ශ්‍රීලනිප මූලස්ථානයට දෙපිලම අගුල් දමති

254

ගේට්ටුවේ යතුරුත් අතුරුදන්!

පොලිසියේ දැනුම් දීමට මිත්‍රපාලලා ඩාර්ලි පාරට ගියත් සිරිපාලලා නොඑති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (09දා) පොලිසිය සමග ගොස් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා මහ ලේකම්වරයා සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

ශ්‍රීලනිප මූලස්ථානයේ තිබුණු ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට මහ ලේකම්වරයා විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කිසිවකුටවත් ගොඩනැඟිල්ලට ඇතුළුවීමට නොහැකි වන පරිදි ඉබි යතුරු දමා වසා දැමීමට කටයුතු කර තිබුණි.

මේ අතර පෙරේදා (08දා) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ඇමැති මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති රැස්වීමකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන ශ්‍රීලනිප සභාපති ලෙස පත්කර ගන්නා ලදී.

වැඩ බලන ශ්‍රීලනිප මහ ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා පොලිසියේ දැනුම්දීමක් මත ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණි අතර එම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසටද පැමිණෙන ලෙස පොලිසිය දන්වා ඇත.

නමුත් මිත්‍රපාල මහතා ඇතුළු පිරිස පැමිණ සිටියද නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පාර්ශ්වය එම අවස්ථාවේ එහි පැමිණ සිට නැත. එහිදී එම පිරිස සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය මෙහිදී දැනුම් දුන් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

එහෙත් එම අවස්ථාවේ ශ්‍රීලනිප මූලස්ථානය විවෘත කිරීමට පොලිසියට වසන ලද ගේට්ටුවේ ඉබි යතුරු සොයාගැනීමට නොහැකිවීම නිසා වැඩබලන ලේකම් මිත්‍රපාල මහතා ඇතුළු පිරිස සහ පොලිසිය අතර බහින්බස් වීමක් ඇතිවිය.

අනතුරුව මිත්‍රපාල මහතා විසින් ගෙනෙන ලද ඉබි යතුරක්ද ගේට්ටුවට දැමීමට කටයුතු කරනු ලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මෙසේ කියා සිටියේය.

අපිට දහයට එන්න කිව්වා. ලියකියවිලි අස්ථානගත කරපු පිරිස තවම නැහැ. ගේට්ටුවේ යතුරුත් අරගෙන ගිහිල්ලා. මෛත්‍රිපාල සිරිසේන මහතාට පැනවූ වාරණ නියෝගයට අපි 18 වැනිදා නීතිමය කටයුතු ඉදිරිපත් කරන ගමන් එදිනම මෙම පත්වීම්වලටත් එරෙහිව නීතිමය පියවර ගන්නවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගත් නව තීන්දු පිළිබඳව කොමිසමට ලබාදුන් තොරතුරු අධ්‍යනය කර අවසන් තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා වීරකුමාර දිසානායක යන මහත්වරු පෙරේදා (08දා) සවස මැතිවරණ කොමිසම වෙත ගොස් දේශපාලන මණ්ඩලය ගත් නව තීරණ පිළිබඳව දැනුම් දෙනු ලැබීය. මේ අතර නිමල් සිරිපාල පාර්ශ්වයේ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ තමන් එවැනි අගුලක් නොදැමූ බවය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment