පේරාදෙණියෙ උද්භිද උයනෙ රවුමක් ඇවිදලා

පේරාදෙණිය කියන්නේම සෞන්දර්යයට උරුමකම් කියන්නාවූ රසගුලාවකි. එනිසාම පාරිසරික සුන්දරත්වයට මෙන්ම පේරාදෙණි සරසවි මතකයන්ට නූතනයේ ලියැවුණ ගී සින්දු බෙහෝමයක් ඇති බව ද නොරහසකි. සරසවි ප්‍රේමය, විරහව, සොඳුරු හමුවීම්, වෙන්වීම් මෙන්ම මහවැලි ගඟ, හන්තාන, අක්බාර් පාලම, ලවර්ස් ලේන් ලියැවුණ දෑ මෙන්ම එකී සොඳුරු තක්සලාවක පියසටහන් තුළ අදටත් මතක ආවර්ජනයන්ට ආදරය ඉඩහසර වෙන්කරන්නට මැලි නොවෙති. සිය ජීවිතයට සරසවි අත්පොත් තැබූ බොහෝ විද්‍යාර්ථීන් මෙන්ම සමස්ත තාරුණ්‍යයේ ආදරයේ සෙනෙහසේ නවාතැනයි පේරාදෙණිය සරසවිය.

සර් අයිවර් ජෙනිංග්ස් යුගයේ පටන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යුගයත් මේ දක්වා වූ සියල්ලන්ගේ කැපවීම තුළ අධ්‍යයන ක්ෂේත්‍රය තුළ සිදුකරන්නා වූ විවිධ පරියේෂණයන්, පර්යේෂණ ප්‍රකාශන, ජාත්‍යන්තර විද්වත් සම්මේලන හා එකී පර්යේෂණයන් තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක් භාවය සුරකිමින් නව ලොවට ගැලපෙන විද්‍යාර්ථීන් බිහිකරමින් සිටී. මෙකී අධ්‍යයන පර්යේෂණ, අන්තර්ජාතික සම්මේලන තුළින් ඉහළ ගුණාත්මතාව සහ ශිෂ්‍ය කුසලතා සාධනය ඉහළ මට්ටමට ගෙන ඒමට පරිපාලනය ක්‍රියාත්මක වේ.

අධ්‍යාපනික දිශානතිය එසේ වත්දී ශිෂ්‍ය අවශ්‍යතා තේරුම් ගනිමින් අවස්ථා නිර්මාණය කිරීම සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්වයක් දෙනවා වෙනුවට යැපුම් ආර්ථිකයට තිත තබන ඉගෙන ගනිමින් තම වියදම තමන් විසින් සපුරා ගැනීමේ සංකල්පයක් හඳුන්වා දෙමින් ක්‍රියාවට නගමින් සිසුන් වැඩකරන මෙම අපූරු අවන්හල අරඹා වසරකුත් මාස 3 ක් ඉක්ම ගොස් ඇත. ඒ අපූරු සංකල්පය වූයේ නවීන පන්නයේ භෝජනාගාරයක් නැතහොත් අවන්හලක් ඇති කර එය පවත්වා ගෙන යෑම සිසුන් විසින්ම සිදු කිරීම මෙහි විශේෂත්වයයි. පේරාදෙණි කෘෂිවිද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ මෙම අරමුණ යථාර්ථයක් වෙමින් ද කියෝස්ක් අවන් හල නැතහොත් The kiosk බිහිව තිබේ.

ද කියෝස්ක් පූර්වාරම්භය මුල පුරන්නේ පසුගිය කෝවිඩ් වසංගත සමය නිමවීමත් සමගිනි. 2019 වසරේ ඇති වූ කොවිඩ් වසංගත කාල පරාසයේ ඇති වූ ආර්ථික පසුබෑමත් විශ්වවිද්‍යාල සිසුවාට තම දෙමව්පියන් මත යැපෙමින් ජීවන අරගලයක මුහුණදීමේ ඛේදවාචකයට විසඳුමක් හා ආර්ථික සහනයක් ලබාදීම මෙහි අරමුණ විය. මේ තුළින් අර්ධ කාලීන රැකියාවක, කාර්යක නිරතවෙමින් තමන්ට මුදලක් සපයා ගැනීම මෙන්ම ප්‍රායෝගික පුහුණුව ජීවන අත්දැකීම්වලට පරිවර්තනය කරමින් ස්වොත්පාදනයෙන් මුදලක් උපයමින් අධ්‍යාපනය තුලනාත්මකව සිදුකරගෙන යෑමට මෙම සිසුන්ට අවස්ථාව සැලසී ඇත. ලෝකයේ වෙනත් රටවල සරසවි ශිෂ්‍යයින්ට අර්ධකාලීන රැකියා අවස්ථා සුලභ වුවත් ලංකාවේ එවැනි අවස්ථා විරලය. ලංකාවේ එම සංකල්පය ප්‍රථම වරට යථාර්ථයක් කරන්නට පේරාදෙණිය කෘෂි පීඨයට හැකිවීම සතුටට කරුණකි. මේ අමුතු නොවූ විශේෂිත අවන්හල පිළිබඳව පේරිදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු මහතාගෙන් වැඩිදුර තොරතුරු විමසුවෙමු.

සරසවි යොවුනන් ගේ කියෝස්ක් එකෙන් කාලා හන්තානෙත් ගිහින් එන්න

“පසුගිය කෝවිඩ් ව්‍යසනයත් රටේ පැවති ආර්ථික පසුබෑමත් එක්ක විශ්වවිද්‍යාල සිසුන්ට සහ දෙමව්පියන් මූල්‍ය අපහසුතාවන්ගෙන් පෙළෙනව කියන එක අපි තේරුම් ගත්ත දෙයක්. දරුවන්ට නිකන් සල්ලි දෙනවා වෙනුවට වැඩකරලා අභිමානයක් එක්ක සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න අපි සැලසුම් කළා. මේ යෝජනාව එන්නේ 92/93 ආදි විද්‍යාර්ථීන් ගෙන්. ඒ අනුව ශිෂ්‍යයන්ට ඉගෙනගන්න අතර අමතර කාලයක් යොදවලා වැඩකරන්න පුළුවන් ලෙස නවීන ආපනශාලාවක් ඇති කරන්න. පීඨය තුළ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන සිසුන්ට ඔවුන්ගේ වියපැහැදම් කළමනාකරණය කරගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙම The kiosk (ද කියෝස්ක්) අවන්හල ආරම්භ වුණා. ශිෂ්‍යයෝ සේවයේ යෙදීමත් ඒ අයට වැටුපක් ලබා දෙන්නත්, සිසුන්ට ආහාර ලබාදීම මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි කැම්පස්වල ළමයි එළියට යනකොට අධි මානසිකත්වයක් තියනවා. ඒක නැතිකරන්නත් මේක හොඳ දෙයක් කියල හිතුණා. කුස්සියේ අතුගාන එකේ ඉඳල සම්පූර්ණ සේවයේ නිරත වන්නේ ශිෂ්‍යයෝ. මේ තුළ ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිවෙනවා. මෙහි කළමනාකරණ කටයුතුවල සිට ආහාර පිසීම පිළිගැන්වීම පිරිසිදු කිරීම ඇතුළු සියලු කටයුතු චක්‍රීය ක්‍රමයකට ශිෂ්‍ය කේන්ද්‍රීයව සිදුවනවා.

වැරැද්දක් වුවොත් ඊළඟ පාර කොහොමද එය නොවන්නේ කියන මගපෙන්වීම මෙහි තියෙන්නේ. ළමයි තේරුම් අරගෙන ළමයිම තීරණ අරගෙන පාලනය කිරීමක් මෙහි වන්නේ. අපි පැත්තක ඉඳලා තමයි සහාය දෙන්නේ.

මෙහිදී ව්‍යවසායකත්ව සංවර්ධනයක් සිදු වෙනවා. පොත පතටම හුරුවුණු ළමයින්ට තියන හැකියාවන් ප්‍රදර්ශනය කරන්නත් ප්‍රායෝගිකව අත්හදා බලන්නත් අවස්ථාව හිමිවෙනවා. එහිදී පීඩනය දරාගන්න වගකීම දරන්න හුරුවීම තුළ සම්පූර්ණ වූ උපාධිධාරියෙක් බිහිවෙනවා.” මෙම ව්‍යාපෘතිය සමග මෙම දරුවන් සිය දෙමව්පියන්ගෙන් මුදල් ලබා ගැනීම පවා නතර කර ඇති බවත් ලාභ උපයමින් ව්‍යාපාරය සාර්ථකව පවත්වා ගෙන යන බවද පීඨාධිපතිවරයා සඳහන් කළේය.

මෙහි මෙහෙයුම් පරිපාලනය කෘෂි පීඨ ශිෂ්‍ය නායක කමිටුවකින් සිදුකරයි.

සරසවි යොවුනන් ගේ කියෝස්ක් එකෙන් කාලා හන්තානෙත් ගිහින් එන්න

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සිසුවා අප රට තුළ උපයන්නකු නොවේ. ඔවුන්ගේ බත සැපයෙන ආපනශාලාහි ඔවුන්ට ලැබෙන බත රස, ගුණ, ප්‍රමාණය, මිල පිළිබඳව දන්නෝ එම ආහාර බුදින්නෝ පමණක්ම වෙති. මෙහි මිල ප්‍රමාණය, රස ගුණද වෙළඳපොළට සාපේක්ෂ වශයෙන් අවම යැයි කීම මුසාවක් නොවේ. එක් වරක් මිලදී ගනු ලබන ආහාරය තම කුසට මදිවනු විට ඔවුන් තව අඩුවක් ලබාගන්නේ ඊට ද තවත් මුදලක් ගෙවමිනි. සරසවියට පමණක්ම ආවේණික වූ මෙවැනි ආපනශාලා බොහෝමයක් එම සරසවි වටා ස්ථාපිතව ඇතත් අප මෙහි කතා කරනු ලබන සරසවි සිසුන්ම පවත්වාගෙන යනු ලබන අවන්හල ඉලක්ක ගතව ඇත්තේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව වෙත නොවේ. සරසවිය ආශ්‍රිතව සිසුන් සඳහා ආපනශාලා ඇති හෙයින් වෙළඳපළ ඇති තරගකාරී ආපන ශාලා හා අවන්හල්වලට තරගකාරී ලෙස බාහිර පිරිසක් ඉලක්ක ගත කරමින් මෙම කියෝස්කි ආපනශාලාව පාරිභෝගික රුචිකත්වයට අනුව පෙළ ගස්සන්නට කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

තොරතුරු අනාවරණය කරගත් පරිදි සිසුන්ට ශිෂ්‍යත්වයක් ලෙස මුදල් දෙනවා වෙනුවට ඔවුන් යැපුම් මානසිකත්වයෙන් බැහැර කර වෘත්තීය සංවර්ධනය දියුණුකර ව්‍යවසායකත්වය දියුණු කළ හැකි ව්‍යාපෘතියක නිරත වීම තුළින් ඔවුන්ට වැටුපක් ගෙවීමට සුදුසු බව 1992/1993 පේරාදෙණිය ආදි විද්‍යාර්ථීන් විසින් යෝජනා කර ඇත. ඒ අනුව එම විද්‍යාර්ථීන් ආරම්භක ප්‍රාග්ධනය ලෙස මිලියන හයකට ආසන්න ප්‍රාග්ධනයක් යොදමින් දායකත්වය ලබාදීමටත්, සිය ගමන් මග පසු පසින් එන අනාගත කෘෂි විද්‍යාඥයින්ට මං පෙත විවර කරන්නටත් ඔවුහු නොමසුරු වූහ. ඒ අනුව ඉකුත් වසරේ ජනවාරි මස 9 වැනිදා ඇරඹි මෙම කියොස්කි ආපනශාලාවෙහි සේවා මුර ක්‍රමය මත සිසුන් තිස්පස් දෙනෙක් සේවයෙහි නිරත වෙති. මෙහි අධ්‍යයන වසර හතරම නියෝජනය වන පරිදි සිසුන් සේවයට බඳවා ගෙන ඇත. විධිමත් ක්‍රියාවේදයන් අනුගමනය කරමින් මීට අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් හරහා තෝරාගැනීම සිදුකරනු ලැබ ඇත. දැනට සේවා මුර ක්‍රමය යටතේ සරසවි දරුවන් තිස්පස්දෙනකු සේවය කරනු ලබන අතර ඉදිරියේදී එම සංඛ්‍යාව පනහ දක්වා වැඩි කිරීමට අපේක්ෂිත වේ. මෙතෙක් කෘෂි විද්‍යා පීඨයට සීමා වූ එම සේවා දායකත්වය අනෙකුත් පීඨයන් සිසුන්ටද ලබා දීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාල ආපනශාලාවලින් වෙනස් වූ වෙනත් ඉලක්කගත පිරිසක් වෙනුවෙන් ස්ථාපිතව ඇති මෙම ආපනශාලාවේ මිල ගණන් ද ශිෂ්‍ය ආපනශාලාවල ආහාර මිල ගණන්වලට සාපේක්ෂ මිල වැඩිය. මෙම අවන්හලේ පරිපාලනය සම්බන්ධයෙන් මේ වනවිට ශිෂ්‍යයන් අතරෙන් කළමනාකරුවකු පත්කර ඇත. කෘෂිවිද්‍යා පීඨයේ තෙවන වසර ශිෂ්‍යාවක වූ සමාධි වර්ණකුල මෙහි කළමනාකරණ ධුරයේ කටයුතු කරනු ලබයි.

“ශිෂ්‍යයන් සඳහා ආහාරපාන අවම මිලට ලබා ගැනීමට විශ්වවිද්‍යාලය ආසන්නයේ ආපනශාලා පවතින හෙයින් අපේ ඉලක්කගත පාරිභෝගිකයා වුණේ ශිෂ්‍යයෝ නොවෙයි. පේරාදෙණියේ උද්භිද උද්‍යානයට පැමිණෙන්නන් මෙන්ම සංචාරක පුරවරයක් ලෙස පේරාදෙණියට පැමිණෙන ඕනෑම අයෙකුට මේ අවන්හල විවෘතයි.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් තුළ පවතින යැපුම් මානසිකත්වය (welfare mentality) බිඳදැමීම මෙහි එක් අරමුණක්. හැම ළමයෙක්ම ශිෂ්‍යත්වයක්, ශිෂ්‍යාධාරයක් වගේ බලාපොරොත්තු වෙනවනේ. එහෙම නැතිව එයාලටම විවේක වෙලාවට වැඩ කරලා සල්ලි උපයන්න දෙන එකත් මෙහි අරමුණක්. කෘෂි විද්‍යා පීඨය තුළ ස්ථාපිතව තියෙන මෙහි කොත්තු, රයිස් සහ වෙනත් බේකරි නිෂ්පාදන ඇතුළු පාන වර්ගයන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. කොත්තු රයිස් වැනි ආහාර සකස් කිරීම සඳහා සූපවේදීන් දෙදෙනෙක් කාර්යයෙහි නිරත වෙනවා. සබ්මැරීන්, හොට්ඩෝග්, ගොවිපළෙහි නැවුම් එළකිරිවලින් සැකසෙන මිල්ක්ෂේක් මෙන්ම අනෙකුත් ආහාරපාන වර්ග සැකසෙන්නේ සරසවි සිසුන් අතින්. වෙළෙඳපොළෙහි ඇති කැෆටේරියා, අවන්හල් තුළ ඇති ආහාර ද්‍රව්‍ය මෙහිදී ලබාදීමට කටයුතු කරනවා. එකම රටාවකට ආහාර ලබාදිය යුතු නිසාත් සේවා මුරක්‍රමය යටතේ සිසුන් සේවයෙහි නිරත වීමත් නිසා ආහාරයක් ලෙස බත්, එළවළු අපි මෙහිදී ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. එසේ වුණත් සූපවේදීන් දෙදෙනා බැගින් සේවයෙහි නිරත නිසා රයිස්, කොත්තු වැනි ආහාර ද්‍රව්‍ය සකස් කරනවා.”

මෙහි කළමනාකාරිත්වයේ සිට පිරිසිදු කිරීම දක්වා වූ සියලු කටයුතු සිදු කරනුයේ සරසවි සිසුන් විසිනි. මෙහිදී මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, සැපයුම් හා ප්‍රවාහන ඉසව් යන අංශ පහක් යටතේ කළමනාකාරීත්වය සිදු කරනු ලබයි. ඉවෙන්ට් මැනේජ්මන්ට් නැත්නම් විවිධ අවස්ථා සංවිධානය කිරීම තුළින් සුහද හමු සඳහා ආහාරපාන සැකසීම මෙන්ම බාහිර ස්ථානයක පැවැත්වෙන සාද සඳහා ද ආහාර සැපයීම මෙහිදී සිදුකරනු ලබයි. සතියේ දින හතම ක්‍රියාත්මක අතර උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා විවෘතව ඇත.

ආයතනය ආරම්භයේ සිටම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන මෙහි මග පෙන්වීම සඳහා 92/ 93 ආදි විද්‍යාර්ථීන් තවමත් මෙම සිසුන් මෙහෙයවමින් ඔවුන් පසුපස සිටීම ද ආශිර්වාදයකි.

සරසවි යොවුනන් ගේ කියෝස්ක් එකෙන් කාලා හන්තානෙත් ගිහින් එන්න

පූර්ව පුහුණුවක් දැනුමක් නොමැති ආධුනිකයන් ලෙසින් පැමිණ ඉහත කී කළමනාකාරීත්ව අංශයන් සියලු දේට සහභාගි වෙමින් මිල තීරණය කිරීම දක්වා සියලු කටයුතු සිදු කිරීම විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදුකිරීම ද විශේෂත්වයක් බව ඇය සඳහන් කළාය. කෘෂිවිද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාගේ මග පෙන්වීමත් යටතේ ශිෂ්‍ය කළමනාකරණ නායකත්ව කමිටුවක් මගින් පරිපාලන හා අධීක්ෂණය කරනු ලබයි. සිසුන්ගේ කළමනාකරණ කමිටුවේ දී ගනු ලබන තීරණයෙහි ඇතැම් දොස් සහිත වේ නම් ඒවා නිවැරදිවීම නැවත අධීක්ෂණයට ලක්කිරීමෙන් නිවැරදි වේ. පාරිභෝගික රුචිකත්වය හඳුනාගමින් වත්මනට ගැලපෙන අයුරින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සපුරාලීමට මොවුහු සැදී පැහැදී සිටිති. ආරම්භක අවධියේ සිටිම පාරිභෝගිකයාගේ යෝජනා අවශ්‍යතා පිළිබඳ සලකා බලමින් එම අවශ්‍යතා සපුරාලීමට උත්සුක වී ඇත.

“මේ හැමෝම උසස් පෙළ සමත්ව සරසවියට ආපු අත්දැකීම් අඩු ක්ෂේත්‍රයේ අත්දැකීම් අඩු පිරිසක්. මෙතන සිදුවන්නේ ඉගෙන ගනිමින් සිදුවන ක්‍රියාවලියක්. මානව සම්පත් කළමනාකාර අංශයේ ප්‍රධානියා ලෙස මාස නවයක් විතර කටයුතු කළා. මෙම අවන්හල ආරම්භ කරපු දවසේම ඉඳලම හිටපු කෙනෙක්. මෙහි කළමනාකාරිත්වයට මුලින්ම බඳවා ගන්නේ නැහැ. ඉගෙන ගනිමින් අත්දැකීම් ලබා ගනිමින් ශිල්පීය කුසලතා තිබේ නම් ඉල්ලුම් කර සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගි වෙමින් විධිමත් ක්‍රියාවලියකින් පසුව මීට සම්බන්ධ වෙන්න පුළුවන් යනුවෙන් මෙම අවන්හලේ කළමනාකාර තනතුරෙහි කටයුතු කරන ලබන අතර සිය අවන්හලට විදේශිකයන් පවා පැමිණෙන බව ඇය සඳහන් කළේ සොම්නසිනි. තමන් කැමති සේ සේවා මුරය තෝරාගෙන අවන්හලේ රාජකාරි කටයුතු අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවනසේ සමබරව පවත්වා ගැනීම මෙහිදී වැදගත්. මීට අමතරව සමාජ වගකීම තේරුම්ගෙන (CSR) ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කළා.

ආහාර ද්‍රව්‍ය සැකසීම පිළිබඳ ඇති අවබෝධය හා පුහුණුව නිපුණතාවය පිළිබඳව මෙම සිසුන් වෙත ලබා ඇති පුහුණුව අවස්ථා පිළිබඳව ද විමසීමට අමතක නොකළෙමි.

නුවර ප්‍රසිද්ධ භෝජනාගාරයකට සම්බන්ධ වී යම් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසුන බව සැලකර සිටි අතර ආහාර ද්‍රව්‍ය සැකසීම සම්බන්ධයෙන් හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් විශේෂිත පුහුණුවක් හෝ අවස්ථාවක් ලබා දිය හැකි වේ නම් ඔවුන් වෙත කරන සුවිශේෂී අනුග්‍රහයකි.

ඒ පිළිබඳ අදහස් එක්කළ සමාධි වර්ණකුල “අපිට වර්ධනයක් ඇති තැනකට අපි විවෘතවයි. එවැනි අවස්ථාවක් ලැබුණොත් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සතුටින් භාරගන්නවා. මේ සංකල්පය ලංකාවට අලුත්. මින් අපට මුදල් ලැබෙනවා තමයි මෙහිදී අපේ ආකල්පමය වෙනසක් ඇතිවෙනවා. ආයතනයේ සියලු පිරිසිදු කිරීමේ කටයුතු පවා සිදු කරන්නේ අපිමයි. රැකියාවකට යද්දී එළියට යද්දි මේ ලැබෙන පුහුණුව අපව ශක්තිමත් කරනවා. යම් යම් උත්සාහයන්වලදී අපි අතින් ඕනතරම් වැරදි වෙලා තියෙනවා. වැරදි වුණා කියල අපිට ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමිවෙන්නෙ නෑ. මේ සංස්කෘතිය හැමෝටම ලැබෙන්නෙ නෑ. ඒක ලැබුණොත් විශාල අවස්ථාවක් තියෙන තැනක්.

මීට අමතරව Coffee shop එකක් වගේම අනෙකුත් පීඨවලින් සුදුසුකම් ලත් අය බඳවා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි විශ්වවිද්‍යාලයෙන් පිටව ගිහිල්ලා රැකියාවක් ලැබෙනතුරු බලා නොසිට අපිට අපේම දෙයක් කරගන්න වුණත් ශක්තියක් බලවන්තකමක් ලැබෙනවා. මෙහි ගලායෑම නිසි ලෙසින් ගෙන යෑමට අපි අයින් වෙලා පහළ අයට භාර දෙනවා. නැත්නම් අපෙන් පස්සේ මේක නැතිවෙන්න ඉඩ තියෙනවා.” යි සමාධි වර්ණකුල පැවසීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට 92/93 ආදි විද්‍යාර්ථී කණ්ඩායම මෙන්ම කෘෂි පීඨයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලැබෙන උදව් උපකාර පිළිබඳව කෘතවේදීව සිහිපත් කරන බව කෘෂි පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය සරත් කොඩිතුවක්කු මහතා පැවසීය.

සමන්තා ප්‍රින්සි ලාලනී

advertistmentadvertistment
advertistmentadvertistment