ආයෝජන ‘අප්’ කරන්න ජනපතිගෙන් ආයතන 54ක්

110

රටේ ‘ව්‍යාපාර හිතකාමී පරිසරයක්’ නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය සැලැසුම් කර තිබේ.

මෙමගින් ආයෝජනවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සරල කිරීම, ඒ සඳහා ගතවන කාලය අවම කිරීම සහ අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ. ඒ අනුව කාර්ය සාධක බළකා වෙත විධිමත් කාර්ය භාරයක් පවරා ඇති අතර ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ.

ව්‍යාපාර ප්‍රවේශය පහසු කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නීතිමය පද්ධතීන් යාවත්කාලීන කිරීම සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සාධක බළකාය ද ඊට ඇතුළත්ය.

මෙම කාර්ය සාධක බළකාය මගින් ඩිජිටල් අත්සන් පද්ධතියක් ඇති කිරීම, සමාගම් පනතට අවසන් ප්‍රතිලාභීන්ගේ අයිතිය ඇතුළත් කිරීම සහ සමාගම් රෙජිස්ට්‍රාර් විසින් භාවිතා කරන පවතින ආකෘති සරල කිරීම වැනි ප්‍රධාන සේවා ලබා දීම සිදු කෙරෙයි.

ඉඩම් ලියාපදිංචිය, අවශ්‍ය සහතික සහ අදාළ ගෙවීම් සම්බන්ධ පියවර වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ‘දේපළ ලියාපදිංචි කිරීමේ’ කාර්ය සාධක බළකායක් ද ස්ථාපනය කිරීමට නියමිතය. මිනුම්පති දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඇතුළු ආයතන හතකින් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වනු ඇත.

ඔප්පු හිමිකම් සෙවීම්, විද්‍යුත් ඔප්පු ලියාපදිංචි කිරීම සහ ගොඩනැඟිලි/වීදි රේඛා සහතික ලබා ගැනීම සඳහා ගතවන කාලය, පිරිවැය සහ ක්‍රියා පටිපාටි අවම කිරීම සඳහා ඊ-ඉඩම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙම කාර්ය සාධක බළකාය මගින් සිදු කරනු ලබයි.

එම කටයුතු මූලික වශයෙන් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම කෙරෙහි කාර්ය සාධක බලකාය අවධානය යොමු කරනු ඇති අතර හිමිකම් විස්තර උපුටා ගැනීම සඳහා මාර්ගගත පහසුකම් ඇති කිරීම, මුද්දර ගාස්තු ගණනය කිරීම සහ ඔප්පු ලියාපදිංචියට මාර්ගගත පහසුකම් සැලසීම, ඉඩම් ලේඛනයට ඇතුළත් සැලැස්ම වෙබ් අඩවියට මුදා හැරීමට සිදු කරනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment