ලෝක ඉතිහාසය පුරා ශිෂ්ටාචාර වශයෙන්, ගම් දනව් වශයෙන්, නගර වශයෙන් හෝ පවුල් වශයෙන් ඒවායේ වාසය කරන්නන්ගේ සමස්ත ජීවිතය උඩු යටිකුරු කරන අන්දමේ වෙනස්කම් සිදු කර තිබේ. ඒ කියන්නේ පාරම්පරික ඉඩම් අත්හැර තවත් තැන්වලට සංක්‍රමණය වීම, සම්පූර්ණ ආර්ථික රටාවන් උඩු යටිකුරු වීම, දැවැන්ත සංස්කෘතික හා සමාජයීය වෙනස්කම්වලට මුහුණදීම ආදී බොහෝ වෙනස්කම්වලට මුහුණ දී ඇත. විවිධ හේතු ජීවිත උඩුයටිකුරු වීම් පසුපස තිබිය හැක. ආක්‍රමණ, වසංගත, ස්වාභාවික ආපදා මෙන්ම නව සංවර්ධන සැලසුම් ආදී නොයෙකුත් හේතු ඒවා පසුපස තිබිය හැක. එහෙත්, අමනෝඥකම හෝ වංචනික වීම එවැනි වෙනසකට හේතුවක් විය හැකිද? අමනෝඥකම නිසා සමස්ත ජන ජීවිත වෙනස් විය හැකිද? තමන්ගේ සම්පූර්ණ දිවි පැවැත්මෙන් සිය දහස් ගණන් පවුල් වන්දි ගෙවන තැනකට යම්කිසි ක්‍රියාවලියක් සිදු වන්නේ නම්, එය පසුපස අමනෝඥකම තිබිය හැකිද?

අප මෙහි කතා කරන්නේ, වසර ගණනක් ප්‍රමාද වී බාගෙට අවසන් කළ උමා ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් අති දැවැන්ත වන්දි මුදලක් ශ්‍රී ලංකා රජය විදුලිබල මණ්ඩලය හරහා ඉරානයට ගෙවීම ගැනය. ඩොලර් මිලියන ගණන් ගෙවීමට තීන්දු කිරීම ගැනය. එම කරුණු කාරණා දැනගැනීම සඳහා අප යොමු වුණේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙතය.

‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතිට පැවරූ’ බව ඉරාන ජනාධිපතිවරයාගේ ආගමනයත් සමග රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එහෙත්, ඒ ව්‍යාපෘතියේ කිසිදු බහුකාර්යයක් නැත. ඒ මදිවාට ව්‍යාපෘතිය පසුපස ඇති අතිශය බිහිසුණු වංචනික ක්‍රියා, ගැටලු සහගත තීන්දු මෙන්ම නාස්තිය ආදී බොහෝ දේ තිබේ.

නාය යනවා

පසුගිය සතියේ අලුතින් වාර්තා වුණේ, උමා ඔය ඉදිකිරීම් සිදු වූ ප්‍රදේශයට ආසන්නයේ නැවත නායයෑම් අවදානමක් පවතින බවය.

උමා ඔය ව්‍යාපෘතියේ බලපෑම මත කරදගොල්ල ආසන්නයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ ජලය ගලා යෑම සහ, නායයෑමේ අවදානම් මතු වී තිබෙන බවත්, එය උමා ඔය නිසා සිදුවෙමින් පවතින බවත් ඇල්ල ප්‍රදේශයේ ජනතාව චෝදනා කළ බව අප්‍රේල් 29 වැනිදා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හරහා වාර්තා කර තිබුණි.

මෙම මලිත්තගොල්ල ගම්මානය පිහිටා තිබෙන්නේ, උමා ඔය ව්‍යාපෘතියට අයත් වන විදුලි බලාගාරය පිහිටා ඇති, කරඳගොල්ලට ඉතා ආසන්නයේය.

2019 ඉඳලා නාය යනවා. වැහි කාලයට අයින් වෙනවා. පන්සලට ගිහින් ඉන්නවා. ආයෙත් එනවා. ඉස්සරට වඩා වතුර වැඩි වෙලා තියෙනවා. ආදී වශයෙන් ප්‍රදේශවාසීන් කියා තිබුණේ, අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතය.

එයට පසු, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් ගමන් කර තිබුණු අතර, මුලින්ම තාවකාලික කාණු කැපීමක් අප්‍රේල් 29 වැනිදා සිදු කර තිබුණි.

එයට පසු, මැයි 01 වැනිදා එම ස්ථානයට ගිය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න ඇතුළු පිරිසක්, ස්ථානය නිරීක්ෂණය කර තිබුණි. ඔවුන් කියා තිබුණේ, නාය යෑමට හේතුව සොයා ගැනීමට තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි. ඒ අනුව, මේ ගැන පර්යේෂණ කිරීම ප්‍රතිචාරය සහ පිළිතුර වී තිබේ.

“උමා ඔය වතුර පිරවීම පසුගිය ඔක්තෝබර් මාසයේදී පටන් ගත්තා. එයින් පසු අධික වර්ෂා තත්ත්වයක් ඇති වුණා. නායයෑම සක්‍රීය තත්ත්වයක තියෙන්නේ. වතුර පැතිරීමත් ඒක එක්ක සක්‍රීය වෙන්න පුළුවන්. සක්‍රීයතාව අවම කිරීම සඳහා අවශ්‍ය කෙටිකාලීන හා දීර්ඝකාලීන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. උමා ඔය වතුර පිරවීම නිසා වෙන්න පුළුවන්. වෙනත් හේතු බලපෑවා වෙන්නත් පුළුවන්. නමුත් මේ කිසි දෙයකින් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා නෑ.”

ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ තමන්ට විසඳුමක් දෙන ලෙසය. වතුර වැඩි වීම සාමාන්‍ය ගොවීන්ට සහනයක් විය හැක. එහෙත්, කඳු පෙදෙසක පස් කඩාගෙන ගලන ජලය යනු කාල බෝම්බයකි. “වතුර පාර වැඩි වෙලා තියෙනවා. වෙනදා වගා කරන්නවත් වතුර තිබුණේ නෑ මේකේ. අද වතුර ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේක උමා ඔයේ බලපෑමක්.” යනුවෙන් ප්‍රදේශවාසියෙකු කියා තිබුණේ ඒ නිසාය.

‘කුඹුරු අහිමිවෙලා තියෙනවා. ගෙවල් දොරවල් අහිමි වෙලා තියෙනවා. දැන් දෙවනත් වෙන්න වතුර එනවා. උමා ඔය නිසාද මේක වෙන්නේ කියලා හොයලා බලන්න.” යනුවෙන් කාන්තාවක කියා තිබුණි.

අවතැන් ජීවිත

කරඳගොල්ල විතරක් නෙවෙයි ජාතික ධනයත් නාය යන හැටි

උමා ඔය යනු වැලිමඩින් ඇරඹී, පුහුල්පොළදී ඉතා කුඩා ජල ප්‍රමාණයක් ගලා ඇවිත්, බදුලු ඔය නිම්නය සරුසාර කරන්නට එකතු වෙන කුඩා ජල පහරකි. එයට දිස්ත්‍රික්ක ගණන් සංවර්ධනය කරන්නට ජල ධාරිතාවක් නැත. උමා ඔය දකුණු පළාතට හැරවීමම අමනෝඥ තීන්දුවකි. ඒ බව පරිසර විශේෂඥයන්, භූගර්භ විශේෂඥයන් ඕනෑ තරම් කියා ඇත. විශේෂයෙන් වැලිමඩ සිට කරඳගොල්ල දක්වා බණ්ඩාරවෙල හරහා දැවැන්ත උමගක් කපන්නට ගොස් සිදු වූ හදිය අමතක කරන්නට බැරිය. 2014 සිට බණ්ඩාරවෙල ගිලාබැසීම් වාර්තා වෙන්නට පටන් ගත් අතර, උමග අභ්‍යන්තරයේ ජලය ගැලීම නිසා කාලයක් තිස්සේ ව්‍යාපෘතිය කරගත නොහැකි විය. වන්දි ගෙවීම් විශාල ප්‍රමාණයක් සමග ගොවිතැන් කරමින් ජීවත් වූ විශාල පිරිසකට අවතැන් වීමට සිදු විය.

වැලිමඩ, ඌවපරණගම, ඇල්ල, හාලිඇල හා වැල්ලවාය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉඩම් කට්ටි 1786ක් වන්දි ගෙවීම සඳහා හඳුනාගෙන තිබුණි. ඊට අමතරව ප්‍රධාන උමගේ ජල කාන්දුවට 2021 අගෝස්තු 31 වන විට ව්‍යාපෘති කාර්යාලය විසින් රුපියල් මිලියන 1931ක් වින්දිතයන් වෙත වන්දි ගෙවා තිබුණි. කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම වින්දිත පාර්ශ්ව වෙත වන්දි ගෙවිය යුතු බවත්, එය වන්දි මුදල් කොන්ත්‍රාත්කරුගෙන් අය කරගන්නට ඕනෑ බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව 2019 මැයි 22 වැනිදා නියෝග කර තිබුණි. එහෙත්, එයින් රුපියල් මිලියන 1,124ක් හෙවත් කෝටි 112ක් අය කරගෙන තිබුණේ නැත.

උමා ඔය යෝජනාව

අප උමා ඔයේ ඉතිහාසය සම්පූර්ණයෙන් මෙහි ලියන්නේ නැත. මෙය ශ්‍රී ලංකාව නිදහස ලැබූ කාලයේ සිට තිබුණු ව්‍යාපෘති යෝජනාවක් බවත්, එය මහවැලි ව්‍යාපෘතියේ අංගයක් ලෙස මුලින් තිබුණු බවත් අපි සියලුදෙනා ඕනෑ තරම් අසා ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ කරඳගොල්ල ජල විදුලි බලාගාරය සහ කිරිඳිඔය නිම්නයට ජලය සැපයීම බවත්, එයින් පසු හම්බන්තොට දක්වා ජලය ගෙන යෑම අරමුණක් වූ බවත් බොහෝ අය දනී.

මේ වෙද්දී ප්‍රකට කාරණයක් වෙමින් පවතින්නේ දැන් ඉදි වන උමා ඔය ව්‍යාපෘතිය යෝජනා කරමින් 2005 ජනවාරි 04 වැනිදා මුල්ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ ජාතික ජන බලවේගයේ වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක බවය.

සීඑම්/01/05 අංකය සහිත එම කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක විසින් එදා ඉදිරිපත් කළේ ‘උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය‘ යන මෘතාකාවෙන් යුක්තවය.

‘උමා ඔය ජල සම්පත් සංවර්ධනය විශේෂයෙන්ම ද්‍රෝණිය තුළ ජලවිදුලිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයන් කිහිපයක්ම සිදුකොට ඇත. ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය විශේෂයෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සංවර්ධනය කළ යුතුව ඇතැයි වන වැදගත් සාධකය සැලකිල්ලට ගත් කල ඒ සඳහා උමා ඔයේ ජලය අග්නිදිග වියළි කලාපයට හැරවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සඳහන් කළ යුතුය.’ යනුවෙන් අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. ඒ අනුව ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ව්‍යාපෘතියේ ආරම්භය

මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් 2022 වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉතා විශිෂ්ට සහ තියුණු වාර්තාවකින් කරුණු ගණනාවක් හෙළිදරව් කර ඇත. වාර්තාවේ මෙසේ සඳහන්ය.

‘ව්‍යාපෘතිය 2008 වර්ෂයේ ආරම්භ කොට වසර 07කින් එනම්, 2015 නොවැම්බර් 15 දින නිම කිරීමට මූලිකව අපේක්ෂා කර තිබුණද, අවස්ථා 8කදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2021 ජුනි 30 දක්වා කාලය දීර්ඝ කර තිබුණි.

ඉරාන ෆරාබ් සමාගම 2008 අප්‍රේල් 28 දින ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත් ක්‍රමය යටතේ කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ තිබුණු අතර, සංශෝධිත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 529ක් හෙවත් රුපියල් මිලියන 74,585ක් විය. උක්ත ගිවිසුම යටතේ 2023 අප්‍රේල් 30 දිනට රු. මිලියන 70,585ක වැඩ සහතික කොට ගෙවා තිබුණි. ව්‍යාපෘතිය සඳහා අරමුදල් ඉරාන අපනයන සංවර්ධන බැංකුව මගින් මූල්‍යනය කිරීමට යටත්ව අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තරගකාරී මිල ගණන් කැදවීමකින් තොරව කොන්ත්‍රාත්කරු තෝරාගෙන තිබුණ ද, 2013 වර්ෂයේදී ඉරානය වෙත පනවන ලද ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුව විසින් ණය මුදල අත්හිටුවා තිබුණි.’ ඒ අනුව ඉරානය පිනට දුන්නා වාගේ හැසිරෙන මෙම ව්‍යාපෘතියට ඇත්තටම ඉරානය දී ඇත්තේ ණය මුදලකි. ඒ ණය මුදලත් සම්පූර්ණයෙන් ලබා දී නැත.

‘ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් හෙවත් රුපියල් මිලියන 6,522ක් විදේශීය ණය ගිවිසුම මගින් මූලනයෙන් අනතුරුව ව්‍යාපෘතියේ මේ දක්වා පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 437ක් හෙවත් රු. මිලියන 71,056ක් ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් මූල්‍යකරණය කර තිබුණි.‘ යනුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. එතැනම ශ්‍රී ලංකා රජයට දැවැන්ත පිරිවැයකි. ඒ මදිවාට තරගකාරී මිල ගණන් නැතිවම ඉරාන වුවමනාවට ෆරාබ් නම් සමාගම තෝරාගෙන තිබුණි.

‘2007 නොවැම්බර් 27 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ඉරාන ඉස්ලාමීය ජනරජය අතර අත්සන් කරන ලද එකගතා ගිවිසුම ප්‍රකාරව ඉරාන අපනයන බැංකු අරමුදල් යටතේ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර ඉරාන ඉස්ලාමීය රජය විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරු වශයෙන් ඉරානයේ ෆරාබ් සමාගම නම් කරන ලදි. එසේම, එම ක්‍රියාවලිය සඳහා එවකට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.’ යනුවෙන් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර තිබේ.

2024 මැයි 15 වෙද්දී මේ ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය අවුරුදු 8කුත් මාස 6ක් වේ. මේ ප්‍රමාද කාලය තවමත් අවසන් නැත. තවම ඉදිකර ඇත්තේ, ව්‍යාපෘතියේ කොටසක් පමණි. ඒ ගැන වැඩිදුර කතා මේ සටහනේ ඉදිරියේදී කතා කරන්නෙමු.

ප්‍රමාද ගාස්තු අය කරගෙන නැහැ

විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙසේ කියයි. ‘2023 මැයි 15 දින වන විට ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය වසර 7කුත් මාස 6ක් වූ අතර, උක්ත ප්‍රමාදය හේතුවෙන් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කර තිබුණු ප්‍රතිලාභ අත් කර ගැනීමට නොහැකි වී තිබුණි. එහිදී විදුලිබල ජනන පද්ධතියට මෙගාවොට් 120ක විදුලි බලයක් එකතු කිරීම තුළින් දිනකට විදුලිබල මණ්ඩලයට රු. මිලියන 55කට නොවැඩි මුදලක් ඉතිරි වන බව ගණන් බලා තිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය වසර 7 ක් ප්‍රමාද වීම තුළින් සිදුව තිබූ පාඩුව රුපියල් මිලියන 150,562 ක් වී තිබුණි.’

මේ ප්‍රමාදය වෙනුවෙන් කොන්ත්‍රාත්තුව අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 26.453ක් සමාගමෙන් අය කර ගත හැකි වූ නමුත්, ඒ මුදල් අය කරගත්තේ නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ වෙනුවට කොන්ත්‍රාත්කරුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 6.6ක් අය කරගෙන තිබුණි. එහෙත්, ඒ අය කරගත් මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5,305,091ක් නැවත ගෙවා තිබුණේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවය. එයට ප්‍රතිචාර ලෙස වාරිමාර්ග අමාත්‍යාංශය කියා ඇත්තේ, ෆරාබ් සමාගම ප්‍රමාද ගාස්තු ගෙවීමට කැමති නොවූ නිසා ඔය ආකාරයට නැවත මුදල් ගෙවීමට සිදු වූ බවය.

ෆරාබ්ට සල්ලි ගෙවයි

ඔය ආකාරයට අය කරගත් ප්‍රමාද ගාස්තුවත් නැවත ගෙවූ ආණ්ඩුව සිදු කර ඇත්තේ කුමක්ද? වසර ගණන් ව්‍යාපෘතිය ප්‍රමාද කළ ෆරාබ් සමාගම වෙත අතින් මුදල් ගෙවීමය. ෆරාබ් සමාගමට මුදල් තව තවත් පිදීම ගැන කිසිම සඳහනක් නොකර, කැබිනට් පත්‍රිකා දමමින් කාලය දීර්ඝ කර තිබුණි.

‘2008 වර්ෂයේ ආරම්භ කර වසර 7කින් එනම්, 2015 නොවැම්බර් 15 දින නිම කිරීමට මූලිකව අපේක්ෂා කර තිබුණ ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 7ක් මගින් කාලය දීර්ඝ කිරීම් කර තිබුණි. එකී අමාත්‍ය මණ්ඩල තීරණ මගින් දීර්ඝ කරන ලද කාලසීමාව තුළ රජයට අමතර වියදමකින් තොරව සියලු ඉදිකිරීම් නිම කර ව්‍යාපෘතිය විධිමත්ව රජය වෙත භාර දීමේ කොන්දේසිවලට යටත්ව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. ඒ පිළිබඳ නොසලකා කොන්ත්‍රාත්කරු වෙත කාල දීර්ඝයන් ලබා දී තිබුණු අතර එම කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී නොතිබුණු නමුත් ඒ මගින් සේවායෝජක වන ශ්‍රී ලංකා ජනරජයට සිදු වී ඇති පාඩුව ගණනය කොට ඊපීසී කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි ප්‍රකාර කොන්ත්‍රාත්කරුගෙන් අය කර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කර නොතිබුණි. ව්‍යාපෘතියට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක් ඉදිරිපත් කර තිබුණු නමුත් එම කිසිදු අවස්ථාවකදී ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණි.’ යනුවෙන් ඒ ගැන විගණකාධිපති වාර්තාවේ සඳහන්ය.

ඉරානය පව්ලු!

කරඳගොල්ල විතරක් නෙවෙයි ජාතික ධනයත් නාය යන හැටි

එයින් පසු, ෆරාබ් සමාගමට මුදල් පුද දීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ගැන විගණකාධිපති වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් සඳහා ප්‍රවිෂ්ට වීමේ අයිතිය ලබා දීමේ ප්‍රමාදය, නිම කළ වැඩ සඳහා ඉදිරිපත් කළ බිල්පත් ගෙවීමේ ප්‍රමාදය සහ ඉදිකිරීම් වැඩ බිම සඳහා ලබා දිය යුතුව තිබුණු දත්ත ලබා දීමේ ප්‍රමාදය වැනි කරුණු 05ක් සඳහා කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු හිමිකම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 181,337,171ක ප්‍රමාද ගාස්තුවක් රජයෙන් ඉල්ලා තිබුණි.’

කොහොම නමුත්, එහිදී ශ්‍රී ලංකා රජය මේ පිළිබඳ සලකා බැලීමට කමිටුවක් පත් කළේය. එම කමිටුව නිගමනය කර තිබුණේ කොන්ත්‍රාත්කරුට ඇමෙරිකානු ඩොලර් 19,517,082ක් හිමි බවය. එහෙත්, ඊට අමතරව අපූරු යෝජනාවක් ශ්‍රී ලංකා රජය කර තිබුණි. විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ ඒ ගැන මෙසේ සඳහන්ය.

‘ඊට අමතරව එහිදී, ඉරාන රජයට පනවා තිබුණු ආර්ථික සම්බාධක හා වෙනත් අනපේක්ෂිත දුෂ්කරතා හේතුවෙන් කොන්ත්‍රාත්කරු මුහුණ දෙනු ලබන මූල්‍යමය බාධාවන් සඳහා සානුකම්පිත හේතු මත අමාත්‍ය මණ්ඩලයේ කැමැත්ත පරිදි කොන්ත්‍රාත්කරුට ඇමෙරිකානු ඩොලර් 19,094,795ක් ගෙවීම…’ සඳහා සලකා බැලීමය.

එනම්, ෆරාබ් සමාගමට ලැබෙන්න ඕනෑ බව නීත්‍යානුකූල පදනමක් නැතිව නිගමනය කරන ලද, ඩොලර් මිලියන 19ට අමතරව, ‘ඉරානය පව්’ යන්න හේතුවක් ලෙස සලකමින් තවත් ඩොලර් මිලියන 19ක් දෙන්නට යෝජනා කර තිබුණි. ඔව්, එය මෙරට කැබිනට් මණ්ඩලය ගෙන තිබුණු තීන්දුවකි. විගණකාධිපති දෙපාර්තමේන්තුව තමන්ට හිමි විධිමත් හා පාක්ෂික නැති, භාෂාවෙන් එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබුණේ එය වෘත්තිමය නොවන තීන්දුවක් බව පෙන්වා දෙමිනි.

2021 ඔක්තෝබර් 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයට අයිආර්/2021/62 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ප්‍රමාද ගාස්තු ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 38ක් ඉරාන සමාගමට ගෙවන්නට තීන්දු කළේය. මතක තබාගන්න, 2022 මුල ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයක සිර වී ප්‍රවාහනය, විදුලිය ඇතුළු සියලු දේවල් අහිමි කර ගත්තේ ඔය තීන්දුව අරන් මාස කිහිපයක් ගත වෙද්දීය.

ඩොලර් අර්බුදය 2021 ඔක්තෝබර් වෙද්දී පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒ මදිවාට මේ මුදල් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන්නට තීන්දු කර තිබුණි. ඒ වෙද්දීත්, විදුලිබල මණ්ඩලය දැවැන්ත ණය කන්දක සිර වී සිටි බව සිහිපත් කරන්නට දෙයක් නොවේ.

මෙම ඩොලර් මිලියන සිය ගණන ගෙවන්නට සිදුව තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයටය. ජනතාවට අති දැවැන්ත විදුලි බිල් පටවන ලංකා විදුලිබල මණ්ඩලයටය. නීත්‍යානුකූලව මේ මුදල ගෙවන්නට ශ්‍රී ලංකා රජයට හේතුවක් නැත. ඒ අනුව, මේ සිදුවෙමින් පවතින්නේ විදේශ රාජ්‍යයක සමාගමකට, කිසිදු පදනමකින් තොරව මුදල් පුද දැමීමය.

එහෙත්, උමා ඔයේ කතාව මෙතැනින් නතර නොවේ. එහි වංචනික සහ බරපතල ස්වභාවය එතැනට සීමා නොවේ. තවත් බරපතල ගැටලුවක් ගැන අපට කියන්නට ඇත. ඒ සඳහා අපි ඉදිරි සතියකට යොමු වෙමු.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment