මට දැන් දිගටම රඟපාන්න පුළුවන් – හිරාන් යට්ටෝවිට

176

විවාහයෙන් පස්සෙ මගේ රඟපෑම් නැවතුණා

ඔහු නමින් හිරාන් යට්ටෝවිට. දක්ෂ නිරූපණ ශිල්පියෙක්. ඊට පසුව රූපවාහිනියෙන් වගේම රිදී තිරයෙන් ද දකින්න ලැබුණා. හැබැයි විවාහයෙන් පසුව මොහු වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඔන්න දැන් ආයෙමත් වැඩ පටන් අරගෙන කියලා ආරංචියක් ලැබුණා. මොනවද කරන වැඩ කියල දැනගන්න අපි හිරාන් සමග සංවාදයකට එකතු වුණා.

● හිරාන් කාලෙකින් වැඩ පටන් අරගෙන?

කලාව කියන්නෙ මම ආශාවෙන් කරපු දෙයක්. නිරූපණයෙන් මම ලංකාවෙ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා තරග කරල තියෙනවා. ඊට පස්සෙ මම සිනමාවටත් ආවා. විවාහයෙන් පස්සෙ මගේ කලා කටයුතු නැති වුණා. ඒ කියන්නෙ අවුරුදු හතක්.

මට දැන් දිගටම රඟපාන්න පුළුවන් - හිරාන් යට්ටෝවිට

● ඇයි මේ එක්වරම නිරූපණය, රඟපෑම අතහරින්නේ?

එක්වරම මම මේ දේවල්වලින් ඈත් වෙන්නේ මගේ විවාහයත් එක්කයි. මගේ බිරිඳ හිරුණිකා කාර්යබහුල චරිතයක්. ඒ කාර්යබහුලත්වයත් එක්ක මමත් කාර්යබහුල වුණොත් අපිට පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි. ඒ වගේම මම රඟපානවාට නෝනගෙත් අකැමැත්තක් තිබුණා. මොකද නළු නිළියො එක්කනේ වැඩ කරන්නේ.

● හිරාන් ලස්සන ගැහැනු ළමයි එක්ක රඟපානවාට හිරුණිකා අකැමැතිද?

ඒක ඇයගෙන් තමයි අහන්න වෙන්නේ. ඕව ඉතින් සාමාන්‍ය දේවල්නේ. ඒකත් ඉතින් එක හේතුවක් වෙන්න පුළුවන්.

මට දැන් දිගටම රඟපාන්න පුළුවන් - හිරාන් යට්ටෝවිට

ක්‍ෂේත්‍රයෙන් ඉවත්වීම දුකක් ද?

ඇත්තටම මට දුකක් නැහැ. මම ඉවත් වුණේ දරුවො තුන්දෙනා වෙනුවෙන් වැඩිපුර කාලය කැප කරන්න. මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්න අකැමැති චරිතයක්. මම කැමැතියි නිදහසේ ඉන්න.

● දැන් දිගටම රඟපෑමට සූදානම් ද?

දැන් මට දිගටම රඟපාන්න පුළුවන්. ඒ වගේම ලොකු කැමැත්තක් තියෙනවා රඟපාන්න. විශේෂයෙන් රඟපෑමට තමයි කැමැති. නිරූපණ ක්‍ෂේත්‍රයේ දැන් අපි ප්‍රවීණයෝ විදිහට තමයි ගණන් ගන්නේ. මට රඟපෑමෙන් තමයි ඉදිරියට යන්න ඕනෑ. ඊට අමතරව මම මගේ ව්‍යාපාර කටයුතුවලටත් මූලිකත්වය ලබාදීලයි තියෙන්නේ.

● මොනවද රඟපෑමට ලැබුණු ආරාධනා?

දැනට ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. මේ දවස්වල මම ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහත්මයාගේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මමයි රොෂාන් රණවනයි රිතූ ආකර්ෂායි තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ.

● මේක ඔබේ කීවැනි සිනමා රංගනය ද?

මම රඟපෑ චිත්‍රපට දෙකක් තිබෙනවා. ඒ එකක්වත් තවම තිරගත වුණේ නැහැ. එක චිත්‍රපටයක් ලංකාවෙ වගේම අනෙක් චිත්‍රපටය ඇමරිකාවෙ ලොස්ඇන්ජලීස්වල රූගත කිරීම් සිදු කළේ. මගේ පළමු චිත්‍රපටයත් ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ.

දෙවැනි එක රෝයි ද සිල්වා මහත්මයාගේ. හැබැයි ඒ දෙකම තිරගත වුණේ නැහැ.

● ටෙලි නාට්‍ය රංගනය ගැන කතා කළොත්?

මම ටෙලි නාට්‍ය තුනකට විතරයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. අනික අපි නිරූපණ ක්‍ෂේත්‍රයෙන් නමක් හදාගත්තු අයනේ. ඒක ඉතින් එක්වරම වට්ට ගන්න බැහැ. ඒක හින්දා චරිත තෝරගන්නකොට හරි පරිස්සම්.

● නිරූපණය සහ රඟපෑම අතර වෙනස කොහොමද දැනුණේ?

මම නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නකොට වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට සහභාගි වුණා. ඒ හරහා මට කැමරාවට තිබුණ බය නැති වුණා.

● පවුල් ජීවිතය කොහොමද?

මේ වෙනකොට මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා එවින්. දුවල දෙන්නගෙන් දෙවැනියා දිනංගා, තුන්වැනියා රොනායා. පුතා පාසල් යනවා. දුවල දෙන්න මොන්ටිසෝරි යනවා.

අපිට එහෙමට කියලම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. ඇත්තම කිව්වොත් කාර්යාල සේවයට යන අය අපිට වඩා කාර්යබහුල වන අවස්ථා තිබෙනවා.

● සමහර වෙලාවට හිරුණිකාට එල්ල වන මඩ ප්‍රහාර ගැන මොකද හිතෙන්නේ?

ඒකටත් අපි දෙන්නම පුරුදු වෙලා තියෙන්නේ. අපි දෙන්නම එකතු වෙලා තමයි අපේ පවුලේ තීරණ ගන්නේ. ඉතින් අපි ඔය දේවල් ගැන වැඩිය හිතන්නෙ නැහැ.

● ඔබට ගෝල් එකක් තියෙනවාද?

ගෝල් ඉතින් ඕනෑම කෙනකුට තියෙනවානේ. ඒක මට මේ වෙලාවෙ කියන්න බැහැ ඉතින් මටත් ජීවිතයේ ඉලක්ක රැසක් තිබෙනවා. මොකද මගේ නෝනට, මට වඩා ලොකු ගමනක් තියෙනවා.

● හිරාන් දේශපාලනයට එනවා ද?

නැහැ. ආරාධනා ඇවිත් තිබෙනවා. මගේ සීයත් දේශපාලනය කරපු චරිතයක්. මගේ මාමත් දැනට දේශපාලනයේ නිරත වෙනවා. මගේ නෝනත් දේශපාලනය කරනවා. ඉතින් මමත් කළොත් ඕක කැඳ හැළියක් බවට පත්වෙන්න පුළුවන්. විශේෂයෙන් මට වඩා හිරුණිකා කැමැති නැහැ මම දේශපාලනයට එනවට. එයා කියල තියෙන්නේ මම මේක කරනවා, ඔයා ඔයාගේ වෘත්තිය කරන්න කියලයි. ඡන්දය ඉල්ලනවා කියල විහිළුවට කිව්වත් බනිනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment