හඳපාන්විල පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් කරලා

261

ඓතිහාසික හා පුරා විද්‍යාත්මක අතින් ඉතා ඉහළ වැදගත්කමක් ඇති වසර 2000කටත් වඩා ඉපැරණි පොලොන්නරුව, දිඹුලාගල, හඳපාන්විල පුරාවිද්‍යා රක්ෂිතය කිසියම් පුද්ගලයකු විසින් ඩෝසර් කර පුරාවිiා සාධක රාශියක් විනාශ කර ඇතැයි පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

අනුරාධපුර රාජධානියට අයත් මුල් යුගයේ විසූ ලජ්ජිතිස්ස රජ සමයේ (ක්‍රි.පූ.119-110) ඉදි කරන ලදැයි සැලකෙන විහාරාරාම සංකීර්ණයකට අයත් පුරාවිද්‍යා රක්ෂිතයක් වන මෙය ඉතා සුවිශේෂී ස්ථානයක් ද වෙයි. මෙම ස්ථානය ලජ්ජිතිස්ස රජු විසින් කරවා සංඝරත්නයට පූජා කළ විහාරාරාම සංකීර්ණයක් බව එහි ඇති සෙල්ලිපියක සඳහන් වේ. පොලොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රිතව හෝ අතීතයේ මුහුදු ගමන් පිළිබඳව හෝ ඓතිහාසික සාක්ෂියක් වන රුවල් නැවක සංකේතයක් සහිත පුරාවිද්‍යාත්මක සලකුණක් ද මෙම ස්ථානයේ වෙයි. එවන් පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කමකින් යුක්ත ස්ථානයක ජේ .සී. බී. යන්ත්‍රයක් ආධාරයෙන් පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් කර ඇතැයි පොලොන්නරුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මේ සම්බන්ධයෙන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඉපැරණි ගල් කණු හා ගල් පුවරු ආදී පුරා සාධක විනාශ කර ඇති බවයි. පොලොන්නරුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ නලින් වීරරත්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්‍ෂණයක් කළ බවත් පුරාවිද්‍යා ආඥා පනතට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය. මෙම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානය නිසි ලෙස සංරක්ෂණය කර නොමැති බැවින් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සාක්ෂි රැසක් විනාශ වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. වසර 2000කටත් ඉපරණි මෙම ස්ථානය එම ප්‍රදේශයේ ම භික්ෂුවක විසින් අත්තනෝමතිකව විනාශ කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
රොෂාන් තුෂාර තෙන්නකෝන් අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment