ලාභ ලබන පෙට්‍රල් මිල යළි නග්ගපු රහස එළියට

5137

තෙල් සංස්ථාව මේ වනවිට විශාල ලාභයක් ලබමින් තිබියදී පෙරේදා (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමා ඇත්තේ දැනට දැරීමට සිදුවන විවිධ වියදම් පියවා ගැනීමට යැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් හෙළිකර සිටී.

මෙරට සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් පෙට්‍රල්, ඩීසල් ලෙස නිමි ද්‍රව්‍ය ලෙස ආනයනය කරන බවත් එම ආනයන කටයුතුවලදී ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු, නැව් ගාස්තු පියවා ගැනීමට නම් පෙට්‍රල් මිල රුපියල් තිහකින්වත් ඉහළ දැමිය යුතු බවටත් අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගත් බව ද එම නිලධාරියා කීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනයට අනුව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළේ නම් ඒ මිලට අනුව මෙරට සියලු ඉන්ධන වර්ගවල මිල උච්චාවචනය වන බව ද හෙතෙම පැවසීය.

ඉකුත් ජූලි මස පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 159 ක් ලෙස සඳහන්ව තිබූ බවත් මේ වනවිට බැරලයක මිල ඩොලර් 105 ක් පමණ වන බවත් එම නිලධාරියා කීය. කෙසේ වෙතත් පෙර මාසයට සාපේක්‍ෂව බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.5 කින් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා කීය.

පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක චමින්ද හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඒ මහතා කියාසිටියේ ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් මිල ඉහළ දැමූ බවයි. මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ පිරිපහදු නිෂ්පාදන ලෙස ආනයනය කරන බැවින් ඒ සඳහා යන වියදම් පියවා ගැනීම සඳහා රජය මෙම තීරණය ගත් බව ද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියාසිටියේ මිල සූත්‍රය ක්‍රියාත්මක කළේ නම් අනෙක් ඒවාද අඩු වැඩි කළ යුතු බවයි.

මේ වනවිට තෙල් සංස්ථාව රුපියල් කෝටි 800 (බිලියන 8) ක් ලාභ උපයන බව කියමින් ඉකුත් දෙසැම්බර් මස කෝටි 200 ක් වැයකර සේවකයන්ට ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බව ද ඒ මහතා කීය.

මේ වනවිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 75 ක්ද, ඩීසල් ලීටරයකින් රුපියල් 60 ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 155 ක් ආදී වශයෙන් ලාභ ලැබෙන බව ද ආනන්ද පාලිත මහතා කියා සිටී.

ඉන්ධන මත බදුබර පටවා තෙල් සංස්ථාව බැංකුවලට මසකට ගෙවිය යුතු රුපියල් කෝටි 100 (බිලියනයක) පොලීද ජනතාව මත පටවා අනෙක් පව් ටිකද ජනතාව මත පටවමින් පෙට්‍රල් මිල ඉහළ දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.

මේ මිල ඉහළ දැමීමට හේතුව වගකිවයුතු අය ජනතාවට හෙළි කළ යුතු බව ද ඒ මහතා කීවේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment