අනුර කේරළයට අද දිවයිනට

49

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට පස්දින නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස ඊයේ (09 දා) ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ.

තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරළය විසින් හිමි කර ගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ ඇමැති පී.රජීව මහතා හමුවී සාකච්ඡා කළහ. ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක් ද වෙයි.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගත්හ.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි තාක්ෂණ උද්‍යානයෙහි සංචාරයක නිරතවූ ජාතික ජන බලවේගයේ නායකයෝ එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

අනතුරුව එම නියෝජිත පිරිස ජී ටෙක් ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කරන ලද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ කොවාලාමීස් විලා අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමට ද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවිය.

පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස අද (10වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment