අම්පාර, වැලි සහ පස් මාෆියාවේ ඇත්ත කථාව

නීතියට පිටින් ගොස් පරිසරයම වනසයි

හරියට වැඩ කරන භූ විද්‍යා ඉංජිනේරුවන් පන්නන හතේ කල්ලිය

ජාවාරම්කාරයන්ගේ පදේට නැටූ හිටපු භූ විද්‍යා ඉංජිනේරුවෙක් ගෙන්වන්න සූදානමක්

වැලි සහ පස් යනු මිනිසාට ඉතා අත්‍යවශ්‍යම දෙයක් බවට පත්ව තිබේ. ඒ නිසා ඒවාට ඇත්තේ විශාල ඉල්ලුමකි. බොහෝ දෙනෙක් මේ වන විට වැලි සහ පස් ව්‍යාපාරවල යෙදී සිටිති. ඇතැම් පිරිස් නීතියට පිටින් යමින් හිතෙන හිතෙන ආකාරයෙන් තමන්ට අවශ්‍ය පරිදි වැලි සහ පස් ජාවාරමේ යෙදෙන්නේ පිස්සන් රෑනක් ලෙසිනි.

මෙවර ‘ඉරිදා දිවයින’ තුළින් අප අනාවරණය කරනු ලබන්නේ අම්පාරේ වැලි මාපියාවේ ඇත්ත කථාවයි.

වැලි සහ පස්වලට ඇති අධික ඉල්ලුම නිසා බොහෝ දෙනෙක් ඉක්මනින් ගොඩ යා හැකි මාර්ගයක් ලෙස වැලි ව්‍යාපාරය තෝරා ගන්නට පෙළඹී තිබේ. ඒ නිසා ඒ වෙනුවෙන් අදාළ ඇතැම් පහළ නිලධාරියාගේ සිට ඉහළ නිලධාරීන්ට පවා දොළ පිදේනි පඬුරු, පුද සත්කර ලබා දෙමින් බොහෝ දෙනක් ඒ වෙනුවෙන් වෙහෙසෙති.

හතේ කල්ලිය

අම්පාරේ වැලි සහ පස් බලපත්‍ර ලාභීන් 1300කට අධික සංඛ්‍යාවක් සිටිති. ඒ අතරින් 400ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ පිරිස අතරින් අම්පාරේ හතේ කල්ලිය ලෙසින් හඳුන්වන වැලි ව්‍යාපාරයේ යෙදෙන කණ්ඩායම පිළිකුල් සහගත ලෙසින් නීති රීති පයිසෙකටවත් මායිම් නොකරමින් ක්‍රියා කරන්නේ අම්පාරේ වැලි සහ පස් ව්‍යාපාරයේ ඒකාධිකාරිය තමන් සතු කරගන්නටය. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම රැසක් භාවිතා කරනු ලබයි.

ඒ ආකාරයෙන් හතේ කල්ලියේ තක්කඩි රැළට පරිසරයම විනාශ වූවාට කිසිම ගාණක් නැත. වුන්ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මණින් කෝටිපතියන්, ප්‍රකෝටිපතියන් වීමටය.

අම්පාරේ වැලි හා පස් සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනවල බොහෝ නිලධාරීන් මෙම හතේ කල්ලියේ සුවච කීකරු ගෝලයන් කරගන්නට ඔවුන් දක්ෂය. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි.

අල්ලස්, තෑගි සහ මත් පැන් සාද මෙන්ම ඇතැම් පිරිස සඳහා කාන්තාවන් පවා සපයන බවට බොහෝ දෙනෙක් පවසා සිටින්නේ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට පවා දැඩි අප්‍රසාදය පල කරමිනි. මේ ආකාරයෙන් ජාවාරම්කාරයන්ට කොටුවූ කල එම නිලධාරීන්ටද ගැළවීමක් නැත. අන්තිමේදී සිදුවන්නේ තක්කඩි පස් සහ වැලි මාෆියාකාරයන් කියනා පදේට දිගින් දිගටම නටන්නටය.

හතේ කල්ලියේ සුරතල් භූ විද්‍යා ඉංජිනේරුවා

2018 සහ 2022 අතර කාලයේ අම්පාර භූ විද්‍යා කාර්යාලයේ සේවය කරනු ලැබූ ප්‍රධාන ඉංජිනේරුවා හතේ කල්ලියේ සුවච කීකරු නිලධාරියෙකි. ඔහු හරහා මෙම පිරිස තම නෑදෑ හිතවතුන්ගේ නම්වලින් රිසිසේ වැලි සහ පස් බලපත්‍ර ලබා ගනිමින් සිය අණසක අම්පාර පුරා පතුරුවන්නට විය.

නීතිය බල්ලට ගියේය. වැලි තොටුපළවල සීමාවෙන් ඔබ්බට වැලි ගොඩ දාන්නට වූහ. ගංගා පරිසරය විනාශ කරන්නට වූහ. බැකෝ යන්ත්‍රවලින් පවා ගල්ඔය ගඟේ වැලි ගොඩ දාමින් මහා පරිමාණ ජාවාරම කරගෙන ගියහ. ජාවාරම්කරුවෝ ගල්ඔය ගංඟා කොමළිය දුෂණය කරමින් ඇයගේ රීරි මාංශයම උරා බොන්නට වූහ. එවකට සිටි භූ විද්‍යා ඉංජිනේරුවා නිහඬව එම තක්කඩි රැළට අවශ්‍ය සහය දෙන ලදී. එම සමයේ යතුරුපැදියෙන් රාජකාරි ගමන් ඇරඹූ එම ඉංජිනේරුවරයා යහමින් මුදල් උපයන්නට විය. ඒ මෙම ජාවාරම්කරුවන්ගේ පිහිටෙනි. ඔහුගේ වත්කම් පිළිබඳව සොයන්නට වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇත.

අප දිගින් දිගටම ‘දිවයින පුවතපත’ හරහා මෙම මහා විනාශය පිළිබඳව අනාවරණය කරද්දී එවකට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා අම්පාරට ආවේ මේ ගැන සොයා බලන්නටය.

අම්පාර මින්දද තානායමේදී අසේල ඉද්දවෙල මහතා සහ එවකට අම්පාර භූවිද්‍යා ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ අදාළ නිලධාරිවරයා සමග මාධ්‍ය හමුවක් තිබුණි.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ භූ විද්‍යා ඉංජිනේරුවරයාට පිළිතුරු දීමට අපොහොසත්ව අන්ත අසරණ වන ලදි. ඒ සමයේ අම්පාර භූ විද්‍යා කාර්යාලය හොර ගුහාවක් බවට පත්ව තිබුණි. ඇතැම් කාන්තා නිලධාරිනියන් පවා හිරිකිතයකින් තොරව ජාවාරම්කරුවන්ගේ රූකඩ බවට පත්ව තිබුණි. එවකට අම්පාර වැලි සහ පස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ ජවාරම්කරුවන් වූ හතේ කල්ලිය විසිනි.

ඒ නිසා සාධාරණ ලෙස වැලි ව්‍යාපාරය කළ පිරිස් අසරණ වන්නට වූහ. ඔවුන්ට මෙම මාෆියාකරුවන් කිහිප දෙනා දිගින් දිගටම බලපෑම් හා කරදර කරන්නට විය. ඒ සඳහා ඔවුන් අම්පාරේ ඇතැම් මාධ්‍යවේදීන් පවා ඉතා සූක්ෂම ආකාරයෙන් යොදා ගන්නට විය.

අම්පාරේ ඇතැම් මාධ්‍යවේදීන්ට පවා පිටස්තර අයගේ නම්වලින් වැලි බලපත්‍ර ඇති බව බොහෝ දෙනෙක් පවසා සිටින කරුණකි.

ලියුම්කරුටත් ජාවාරම්කාරයෝ වැලි තොටුපළක් දෙන්නට සැරසෙයි

නීතියට ගසා වැලි ජයටම කරයි ජාවාරම වැලි

මෙම සමයේ දිගින් දිගටම ලියුම්කරු විසින් පස් සහ වැලි ජාවාරම පිළිබඳව අනාවරණය කරන විට ලියුම්කරුට අල්ලසක් ලෙස ගල්ඔය ගංඟාවෙන් වැලි තොටුපළක් ලබා දෙන්නට ජාවාරම්කාර පිරිස උත්සාහ ගත්හ.

මොනවත් කරන්න දෙයක් නැහැ ගල්ඔය ගඟේ තැනක් විතරක් පෙන්නන්න. අපි ඔක්කොම කරලා දෙන්නම් තොටුපළකට මාසේට ලක්ෂය ගානේ දෙන්නම්. එකක් මදි නම් තොටුපළවල් දෙකක් වුණත් ලෙහෙස්ති කරලා දෙන්නම්. අලුත් කාර් එකක් ගන්න එහෙමත් පුළුවන් යනුවෙන් පවසමින් ලියුම්කරුවද සිය කණ්ඩායමට ගන්නට ඔවුන් උත්සාහ ගත්හ.

හතේ කල්ලියේ ඩබල් ගේම

දිගින් දිගටම අම්පාර හිටපු භූවිද්‍යා ඉංජිනේරුවරයාගේ තක්කඩි වැඩ පිළිබඳ මාධ්‍ය මගින් ආනාවරණය වීමත් සමගම අවසානයේ ඔහුට අම්පාරෙන් ස්ථාන මාරුවක් ලබා යන්නට සිදුවිය.

ඒ සමගම අම්පාරට ආවේ මඩකලපුවෙහි සේවය කළ මොහමඩ් පාරිස් නම් භූ විද්‍යා ඉංජිනේරුවරයාය. ඔහු නීතිගරුක නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධ නිසා වැලි ජාවාරම්කාර කණ්ඩායම බියට පත්වන්නට වූහ. ඇතැම් හිමිවරුවන් කිහිප දෙනෙක්ගේද සහය ගත් ජාවාරම්කාර පිරිස පෝස්ටර් ගසමින් අම්පාරේ ජාතිවාදය අවුස්සමින් මොහමඩ් පාරිස් මහතාගේ ගමන නවතා දමන්නට ප්‍රබල උත්සාහයක් ගන්නා ලදි.

නමුත් බොහෝ බාධක මැද පාරිස් මහතා අම්පාරේ භූ විද්‍යා ඉංජිනේරුවරයා ලෙස වැඩ භාර ගන්නට එද්දී ජාවාරම්කාර රැළ කටුසු වෙස් ගන්නට වූහ. අවසානයේ කිරිබත් ආදී ආහාර පාන සකසා පාරිස් මහතා පිළිගන්නට කටයුතු කළේද ඔවුන්මය. ඒ කපන්න බැරි අත ඉඹින්නටය.

පාරිස් පන්නා දැමීමේ මෙහෙයුම

නමුත් බුද්ධිමත් දක්ෂ අවංක නිලධාරිවරයෙක් ලෙස ප්‍රචලිතව සිටි පාරිස් මහතා කොටුකර ගන්නට ඔවුනට නොහැකි වූහ. අවසානයේ නැවතත් පාරිස් මහතාව එලවා දමන්නට විවිධ චෝදනා කරමින් කටයුතු කරන්නට වූහ.

පාරිස් මහතාට විරුද්ධව කොළඹට ලිපි යවන්නට විය. ඒ අනුව පරීක්ෂණ ඇරඹුණි. පාරිස් මහතා පරීක්ෂණය නිමාවෙන තෙක් සති කිහිපයක් කාර්යාලයට පැමිණියද සේවය නොකර සිටින්නට සිදුවිය. ඒ වෙනුවට වැඩ බැලීමට අනුරාධපුරයෙන් භූ විද්‍යා ඉංජිනේරුවරයෙක් පැමිණෙන ලදී. ඔහුව හිතවත් කරගැනීමට හැකිවීම පිළිබඳව හතේ කල්ලියට මහා සහනයක් වන්නට විය.

ඒ අතරවාරයේ අම්පාර භූ විද්‍යා කාර්යාලයේ නවතා දමා තිබුණ පාරිස් මහතාගේ රථයට ගොම ප්‍රහාරයක් එල්ලකර බය කරන්නට පිරිසක් කටයුතු කරන්නට විය.

හොර ඉංජිනේරුවරයා වහළ උඩ

පසුගිය දිනක පාරිස් මහතා එලවා දැමීම වෙනුවෙන් අයකු අම්පාර භූ විද්‍යා ඉංජිනේරු කාර්යාලයේ වහලය මතට නැගී විරෝධතාවයේ නියළෙන ලදි. ඔහුද නීති විරෝධී ආකාරයෙන් වැලි ව්‍යාපාරයේ යෙදුනු අංකූරෙකි. මීට පෙර සිට අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයාගේ නිල මුද්‍රාව සහ අත්සන හොරට සකසා බලපත්‍ර වෙනස් කරමින් කටයුතු කර මාට්ටු වූ අයෙකි. එම නිසා බොහෝ දෙනකු ඔහුව හඳුන්වන්නේ හොර ඉංජිනේරුවරයා ලෙසිනි. ඒ නිසා ඔහුද කොළඹ භූ විද්‍යා කාර්යාලයට අහිංසකයකු ලෙස පෙනී සිටිමින් පාරිස් මහතාට විරුද්ධව වහළය මතට නැගී විරෝධතාවයේ යෙදීම බොහෝ දෙනකුට හාස්‍යය ගෙන දෙන කරුණක්ම විය.

තවද පාරිස් මහතාගේ පරීක්ෂණය නිමාවූ පසු නැවත අම්පාර කාර්යාලයට ඔහුට සේවය කිරීමට ඉඩ ලැබෙනු ඇති බව සිතූ හතේ කල්ලිය අම්පාර භූ විද්‍යා කාර්යාලය අසලදී විරෝධතාවයක නිරත වන ලදී. එයට සහභාගි වූවේ 22 දෙනෙකි. එයින් බලපත්‍ර ලාභීන් සිටියේ පස් දෙනෙක් පමණි. ඒ අනුව අම්පාරේ බලපත්‍ර ලාභී 1300ක පිරිසකගෙන් ඔවුනට පාරිස් මහතාට එරෙහිව ගෙන්වා ගැනීමට හැකිවූයේ 05 දෙනක් පමණි. ඒ අනුව ඔවුනට අම්පාරේ බලපත්‍ර ලාභීන්ගේ අප්‍රසාදය මැනවින් පිළිඹිඹු වෙනු ඇත. කොළඹ භූ විද්‍යා කාර්යාලයේ සිටින හතේ කල්ලියට උඩගෙඩි දෙන නිලධාරීන් ඒ බව හොඳින් තේරුම්ගත යුතුව ඇත.

පරිසර විනාශය ජයටම

නීතියට ගසා වැලි ජයටම කරයි ජාවාරම වැලි
අමාත්‍ය විමලවීර දිසානායක
නීතියට ගසා වැලි ජයටම කරයි ජාවාරම වැලි

මෙම හතේ කල්ලිය හා එයට සම්බන්ධ ජාවාරම්කරුවන් නීති රීති අස්සෙන් රිංගා ගොස් මුදල් උපයන්නට අති දක්ෂයෝය. ඇතැම් පන්සල්වලට සංවර්ධන වැඩ සඳහා පස් සහ වැලි ලබා දෙන්නේ ඉතා කැමැත්තෙනි. ඉන් පසුව අති විශාල පස් සහ වැලි ප්‍රමාණයක් පන්සලට යවා එතැන සිට පිට ස්ථානවලට එවා අලෙවි කිරීමේ ජාවාරමක් අම්පාරේ සිදුවෙමින් පවතී.

ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් ලොකු මහත්වරුන් විසින් සිදු කරන ප්‍රජා සත්කාර වැඩසටහන් සඳහා මෙම පිරිස පස් සහ වැලි ලබා දෙන්නේ ඉතා සතුටෙනි. එයට කියුබ් 30ක් අවශ්‍ය නම් අඩුම තරමින් කියුබ් හාර පන්සීයක් පිටට ඇද අලෙවි කර නීතියේ ඇස් වසා මුදල් උපයති.

බැරිවෙලාවත් පොලිසියෙන් ඇල්ලූ විට අපි අහවල් පොලිසියේ ලොකු මහත්තයාගේ වැඩේට මේවා අරන් යන්නේ. ඕනනම් කෝල් එකක් දීලා අහලා බලන්න කියමින් පොලිසියෙන්ද රිංගා යෑමට ඔවුන් රුසියෝය.

ජාවාරම්කාරයන්ගෙන් උදව් ගන්නා අම්පාරේ පොලිස් ලොකු මහත්වරුන්ද සිහියට ගතයුතු කරුණක් ඇත. එනම් ජාවාරම්කාරයන් හොර වැඩ වලට ඔවුන්ගේ නම් භාවිතා කරමින් කටයුතු කරන වගය.

මේ එක් නිදසුනක් පමණි. පොලිසිය විසින් කරනා ප්‍රජා සත්කාර වැඩකට වැලි හතේ කණ්ඩායමෙන් වැලි ඉල්ලා සිටින්නට විය. අම්පාර ප්‍රනාන්දු ඇනිකට් එකේ පිරුනු වැලිවලින් ලබාදෙන්නට ඔවුන් සූදානම් වුණි. පොලිසියට අවශ්‍ය වැලි කියුබ් ප්‍රමාණය යවන අතරේ බැකෝ යන්ත්‍ර දමා දිගට හරහට මෙම ජාවාරම්කරුවෝ හොරාට අදාළ බලපත්‍ර නොමැතිව පිටට ටිපර් රථ යොදා වැලි අදින්නට වූහ. අවසානයේදී අම්පාර විශේෂ කාර්ය බළකා නිලධාරීන් එය දැන එන බව දැනගත් පිරිස එම ස්ථානයෙන් පලා යන්නට විය. මේ ආකාරයෙන් සෑමවිටම මසකට අති විශාල පස් සහ වැලි කියුබ් ප්‍රමාණයක් නීති රීති අස්සෙන් ගොස් හොරාට අලෙවි කරනා නිසා රජයටද විශාල බදු ආදායමක් අහිමි වේ.

ජාවාරම්කරුවන්ගේ තක්කඩි වැඩවලට උදව් කළ හිටපු භූ විද්‍යා ඉංජිනේරුවරයාගේ ඥාතීන් දෙදෙනකු මෙහි ක්‍ෂේත්‍ර නිලධාරිවරුන් ලෙස කටයුතු කරන බවත්, ඔවුන් දෙදෙනා සාධාරණ ලෙස වැලි සහ පස් ව්‍යාපාරයේ යෙදෙන පිරිසට බලපෑම් කරනා බවත් අම්පාරේ බලපත්‍රලාභීන් බොහෝ දෙනෙක් පවසා සිටින්නට වූහ.

පාරිස් මහතා කෙලෙසක හෝ පන්නා දමමින් මේ වන විට වෙනත් දිස්ත්‍රික්කයක සේවය කරනු ලැබූ දැඩි චෝදනාවන්ට ලක්වූ භූ විද්‍යා ඉංජිනේරුවරයා අම්පාරට ගෙන්වා හොර තක්කඩි රැළ සිය අමන හොර වැඩ කරන්නට මාන බලමින් සිටිති.

අම්පාර දිස්ත්‍රික් නිදහස් ඛනිජ කැණීම් බලපත්‍ර ලාභීන්ගේ සංගමය, ඛණිජ සම්පත් හිමියන්ගේ සංගමය රඹකැන්ඔය – මහඔය, දිගාමඩුල්ල වැලි බලපත්‍ර ලාභීන්ගේ, සැපයුම්කරුවන්ගේ හා ප්‍රවාහනකරුවන්ගේ සුභසාධක සංගමය යන සංගම්වල නිලධාරීන් පිරිසක් පසුගියදා අම්පාරේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හතේ කල්ලියේ අමන තක්කඩි වැඩ ගැන අනාවරණය කළහ.

හිටපු වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතාද අම්පාරේ වැලි මාෆියාව පිළිබඳව කීවේ මෙවැනි කථාවකි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ බලපත්‍ර නිකුත් කිරීමේදී ඓතිහාසික දූෂණයන් සිදු වෙමින් තිබෙනවා. අම්පාරේ කිහිප දෙනෙක් මවගේ, පියාගේ, නෑදෑයන්ගේ සහ හිතවතුන්ගේ නම්වලින් බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. පස් සහ වැලි වෙළෙඳාමේ යෙදෙන හැමෝටම සම අවස්ථාවක් තියෙන්න ඕන. පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් තමන්ට කැමැති අයට බලපත්‍ර ලබා දෙන්න කටයුතු කරනවා. ඒකට කියන්න වෙන්නේ පාතාලය කියලයි. අන් සියලු දෙනා යට කරන් නීති විරෝධීව කිහිප දෙනෙක් කටයුතු කරනවාට මම විරුද්ධයි.

මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කළේ පාරිස් කියන ඉංජිනේරුවරයා. ඔහු පාතාලයට අත තිබ්බහම ඔහුට බලපෑම් කළා, ඔහු මුස්ලිම් කීවා. ඒ නිසා මෙම පාතාලයට සම්බන්ධ ඇතැම් පිරිස් බොරු කේලම් කියමින් ඔහුව මාරු කරන්නට කටයුතු කළා. මේ වන විට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කරමින් සාධාරණව එම ගැටලුව විසඳා නැවතත් පාරිස් මහතා අම්පාර භූ විද්‍යා ඉංජිනේරුවරයා ලෙස තබාගන්නට කටයුතු කළා. අපට අවශ්‍ය වන්නේ සාධාරණ ව්‍යවසායකයන් පිරිසක් යැයි විමලවීර දිසානායක මහතා පවසා සිටියේය.

නැගෙනහිර සුරකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

පාරිස් මහතා කියන්නේ දක්ෂ අවංක ඉංජිනේරුවරයෙක් කලක සිට අම්පාරේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කඩා අසරණ කරන පිරිසක් අද පාරිස් මහතාගේ කොන්දත් කඩලා මුල්ලෙන් තියලා අම්පාරේ භූ විද්‍යාවේ පාලන බලය අතට ගන්න හැදුවේ. බොරුව ඇත්ත කරන්න නිර්ලජ්ජිත උත්සාහයක යෙදුනා. පරිසරය විනාශ කරමින් තමන්ගේ බඩ වියත පමණක් සිතන, හඳ ලොව, අඟහරු ලොව, සිකුරු ලොව තරණය කරගැනීමට වෙර දරන්නට පිරිසක් ලෙසින් තමයි අද අම්පාරේ පස් සහ වැලි මාෆියාකරුවන් කටයුතු කරන්නේ. මේ වන විට අවසාන මොහෙතේ ජාවාරම්කරුවන්ගේ පැතුමන් බිඳ වැටුණා. නැවතත් පාරිස් මහතා අම්පාරේ භූ විද්‍යා ඉංජිනේරුවරයා ලෙස වැඩ භාර ගැනීම නිසා. නමුත් ඔවුන් තවමත් උත්සාහ කරමින් සිටින්නේ පාරිස් මහතා පන්නා දමා ඔවුන්ට හිතවත් කෙනෙක් ගෙන්වා ගැනීමටයි. මේ තත්ත්වය භූ විද්‍යාවේ ඉහළ පුටුවල සිටිනා නිලධාරීන් මැනවින් තේරුම්ගත යුතු කරුණක් යැයි නාරද හිමියන් අදහස් දක්වමින් පවසා සිටියහ.

නීතියට ගසා වැලි ජයටම කරයි ජාවාරම වැලි

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ද මෙලෙස පැවසීය.

මඩකලපුව බොහෝ රාජ්‍ය නිලධාරීන් සිංහල ජනතාවට හරියට වැඩක් කරලා දෙන්නේ නැහැ. ඔවුන් මා සමග බොහෝ අවස්ථාවල ගැටුම් ඇති කරගෙන තිබෙනවා. නමුත් පාරිස් මහතා මඩකලපුව භූ විද්‍යා ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන සමයේ මා කෙවිලියාමඩුව වැව හදන අවස්ථාවේ පාරිස් මහතා බෞද්ධයකු නොවුනත් ඉතා හොඳින් සහය දුන්නා. ඔහු නීතියට අනුව කටයුතු කරන කෙනෙක්. ඔහුට පෙර අම්පාරේ සේවය කළ භූ විද්‍යා ඉංජිනේරුවරයාට දැඩිසේ චෝදනා එල්ල වෙලා තිබුණා. නමුත් පාරිස් මහතා අම්පාරට පැමිණ ජාති බේදයෙන් තොරව නිසි ආකාරයෙන් රාජකාරි කළා. ඒ නිසා ඔහුව අල්ලේ නටවන්න බැරි කිහිප දෙනෙක් තමයි පාරිස් මහතා අම්පාරෙන් එලවා දමන්නට ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් කටයුතු කරන්නේ’ යනුවෙන් සුමනරතන හිමියන් පවසා සිටියහ.

දිගාමඩුල්ල වැලි බලපත්‍ර ලාභීන්ගේ, සැපයුම්කරුවන්ගේ සහ ප්‍රවාහනකරුවන්ගේ සුභ සාධක සංගමයේ ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මෙලෙස පැවසීය.

පාරිස් මහතා ජාති, ආගම් භේදයෙන් තොරව නිසි ආකාරයෙන් රාජකාරි කටයුතු කළා. ඒ නිසා තමයි කිහිප දෙනෙක් ඔහුට විරුද්ධව කටයුතු කළේ, පාරිස් මහතාගෙන් බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාටම එක සමාන ආකාරයෙන් සේවය කිරීමයි. බලපත්‍රලාභීන්ට මුදල් ගෙවීම් කටයුතු පවා භූ විද්‍යා කාර්යාලය තුළදී සිදු කරන්න කටයුතු කරනවා නම් අපි කැමතියි. ජාවාරම්කරුවන්ට හසු නොවී ඉදියේදීත් පාරිස් මහතා කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා’ යැයි රත්නායක මහතා පැවසීය.

අම්පාරේ පස් සහ වැලි මාෆියාකරුවන්ට උඩ ගෙඩි දෙන භූ විද්‍යාවේ ලොකු පුටුවල නිලධාරි මේ තිත්ත ඇත්ත දැන්වත් තේරුම්ගත යුතුව ඇත. භූ විද්‍යාව භාර සභාපතිතුමනි, ඇමැතිතුමනි, ජනාධිපතිතුමනි දැන්වත් මෙම ජාවාරම්කරුවන් සහ ඔවුන්ට උඩ ගෙඩි දෙන තක්කඩි නිලධාරීන් පිළිබඳව තීරණයක් ගත යුතුව ඇත. නිසි විමර්ශනයක් කර දඬුවම් දිය යුතුවම ඇත.

එසේ නොවුනහොත් අනාගත පරපුරේ ශාපයෙන් තක්කඩියන්ගේ මිනී වළවල්වලට පවා හෙණ වැදෙනු ඇත.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment