කැබ් රථයේ සිටි ව්‍යාපාරිකයා වෙඩි වැදී තුවාල ලබයි

64

හොරණ මහජන පොළ ආසන්නයේදී ඊයේ (05දා) දහවල් කැබ් රථයක සිටි ව්‍යාපාරිකයකුට ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් එම ව්‍යාපාරිකයා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවද පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයා සිය නිවසේ සිට කැබ්රථය මාර්ගය දෙසට හරවන අවස්ථාවේ අදාළ නාඳුනන පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයා රථය නිවසින් එළියට ගන්නා අවස්ථාවේ බිරිඳ හා දරුවා ගේට්ටුව අසල සිට ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි. ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි.

සැකකරුවන් මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් භාවිතා කර ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ බිම මිලිමීටර් නවය වර්ගයේ හිස් පතරොම් කොපු 2ක්ද, ජීව උණ්ඩයක් ද තිබී හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් අදාළ වෙඩි තැබීම සිදුකරන අයුරු ඒ අසල සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී ඇතැයි ද පොලිසිය පවසයි.

මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට මුල්වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය සහ චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment