතා කරන මොහොතේ සන්නිවේදනය, බලශක්තිය, ඉන්ධන ආදී සියල්ල පුද්ගලික අංශයට හෝ විදේශ සමාගම්වලට පැවරෙන මොහොතකයි අප මේ චිත්‍රපටිය නැවත නරඹන්නේ.

එවැනි මොහොතක අපි ඉතා තේරුම් ගන්න ඕනෑ දෙයක් තමයි, මේ චිත්‍රපටිය තුළ ධර්මසේන පතිරාජ ඍජුව පංති ගැටුම නොපෙන්වා සංකීර්ණ ලෙස කියන්නට උත්සාහ කළේ කුමක්ද යන්න.

එනම්, ගමට ප්‍රාග්ධනය පැමිණීමෙන් පසු එතෙක් පරිපූර්ණ නැතත්, යම්කිසි සමබරතාවක් එක්ක තිබූ ගැමි ජීවිතය විනාශ වුණාය, එයින් පසු ගමට පොලීසිය හා හමුදාව ආදී මර්දන උපකරණත් පැමිණියේය, වාමාංශිකයන් ඒ සියලල හමුවේ කිසිත් කරගත නොහැකිව කාටත් නෑසෙන සේ කයිවාරු ගසමින් සිටියේය යන චිත්‍රපටියේ මූලිකව දිස්වන විග්‍රහයට පමණක් චිත්‍රපටිය සීමා කළ හැකිද යන්න. පතී හුදෙක් කල් තියා සැකසූ වාමාංශික රාමුවකට අනුව චරිත ලීවේ නෑ. ඒ චරිතවලට නිදහසේ හුස්ම ගන්න ඉඩ හැරියා. එදා සිට අද දක්වාම ප්‍රාග්ධනය හෝ ව්‍යාපාරික සමාජයට එරෙහිව වාමාංශිකයන් මතු කරන තර්ක අසමත් වන්නේ තමන්ගේ එදිරිවාදියාට හරිහැටි පහර එල්ල කරන්නට ඔවුන් අසමත් නිසා.

උදාහරණයක් කීවොත්, ලෝක වාමාංශිකයන්ට ඊලෝන් මස්ක් හෝ බිල් ගේට්ස් දුෂ්ටයන්. එහෙත්, සාමාන්‍ය ජනතාව අතර සිටින බොහෝ දෙනෙකුට ඔවුන් වීරයන්. විශේෂයෙන් බිල් ගේට්ස් හරි අහිංසක විදියට කතා කරන, මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගත හැකි මනුස්සයෙක්. ලංකාවේ වුව ශ්‍රමය සූරාකන, කෘෂි හෝ ධීවර ජීවිත කොල්ලකන ව්‍යවසායකයන් ඉතා ආකර්ෂණීය අය. වඩාත් නිවැරදිව කීවොත්, ඔවුන් හෘදය සාක්ෂියෙන්ම, ඇත්තටම හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒ අනුව ධනවාදය ගැන කතාන්දරයේ දුෂ්ටයන් හා වීරයන් වෙන් කරගැනීම හිතූ තරම් සරල නෑ.

එතැනින් එහාට

ඒ නිසා, මේ චිත්‍රපටියට අදාළ ආකර්ෂණීයම සහ වැදගත්ම කාරණය වන්නේ කතාන්දරයේ දුෂ්ටයන්, වීරයන් තෝරාගෙන ඇති අන්දම.

චිත්‍රපටියේ සිදුවීම් ගලායෑම තුළ වීරයා වන්නේ වික්ටර්. අපි චිත්‍රපටිය බලන්නේ වික්ටර්ගේ ඇහෙන්. ඔහුගේ මනෝ ලෝකය තුළ ඉඳන්. ඒ චරිතයට තෝරාගෙන ඉන්නේ සිංහල සිනමාවේ අසහාය ප්‍රේමවන්තයා වන විජය. මේක විජය මාලිනී ප්‍රේම කතාවක්. ඒ අනුව දුෂ්ටයා ජෝ අබේවික්‍රම. ඔහු ඒ වෙද්දීත් විශිෂ්ට දුෂ්ට චරිත කර ඇති අයෙක්. ජෝ සිය චරිතය ඉදිරිපත් කරන්නේත් ඒ දුෂ්ටයාගේ ගති ලක්ෂණ සහිතව. ටිකට්පතක් මිලට ගෙන බලන්නට එන සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන සරල රාමුව එය.

බඹරු ඇවිත් ආපසු කියවමු!

එහෙත් ගම්ලත්ගේ සහ අනෙකුත් සියලු විචාරකයන්ගේ දෘෂ්ටිකෝණයන් අනුව දුෂ්ටයා තමයි විජය කුමාරතුංගගේ කඩවසම් වික්ටර් නම් චරිතය.

ඉතින්, වික්ටර් ගමටත් වීරයෙක්. ප්‍රේක්ෂකයාටත් වීරයෙක්. ධනවාදය ඕනෑ තැනකට කඩා වදින්නේ ඒ විදියටයි. මේ අප කතා කරන මොහොතේත්, මෙරට රාජ්‍ය ව්‍යවසාය ගණනාවක පාඩුව පෙන්වමින් (ඇන්ටන්ගේ පාලනය යටතේ ධීවර ගම්මානය වගේ, රජයේ පාලනය යටතේ රාජ්‍ය ව්‍යවසායවල ඉරණම පෙන්වමින්) ඒවා පුද්ගලිකකරණය කරන්නට සැරසෙනවා. අලුත් ආයෝජකයන් පැමිණෙන්නේ වික්ටර් වාගේම වෛවර්ණ කඩවසම් වීරයෙකු වාගේ තමයි. හැත්තෑ ගණන්වල විවෘත ආර්ථිකය ලංකාවට කඩා වැදුණේත් ඒ වීරත්වය එක්ක තමයි.

ඔය කියන කාලයේ ධනවාදය ගමට කඩාවදින හැටි පෙන්වන වේදිකා නාට්‍ය, නවකතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය රැසක් හැදී තිබෙනවා. ඒ බොහොමයක ‘මුදලාලි’ නිරූපණය කරන්නේ ‘කැත’ කියා සම්මත පෙනුමක් සහිතව. ගමේ කාන්තාවකට මුදලාලි අත තබන්නේ නම්, ඒ බලහත්කාරයෙනුයි. පතීගේ දැක්ම එයට වෙනස්. වික්ටර් හෙලන්ට ඉදිරිපත් කරන්නේ කිසිම කහටක් නැති සැබෑ ප්‍රේමයක්. හෙලනුත් වික්ටර්ට ආකර්ෂණය වෙනවා.

මතුපිටින් විතරක් නෙවෙයි, අභ්‍යන්තරයෙන් පවා වික්ටර් ‘නරක මනුස්සයෙක්’ නෙවෙයි. ඇත්තටම වික්ටර් හොඳ මනුස්සයෙක්. ගමේ ජන ජීවිතය විනාශ කර, ලාභ උපයා, පොලීසියක් ගමට ගෙනැවිත් විනාශයක් කරන්නට කිසිදු වුවමනාවක් වික්ටර්ගේ හිතේ නෑ. ඒ නිසාම, ගමේ සිදුවන විනාශය ගැන ඔහු සතුටු වෙන්නේත් නෑ. එක් දර්ශනයක් තිබෙනවා, ගැමියන් වික්ටර් සොයාගෙන එද්දී ඔහු හපනෙකු වාගේ ගිහින් හමුදා කණ්ඩායමක් ගෙනැවිත් ඒ ආරක්ෂාව පසුපස සිටගන්නා ආකාරය. එය කිසිදු ‘වරදක්’ ලෙස වික්ටර්ට හැඟෙන්නේ නෑ.

අප එය පුළුල් චිත්‍රය තුළ බැලුවොත්, ධනවාදය තුළ වෙළඳ පැළැන්තියට තමන් කිසිම වරදක් කරන බව පේන්නේ නෑ. ඔවුනුත් ‘හොඳ මිනිස්සු’. ඉතින්, පතිරාජ සිනමාකරුවකු ලෙස නිර්මාණය අවසන් වන විට අපට මේකේ අවුල පෙන්වන්නට සමත් වෙනවා.

සාමාන්‍ය ප්‍රේක්ෂකයාට චිත්‍රපටිය ආරම්භයේදී ප්‍රේමයේ දුෂ්ටයා සිරිල්. සිරිල්වත් අවුස්සන ප්‍රධාන දුෂ්ටයා ඇන්ටන්. ඒත්, චිත්‍රපටිය අවසාන වෙද්දී, ඒ දෙන්නාටම අත්පත් ඉරණම් විසින් ප්‍රේක්ෂකයාව කම්පනය කරමින් පතීට අවශ්‍ය සන්දර්භය තුළට ප්‍රේක්ෂකයාව ඇදලා දාන්න චිත්‍රපටිය සමත් වෙනවා. සිරිල් හෝ ඇන්ටන් දෙන්නාටම අත්වන ඉරණම ප්‍රේක්ෂකයාගේ හිතේ පැල්මක්, පිපුරුමක් ඉතිරි කරවනවා. අන්න ඒ නිසා දෙවැනි, තුන්වැනි හෝ සියවැනි වතාවක චිත්‍රපටිය බලන කෙනෙකුට, ඇන්ටන්ව වීරයකු විදියට පෙනෙන එක නවත්වන්න බෑ, වික්ටර් වැරදි බව හැඟෙන එක නවත්වන්න බැහැ.

බඹරු ඇවිත් ආපසු කියවමු!

ඒ කෙසේ වෙතත්, අප කී තරම් වාමාංශිකයන්ගේ විග්‍රහවලට හසු කරගන්න බැරි විදියේ සංකීර්ණ තැනකයි සැබෑ මනුෂ්‍ය සම්බන්ධතා පවතින්නේ. භෞතික විද්‍යාවේ ගණනය කිරීම්වලදී ඒ ඒ තැන්වලට ඒ ඒ රසායනයන් ආදේශ කරනවා වගේ පංති දේශපාලනය තුළ ‘ධනවත්තු එහෙමයි’, ‘පීඩිතයා මෙහෙමයි’ ආදී සමීකරණවලට සමාජය ආදේශ කරන්න බෑ. ඒ වෙනුවට අප සැම දැනගත යුත්තේ මිනිස්සු තුළ නොව, ක්‍රියාවලිය තුළම දුෂ්ටත්වය ගැබ්ව තිබෙන බව. අපි තරහ වෙන්න ඕනෑ වික්ටර් එක්ක නෙවෙයි, වික්ටර්ටත් හරි අවබෝධයක් නැති, වික්ටර්ගේ පැමිණීමෙන් ඇතිවෙච්ච සිදුවීම් පෙළ එක්ක.

තේරුමක් නැති ගැටුම්

මේ චිත්‍රපටියේ එකම වගඋත්තරකරුවා වික්ටර් නෙවෙයි. එක් පැත්තකින් ඇන්ටන් සංකේතවත් කරන්නේ කාවද? එය කියවාගන්න අපූරු තැනක්. ඇන්ටන්ගේ විරෝධය එල්ල වන්නේ වික්ටර්ගේ පැමිණීමෙන් ධීවර ගම තුළ ඇත්තටම ඇති වූ ප්‍රශ්නය කෙරෙහි නෙවෙයි. ඒ වෙනුවට ඔහු ‘ගේම ඉල්ලන්නේ’ හෙලන් සහ වික්ටර් අතර ප්‍රේමයට එරෙහිවයි. ඇන්ටන්ට ඇත්ත ප්‍රශ්නය විග්‍රහ කරගන්න දැනුමක්, හැකියාවක් නැහැ, ඇන්ටන් ඇත්තටම වික්ටර්ට අකැමැති ඇයි. ඇන්ටන් ඇත්තටම ගැමියන් වික්ටර්ට එරෙහිව පෙළගස්වන්න ඕනෑ මොන හේතුව මතද? ඇන්ටන් ගමේ මිනිස්සුන්ට කියා දෙන්න ඕනෑ මොකක්ද? ඇන්ටන්වත් ඒක දන්නේ නෑ.

හැත්තෑ ගණන්වල විවෘත ආර්ථිකයත්, එයට අනුබද්ධ වූ දැඩි ඒකාධිපති සහ මර්දනකාරී පාලන රටාවත් කියන දෙකටම එරෙහි වීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට තිබුණේත් නැහැ. ඒ වෙනුවට දකුණ සහ උතුර ඉතාම ජාතිකවාදී සහ ඇතැම්විට ජාතිවාදී ප්‍රවණතාවල ගිලී ගියා.

බඹරු ඇවිත් ආපසු කියවමු!

මේ ප්‍රශ්නයේ අගමුල තේරුම් ගත්, වීරසේන හෙවත් පැරණි ලසසප, කොමියුනිස්ට් ආදී වාමාංශිකයන් තමන්ගේ මනෝ ලෝකවල සිටියා. ගැමි ගොවි සමාජයේ තරුණයන් හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආදී කණ්ඩායම් නිසි අවබෝධයකින් තොරව ගැටුම් ඇති කරගත්තා. මේ බොහොමයක් තේරුමක් නැති ගැටුම්.

ට්‍රොට්ස්කිවාදියෝ, ලෙනින්වාදියෝ, ජාතිකවාදියෝ, ජාත්‍යන්තරවාදියෝ, මාවෝවාදියෝ සහ පුද්ගලික තරහකාරයන් විදියට බෙදෙමින් ඇත්තටම මිනිස්සුන්ට ප්‍රශ්නය ඒත්තු ගැන්වීම පැත්තක දැම්මා. ඒ අස්සේ වමේ අය රෑට රෑට අර ව්‍යාපාරික, වෙළෙඳ, දේශපාලු, නිලධාරීමය තැන්වල ඉන්න ධනවාදියෝ එක්ක විස්කි බිව්වා. එකම සන්ධානවල පාර්ලිමේන්තුවේ ලැග්ගා. ගමේ හිටපු තරුණයා හරි දෘෂටිවාදයක් නැතිව අරගල කළා. ඒවා විනාශයන්ගෙන් සහ තව තවත් දරුණු මර්දනකාරී රාජ්‍යයක් ශක්තිමත් කරන තැනට තල්ලු වුණා.

සියලු විනාශයන්ගෙන් පසුල වීරසේන ගැමියන් අමතා කතාවක් කරන්න උත්සාහ කරනවා. එහෙත්, කතාවේ අග ඒ කතාව අහන්නට ඉතිරි වන්නේ හරකෙක් පමණයි. මිනිස්සු යන්නට යනවා.

ඉතින්, ගමේ සිදුවන විනාශය වික්ටර්ගේ පැමිණීමෙන් ඇති වුණා විය හැකියි. එහෙත්, අනෙක් හැම චරිතයක්ම ඒකට දායකත්වය දෙනවා. ඒ හැමෝම දායකත්වය දෙන්නේ අනවබෝධයෙන්. ඒ හේතුවෙන් බඹරු ඇවිත් චිත්‍රපටියේ අපට පෙන්වන්නේ හුදෙක් ධනවාදයේ අවුල පමණක් නෙවෙයි. ඒ අවුල ගැන කතා කරද්දී එක පැත්තකට ඇඟිල්ල දිගු කර දුෂ්ටත්වය සහ වීරත්වය අතර සීමා ඉරි අඳින්නට බැරි ආකාරයෙන් සැබෑ ලෝකයේ ක්‍රියාත්මක වන සංකීර්ණ ස්වරූපය මේ චිත්‍රපටිය පෙන්වා දෙනවා.

● තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment