රේස් කරත්තයට බඳින ගොනෙක්ගේ වටිනාකම දැන් රුපියල් ලක්ෂ දහයකට වැඩිය. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමග තම කර මතින් භාණ්ඩ ප්‍රවාහනය කළ මිනිසා පසුව හීලෑ කළ සතුන් තම භාණ්ඩ ප්‍රවාහනය සඳහා එක්කර ගන්නේය. පසුව තම නිෂ්පාදනයන් ඉහළ යෑමත් අවශ්‍යතාවයන් වැඩිවීමත් සමග, රෝදය සොයාගන්නා ඔවුන්, අනතුරුව තමන් ලද අත්දැකීම් තුළින් ඇක්සලය නිර්මාණය කර, වට රෝද සවිකර කරත්තය නිර්මාණය කර තම භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් බව ප්‍රවාහනයේ ආරම්භය හා පරිණාමය පිළිබඳව පර්යේෂණ කළ ලොව පුරා විද්වතුන්ගේ මතයයි.

දසදහස් තිරික්කල් ලබ්බති

කරත්තයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. මෙරට මෙන්ම ඉන්දියාව වැනි රටවල ගොනුන් විසින් අදින කරත්ත මෙන්ම අලින් විසින් අදින විශාල කරත්ත තිබී ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි . වෙළෙඳාම් කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගොනුන් විසින් අදිනු ලබන කරත්තය ප්‍රධාන තැනක් ගත් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. පන්සිය පනස් ජාතකයේ, අපණ්ණක ජාතකයේද බෝධිසත්ත්වයන් වහන්සේ ගැල් පන්සීයක් පිරිවරා වෙළෙඳාමේ ගිය පුවත අප අසා ඇත්තෙමු.

අතීතයේ මෙන්ම මීට දශක කිහිපයකට පෙරදීත් ශ්‍රී ලංකාව තුළ එතරම් යාන වාහන නොතිබුණු වකවානුව තුළත්, කරත්තයට හිමි වූයේ බොහෝ වැදගත් ස්ථානයකි. බරකරත්තය බරබාගය, බක්කි කරත්තය ,ගොං කෝච්චිය ආදී කරත්ත අතුරින් තිරික්කලයට හිමි වූයේ ඉතා සුවිශේෂී ස්ථානයකි. වේගයෙන් යා හැකි පරිදි ඉතා සැහැල්ලුව නිර්මාණය කර ඇති මෙය, අතීත සමාජයේ ප්‍රභූන් ධනවත් පුද්ගලයන් අතරේ ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත.

රේස් තිරික්කලය තරමක් කුඩා වේ. සාමාන්‍ය බක්කි කරත්තයට දුනුකොළයක් තිබුණත්, රේස් තිරික්කලයට එවැන්නක් නොමැත.

අද ලැම්බෝගිනි පැද්දට ඒ දවස්වල යමක් කමක් තියන අය පැද්දේ තිරික්කල්

වර්තමානයේ ලැම්බෝගිනි ඇතුළු අති සුඛෝපභෝගී රථවලින් ගමන් කරන තරුණයන් මෙන්, අතීතයේ ධනවත් තරුණයන් අතර ජනප්‍රිය වාහනයක් වී ඇත්තේ රේස් තිරික්කලයයි.

අතිතයේ සමාජයේ ධනවත් තරුණයන්ගේ තිරික්කල් සමාජ තිබී ඇති බව හා ඔවුන් රේස් පැදීම මෙන්ම උත්සව වලට සහභාගිවීම හා විනෝද ගමන් යෑම සඳහාත්, රේස් තිරික්කල් භාවිතා කර ඇති බව ජනප්‍රවාදයේ පැවත එයි.

අතීතයේ තිරික්කල් සඳහා දේශීය බටු ගොනුන් භාවිතා කර ඇති අතර මෙම සතුන්, ගැමියන් විසින් සිංහල ගොනුන් ලෙස හඳුන්වා ඇත. මනා ශක්තිසම්පන්න, දරාගැනීමේ ශක්තිය හා ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ද ජීවත්වීමේ වැඩි ආයුෂ ප්‍රමාණයක් ද මෙම සතුන් සතුව තිබී ඇති බව, වර්තමානය තුළ තිරික්කල් භාවිතා කරන්නන් සඳහන් කරන්නේය. අද වනවිට දෙමුහුන් ගොනුන් යොදා ගත්ත ද එය අසාර්ථක බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

තිරික්කලය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපත මහතා සදහන් කරන්නේ, කරත්ත සම්ප්‍රදායේ කරත්ත වර්ග ගාණනාවක් තියෙනවා. ඒ බොහෝ කරත්තවල අපිට මුල් පදනම් වැටිලා තියෙන්නේ ඉන්දියානු මූලයකින්. එකට හේතුව එක කලාපයක සමීප සංස්කෘතික අත්දැකීම් ඔස්සේ තමයි ඒවා හැදිලා තියෙන්නේ. කරත්තවල නාමකරණයන් දෙස බැලූ කල අපට හඳුනාගත හැකියි තිරික්කල් කියන එක. සම්පූර්ණයෙන්ම වචනය දමල එහි අර්ථ දෙකක් තියෙනවා. එකක් සැහැල්ලු කරත්ත කියන එක, අනික වේගයෙන් යන කියන අදහස. නමුත් එහි තාක්ෂණික භාවිතාව ඉන්දියානු ක්‍රමවේදයට වැඩිය අපේ ක්‍රමවේද අතර විශාල වෙනසක් තියෙනවා. ඕනෑම රටක ස්වභාවයක් තමයි අත්දැකීම් මත සමාජ පරිසරයට ගැළපෙන විදිහට තාක්ෂණය සකස් කර ගැනීම. එහිදී අපි භාවිතා කරන ලී වර්ග අතර බෝල්ලීය ගත්තොත් ඉතාමත්ම සැහැල්ලු ලීයක් තමයි භාවිතා කරන්නේ. ඒ සියලු දේවල් සිද්ධ වෙන්නේ අපේ උදවිය ලබපු අත්දැකීම් මතයි.

මේ සඳහා වෙනම ගොන්නු පුරුදු කළ යුතුයි. සාමාන්‍යයෙන් බක්කි කරත්තයට බරබාගයට බරකරත්තයට බඳින ගොනුන් තිරික්කලයට බඳින්න බෑ. ඒ සඳහා වෙනම සැහැල්ලු ගොනුන් පුරුදු කළ යුතුයි.

තිරික්කලයේ මුල් අවධිය දෙස බැලූවහම එක සමාජ පංතික ප්‍රජාවක් තමයි තිරික්කල භාවිත කරල තියෙන්නේ.උදාහරණයක් ගත්තොත් වර්තමානයේ ත්‍රිරෝද රථයක්, කුඩා මෝටර් රථයක් වගේ දෙයක් පොදු සමාජයට අයිතියි. නමුත් සුපිරි වාහන හැමෝටම නෑ. ඉහළ පන්තියේ වාහනයක් මිලදී ගන්න පුළුවන් ධනයෙන් ආඪ්‍ය වෙච්ච අයට විතරයි. තිරික්කලයත් ඒ වගේ තිබිච්ච එකක් තමයි. සාමාන්‍ය ප්‍රභූන් ග්‍රාම නායකයන් වගේ තමයි තිරික්කල් භාවිතා කළේ.

අද ලැම්බෝගිනි පැද්දට ඒ දවස්වල යමක් කමක් තියන අය පැද්දේ තිරික්කල්

තිරික්කල් ගැන ජනප්‍රවාදයේ රසවත් ජනකතා ද ඇත්තේය. දිනක් භික්ෂූන් වහන්සේ නමක් ගම්මුලාදෑනියකුගේ නිවසේ පැවැති ධර්ම දේශනා කටයුත්තකට සහභාගිවන අතර, එහිදී ගම්මුලාදෑනියාගේ නිවසේ තබා තිබූ තිරික්කලයක් එම භික්ෂුව දකිනවා. භික්ෂුව එය ලබාගැනීමේ අදිටනින් කරත්තය ගැන තමයි එදා ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. ඒකෙදි භික්ෂූන් වහන්සේ ‘ඒක තිරික්කලංච දානං වේතී දසදහස් තිරික්කල් ලබ්බති’ කියලා ධර්ම දේශනාව අවසන් කළාලු. ඒත් සමග රැස්ව සිටි පිරිස් සාධුකාර දුන්නේලු. මේ බණ පදයට පැහැදුණු ගම්මුලාදෑනියා වලව්වේ තිබූ තිරික්කලය භික්ෂූන් වහන්සේට දන් දුන් බව අතීත ජනකතාවේ සඳහන් වෙයි.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයෙන් පසු, මිනිස් අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය වූ කරත්තය ක්‍රමයෙන් විකාශනය වී රේස් තිරික්කලය ද පසුකර නවීන රථ වාහන භාවිතයෙන් තම අවශ්‍යතා සපුරා ගන්නා මට්ටමට මිනිසා පත්ව ඇත . එහෙයින් රේස් තිරික්කලය වර්තමානයේදී දැකීමට දුර්ලබය. අවුරුදු කාලයට පමණක් කරළියට එන රේස් තිරික්කල්කරුවන්ගේ කතන්දරය සොයා යන්නට අප සිතුවෙමු.

එහිදී අපට රට පුරා විසිර සිටින අතළොස්සක් වූ තිරික්කල්කරුවන් පිරිස එක්ව සැදුම්ලත් තිරික්කල් සමාජයක සාමාජිකයන් මුණගැසී තිරික්කලයේ රසමුසු තැන් මෙන්ම දුක්මුසු තැන් පිළිබඳව කතාබස් කරන්නට අවකාශය සැලසුණි. ඒ කහතුඩුව ප්‍රදේශය නියෝජනය කරමින්, තිරික්කල් සමාජයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අසංක වල්පොල මහතාගේ මැදිහත්වීමෙනි.

තිරික්කලයට ගොනකු බැඳ රේස් එකකට ඉදිරිපත් කර දිනවීම මහත් වෙහෙසකර වූ කැපවීමක් තුළින් සිදුකළ යුත්තකි. සතකුගේ ආහාර රටාවේ සිට පුහුණු කිරීම් හා සියලු සාත්තු සප්පායම් ඒ සඳහා බලපාන්නේය.

කඩුවෙල පදිංචි පාරම්පරික තිරිකල්කරුවකු වන වසන්ත ලැනරෝල් මහතා, තිරික්කලය කියන්නෙ අපේ සංස්කෘතියට මෑතකදී දායාද වෙච්ච හොඳ දෙයක්. ආදි කාලේ තිරික්කල් තරග කියන එක තිබුණේ නෑ. ඉස්සර ප්‍රධාන දේවාල හතරක් තිබුණා. නවගමුව, ,කොරතොට, කඩුවෙල කියන දේවාලවල මඩු උත්සවයට ලංකාව පුරාම කරත්ත ඔක්කොම එනවා. බරකරත්ත දෙසීයක් තුන්සියයක් විතර එනවා. පවුල් පිටින් එන්නේ. රබන් ගහගෙන විරුදු කියාගෙන දුර පළාත්වල ඉඳන් එනවා. කට්ටිය ඇවිල්ලා නැවතිලා උයාගෙන පිහාගෙන කාලා බාරහාර ඔප්පු කරලා පහුවදාට තමයි පිටත්වන්නේ. තිරික්කල කාරයොත් එනවා උත්සව වලට සහභාගි වෙලා බාරහාර ඔප්පු කරලා, කඩුවෙල නවත්තලා එතැන ඉඳලා හැතැක්ම තුනහමාරක්, හතරක් විතර සුහදව ගොනුන් ටික එළෝනවා. අද වගේ නෙමෙයි තිරික්කල් සීයක් විතර එනවා. ඊට පස්සෙ තමයි අවුරුදු උත්සව වලට මේ තරග ඇවිත් තියෙන්නේ.

අද ලැම්බෝගිනි පැද්දට ඒ දවස්වල යමක් කමක් තියන අය පැද්දේ තිරික්කල්

දැං වාහන අදින හපුතල් කන්දෙත් කරත්තෙ දක්කලා තියෙනවා

මගේ තාත්තා හින්දා තමයි මම තිරික්කල්වලට ආදරේ කරන්න පටන් ගත්තේ. තාත්තා විනෝදයට කරපු එකම දේ තමයි තිරික්කල් රේස්වලට ගොනුන් බඳින එක. එයා වෙන කිසි දෙයක් කරේ නෑ. ඒ ආභාසය තමයි අපිට ආවේ.

තලංගම වැව ළඟ ගොවිගෙදර සරණපාල ගොවි මහතා,

තිරික්කලයට හැම ගොනෙක්ම බඳින්න බෑ. ගොනුන් සීයක් ගත්තොත් එකෙක්වත් බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා රේස් කරත්තයට බඳින ගොනෙක්ගේ වටිනාකම දැන් රුපියල් ලක්ෂ දහයකට වැඩි වෙනවා. අනික නිකං බඳින්නත් බෑ. වසු පැටියෙක් තිරික්කලයට බඳින්න පුරුදු කරගන්න සැතපුම් 250කට වැඩි දුරක් පුරුදු කරන්න ඕනේ සතියට දවසක් සැතපුම් පහක් විතර ශක්තිය ඇති තරුණයො දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ගිහිල්ලා එයාට පාර කියලා දෙන්න ඕන. අලුත් මාර්ග නීති රීති අනුව පුරුදු කරන්න ඕන. ඉරි දෙක කපන්න බෑ. ඉස්සර කරන විදිය, පාරෙ යන විදිය, වාහනයක් ආපුවාම ඉඩ අරගෙන යන විදිහ, වාහනයක් හෝන් කරහම ඉඩ දෙන විදිහ ඇතුළු සියලුම දේවල් පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි කරත්තෙ අතහැරලා බය නැතුව යන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනකොට එයාට පැයට කිලෝමීටර් තිස්පහක හතළිහක වේගයෙන් යන්න පුළුවන්. එක ගවයෙකුට දවසකට රුපියල් දහසකවත් අඩුම ගාණෙ වියදමක් දරන්න ඕන. මොකද කෑම හරියට දෙන්න ඕනේ. කොල්ලු, කුරක්කන්, විටමින් වර්ග, පශු වෛද්‍ය උපදෙස් හරියාකාරව තිබුණොත් තමයි සතා හොඳට දුවන්නේ. ලංකාවේ කොහේ හරි රේස් එකක් තියෙනකොට ගෙනියන්නෙ ලොරිවල. අපි සතාට ලොරියක යන විදිහ පවා පුහුණු කරන්න ඕනේ. පුරුදු කළාට පස්සේ ගොනා හරි කැමතියි රේස් එකට යන්න. ලොරි හිමියා ලොරි ගෙනැල්ලා පාන්දර හතරට හෝන් එක ගහනකොට ගෙදර අයිතිකාරයට කලින් ගොනා නැගිටලා. අපි උදේට මෙයාට කිරි දෙනව බොන්න, කොල්ලු වතුර දෙනවා බොන්න. එහෙම කරල තමයි රේස් එකට එක්කගෙන යන්නේ.

ගොනෙකුට ගහන ලාඩං කට්ටලය රුපියල් 2500 ක් විතර වෙනවා.ඒකෙන් පුළුවන් කිලෝමීටර් පහළොවක් දුවන්න විතරයි. ඒ නිසා මේ වැඩේට විශාල වියදමක් දරන්න වෙනවා. අවුරුද්දකට ලක්ෂ තුනහමාරකට වැඩිය සතෙකුට වියදම් වෙනවා. තලංගම වැවේ ගොවිගෙදර අපි කරනවා ඒක. මේක කරන්නෙ වැදගත් මිනිස්සු වැදගත් ආකාරයට. අපි පොඩි කාලෙ ඉඳන්ම ගමන් බිමන් ගියේ, සියලු වැඩ කරගත්තේ කරත්තෙන්. හැත්තෑ අටෙන් පස්සෙ තමයි ලොරි, ට්‍රැක්ටර් ආවේ. ලංකාවේ කරත්ත තිස්පන්දාහක් වැඩ කරලා තියෙනවා කොළඹ නගරෙ.

පව් කළ ගොනෝ ඇදපන් හපුතල් කන්ද

ඒකෙන් කියැවෙන්නේ දැං වාහන අදින හපුතල් කන්දෙත් කරත්තෙ දක්කලා තියෙනවා.

සතෙක් මැරුණහම සුදු රෙද්දකින් ඔතලා පාංශුකූලෙ දෙනවා. හරකට තියෙනවා ගොම්මන් වෙලාව කියලා වෙලාවක්. ගොම්මන් වෙලාව කියන්නේ කරුවල වැටෙන්න එළිය අඩු වෙච්ච වෙලාව. හයයි ගාණට වගේ කාල හෝරාව. ඒක තමයි, කාලා ගොනුන් පාරට වැටෙන වෙලාව. හරකා කාලා බඩ පුරෝගෙන ඉන්න තැනට එන්නේ ගොම්මන් වෙලාවේ.

අපි මේ සත්තු වයසට ගියහම මස්කඩකාරයන්ට දෙන්නේ නෑ. අපි මේ සතෙක් මැරුණහම සුදු රෙද්දකින් ඔතලා හාමුදුරුවො වඩම්මලා පාංශුකූලෙ දීල තමයි වළලන්නේ. සතා වෙනුවෙන් දාන මාන දෙනවා. පවුලේ කෙනෙක් හා සමානව සලකනවා. අවුරුද්දට තෙල් ගාන දවසට එයාලවත් එක්කගෙන යනවා. සමහරු මේ පිළිබඳව දන්නේ නැති හින්දා තමයි මෙ තිරික්කල් රේස්වලට අකුල් හෙළන්නේ.

මෙම තිරික්කල් යටගියාව දෙස බැලූ කල ලංකාවේ ප්‍රසිද්ධ ගවයන් සිට ඇති අතර, ඇතැම් තිරික්කල් තරගවලදී රාජ්‍ය නායකයන්ගෙන් පවා පිදුම් ලැබූ තිරික්කල් හිමියන් සිටියේය. ඒ සම්බන්ධයෙන් ද ගොවිගෙදර සරණපාල මහතා අදහස් දැක්වීය. අපේ ගමේ හිටියා හිඟන්නා කියලා ගවයෙක්. බොහොම දක්ෂ සතෙක් ඩී. එස්. සේනානායක මහත්තයාගෙන් පවා සම්මාන ගත්තා. මේ තිරික්කල් ක්‍රීඩාව එච්චර පරණයි. සහ ගෞරවාන්විතයි. කෙතේගෙදර හිටියා වෛරා කියලා ගොනෙක්. අපි ගාව හිටියා තලංගම වැවේ සුදා කියලා. තාමත් ජීවතුන් අතර ඉන්නවා. ගොවි ගෙදර වාසනා, එයා දැන් වයසයි. ඒත් එයාට කන්න බොන්න දීලා අපි බලාගන්නවා. මේ සතුන් දැනට ලංකාවේ ප්‍රසිද්ධයි.

තිරික්කලයේ වගතුග සොයා යන ගමනේදී අපට අසන්නට දක්නට ලැබුණේ, කෙතරම් කෙණෙහිලිකම් බාධක හමුවේ වුවද වර්තමානයේදී තිරික්කල් හා බැඳුණු, එයට ඇලුම් කරන විශාල පිරිසක් තිරික්කලේ හෙට දවස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බවයි .

වර්තමානය වන විට තිරික්කලයට මෙන්ම තිරික්කල් ක්‍රීඩාවට කණකොකා හඬමින් සිටින බව මෙම තිරික්කල්කරුවන් පවසන්නේය .ඇතැම් සංවිධානවල අකුල් හෙළීම්, මාර්ග ධාවනයේදී ඇතිවන නීතිමය බාධාවන්, මෙම ක්‍රීඩාව ඉදිරි පරම්පරාවට ගෙනයෑමට හා දැකබලා ගැනීමට ඇති අවස්ථාවන්වලට බාධාවක් වී ඇති බව ඔවුන් සඳහන් කරන්නේය.

තිරික්කලයේ හෙට දවස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන කහතුඩුවේ අසංක වල්පොල මහතා,

ගොඩක් වෙලාවට පුරුදු වෙන්න වගේ දේවල් වලට තිරික්කල බඳින්නේ අපි ඉරිදට. ඉරිදා දින පෝය එනවනම් සෙනසුරාදා උදේට පොඩ්ඩක් බඳිනවා. තිරික්කල අපි පුරුදු කරන්නේ කිලෝමීටර් පහයි. මේ හොඳම සතෙකුට කිලෝමීටර් පහ දුවන්න යන්නේ විනාඩි දහයයි. අන්තිම සතාත් විනාඩි පහළොවක් යනකොට ඉවර කරනවා. අනික අපි පාරෙ යන කිසිම වාහනයකට කරදරයක් කරන්නෙ නැහැ. වෙනත් වාහන ගමන් කරනවා වගේම මේ සත්තුන්ටත් මාර්ග නීති වලට අනුකූලව දුවන්න පුරුදු කරලා තියෙන්නේ. අනික ධාවනයේ යෙදෙන්නෙත් පළපුරුදු ධාවකයන්. ඉතිං අපි ඉල්ලන්නේ ඉරිදා දවසේ උදෑසන හයේ ඉඳලා වගේ විනාඩි 15ක කාලයක් පාරෙ පදින එකට අකුල් හෙළන්න එපා කියලා. අද වෙනකොට තිරික්කල්කරුවන්ට නොයෙක් අපහාස සිද්ධ කෙරෙනවා, සතුන්ට වධ දෙනවා, හිංසා කරනවා කියන කරුණු කාරණා ගැන කියලා. හැම වෘත්තීය කණ්ඩායමකම හොඳ නරක කියන දෙපැත්තක පිරිස් ඉන්නවා. හිංසා කරන පිරිස් නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් වැඩි පිරිසක් මේ සතුන්ට ආදරෙයි. පුදුම භක්තියක් තියෙන්නේ. මේක අපි කරන්නේ සද්භාවයෙන්. ගෙදර දරුවෙක් හදනවා හා සමානයි. අවුරුද්දට නැකතට කිරිබත් කාල අපි ඊළඟට කවන්නෙ මෙයාලට. අපි මේ සතුන් වයසට ගියත් බලාගන්නවා. මස්කඩේට දක්කන්නේ නෑ .ඉතිං අපි සියලුම සත්ත්ව හිංසා සංගම්වලින් ඉල්ලනවා එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න, ඕගොල්ලො ඇවිල්ල බලන්න අධීක්ෂණය කරන්න, අපි සතුන්ට වධ හිංසා කරනවද කියලා.

අද ලැම්බෝගිනි පැද්දට ඒ දවස්වල යමක් කමක් තියන අය පැද්දේ තිරික්කල්

අද වෙනකොට රට පුරා තිරික්කල් ඇතුළු කරත්ත 15000ක් විතර තියෙනවා. මම හිතන්නේ මේ තිරික්කල් හා කරත්ත ලයිසන් කරන්න අය කරන මුදල ඉතාමත්ම සුළු මුදලක්. මේකෙන් කිසි ආදායමක් නෑ. මම හිතන්නේ මේකෙ ලයිසන් එක වැඩි කරන්න ඕනේ. එතකොට ආණ්ඩුවටත් මේකෙන් සැලකිය යුතු ආදායමක් එයි. ඒ වගේම සත්ත්ව හිංසා පනතේ සත්ත්ව හිංසා සඳහා තියෙන්නේ ඉතාමත් සුළු දඩයක්. මම හිතන්නේ ඒකත් යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරානම් සත්ත්ව හිංසාවන් සිදුකරන පුද්ගලයන්ටත් වැට බඳින්න පුළුවන්. ඉතින් මම ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රටේ මේ විෂයයන් භාර ඇමතිවරු සහ වගකිවයුතු අංශවලින් ඉල්ලන්නේ මේ තිරික්කල් රේස් ක්‍රීඩාව ඉදිරි පරම්පරාවටත් රැගෙන යෑම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම සඳහා උපකාර කරන ලෙසයි.

කෙසේ වෙතත් තිරික්කල් ක්‍රිඩාවේ හෙට දවසේ සුරක්ෂිතභාවය කෙරෙහි වගකිවයුතු අංශවල අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති අතර, එහි ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයෑම තිරික්කල්කරුවන්ගේ වගකීමක්ම වන්නේය.

නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment