ජර්මන් ජාතික පෙම්වතා වියපත් ශ්‍රී ලාංකික පෙම්වතියගේ මිලියන තුනකට විදලා…

2675

විමලා කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවකි. වයස අවුරුදු හැත්තෑවකි. තනියම ජීවත්වන ඇය කිහිපවරක්ම ප්‍රේමයෙන් පරාද වූ තැනැත්තියකි. නව යෞවන වයසේදී පටන්ගත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා අවසානයේ ඇය අවිවාහකව ජීවත් වීමට තීරණය කළාය.

ආදරයෙන් පැරදුනත් ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාය. ඒ සඳහා අවශ්‍ය කරන මුදල් හදල් ඇයට ඇතිතරම් තිබුණි. වයස ඉලක්කමක් පමණක් කරගත් ඇය කොණ්ඩය කොටට කපා තරුණියන් මෙන් ඇඳුම් පැළඳුම් ඇඳ විවිධ විලාසිතා පවා සිදු කළාය. එයට අමතරව සතියට වරක් දෙවරක් සැලෝන්වලට ගිය ඇය නිරතුරුවම උත්සාහ කළේ තම මහලු පෙනුම තරුණ පෙනුමක් බවට පත්කර ගැනීමටයි.

එලෙස ජීවත්වන ඇය ජීවිතයේ තනිකම, පාළුව, කාන්සිය මකා ගැනීම සඳහා ෆේස්බුක්, වට්ස්ඇප් ආදිය භාවිත කිරීමට පුරුදු වී සිටියාය. ඒ හරහා මිතුරු මිතුරියන් ඇසුරු කළ ඇය ඔවුන් සමග දුක සැප ද බෙදා ගත්තාය. දැනට මාස කිහිපයකට පෙර ෆෙඩ්රික් නමැති ජර්මන් ජාතිකයකු වට්ස් ඇප් හරහා ඇයගේ මිතුරෙකු බවට පත්විය. ඔහු සමඟ ඇය නිතරම කෙටි පණිවිඩ හුවමාරු කර ගත්තේය. එම පුද්ගලයා දිනක් ඇයගේ වට්ස් ඇප් ගිණුමට මෙලෙස පණිවුඩයක් තැබුවේය.

“මාස කිහිපයක ඉඳන් අපි එස්. එම්. එස්. වලින් පණිවුඩ හුවමාරු කරගන්නවා විතරයි. ඔයා හොඳ කෙනෙක් කියලා තේරෙනවා. ඒක නිසා මම ආසයි ඔයත් එක්ක කතා කරන්න. මගේ හැම විස්තරයක්ම ඔයාට කියන්න. වරදවා මං ගැන හිතන්න එපා. ඔයා කැමතිනම් විතරක් අපි කතා කරමු.”

විමලාගේ සිතේ ද එම පුද්ගලයා පිළිබඳව මැවී තිබුණේ යහපත් ප්‍රතිරූපයකි. එම නිසා ඔහුගේ ඉල්ලීම අහක දැමීමට ඇය කිසිසේත් කැමති වූයේ නැත. ඒ අනුව ඇය ඔහුට මෙලෙස කෙටි පණිවිඩයක් තැබුවාය.

“ඇයි මම ඔයා ගැන වැරදියට හිතන්නෙ. ඔයා ඕන වෙලාවක මට කෝල් කරන්න.”

එම කෙටි පණිවුඩය දුටු විගසම ෆෙඩ්රික් ඇමතුමක් ලබා ගෙන ඇය සමඟ මෙලෙස කතා බස් කළහ.

“හෙලෝ විමලා මම ෆෙඩ්රික්.”

“ඔව් මම දන්නවා. ඉතින් කොහොමද.”

“මම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?”

“මමත් හොඳින් ඉන්නවා.”

“මෙච්චර කල් අපි එස්. එම්. එස්. වලින් විතරයිනේ දැන හැඳින ගත්තේ. මට හිතුනා ඔයත් එක්ක කතා කරන්න.”

“ඒකනේ. ඉතිං කියන්න ඔයා ගැන විස්තර.”

“ඔයා දන්නවනේ මම ජර්මන් ජාතිකයෙක් කියලා. මගේ බිරිඳ මැරිලා දැන් අවුරුදු ගාණක් වෙනවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් විවාහ වෙලා වෙනම ඉන්නේ. දැන් මම තනිකඩ ජීවිතයක් ගෙවන්නේ.”

“එහෙමද. මම නම් විවාහ වෙලා නෑ තවම.”

“ඇත්තටම ඔයා මැරි කරලා නැද්ද?”

“නැහැ ඇත්තටම නැහැ.”

“ඇයි අනේ තවමත් ලස්සනට ඉන්නවා. මැරි කළේ නැත්තේ.”

“ඒක ලොකු කතාවක්. මම කැමති නැහැ දැන් ඒ ගැන මතක් කරනවාටත්.”

“සමාවෙන්න. මම ඔයාගේ හිත රිද්දුවා නම්.”

“නැහැ ඔයා මගේ හිත රිද්දුවේ නැහැ. මම කිව්වේ මගේ හිතේ තියෙන දේ. ඒ ගැන ඔයා කලබල වෙන්න එපා.”

“හරි අපි ඒ ගැන කතා නොකර ඉමු.”

“ඒක නෙවෙයි මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?”

“ඕන දෙයක් අහන්න විමලා. මම අවංකවම උත්තර දෙනවා.”

“ඇයි ඔයා ආයි කසාද බැන්දේ නැත්තේ.”

“මට ආයි කසාද බඳින්න සුදුසු කෙනෙක් හම්බ වුණේ නැහැ.”

“ඇයි ඔය රටේ ඕන තරම් ලස්සන කෙල්ලො ඉන්නේ.”

“ඒක නම් ඇත්ත. ඒත් මට ගැළපෙන කෙනෙක් හම්බ වුණේ නැහැ.”

“තවමත් හොයනවද ඔයා කෙනෙක්ව”

“ඔව් මට ගැළපෙන කෙනෙක් හම්බ වුණොත් මම කසාද බඳිනවා. මට ඇතිවෙනකන් සල්ලි තියෙනවා. මට ඒ සල්ලි වලින් කසාද බඳින කෙනත් එක්ක සුපිරි ජීවිතයක් ගත කරන්න පුළුවන්.”

“සල්ලි තියෙනවා නම් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්නේ.”

“අනේ එහෙම බැහැ. ගොඩක් අය මට කැමැති වෙන්නේ මගේ සල්ලි නිසා. මම එහෙම අයට කොහෙත්ම කැමැති නැහැ.”

“ඔව් ඔයා කියන කතාවත් ඇත්ත. ගොඩක් ගෑණු කැමති සල්ලිවලට විතරයි.”

“මම හිතන්නෙ ඔයා මැරි කරානම් හොඳයි කියලා.”

“මටත් එහෙම හිතෙන වාර අනන්තයි. ඒත් මට ගැළපෙන කෙනෙක් මට හම්බ වුණේ නැහැ.”

“ඉතින් දැන් හොයාගන්න.”

“ඇත්තටම මං මේ රටේ අයට දැන් කැමති නෑහැ. දෙන්නෙක් තුන්දෙනෙක් මාව රැවැට්ටුවා.”

“එහෙමද ?”

“ඔව් ඒක තමයි මම මැරි නොකරන්න ප්‍රධානම හේතුව.”

“දැන් ඔයා ඕවා ගැන හිතලා දුක්වෙන්න එපා. හිත හොඳ අයට තමයි වරදින්නේ.”

“අනේ නැහැ මට ඒ ගැන කිසිම දුකක් නැහැ දැන්.”

“ඔයාගේ ඒ කතාව ඇහුවම මට ගොඩක් දුක හිතුනා ඔයා ගැන.”

“ඒ සිද්ධියත් එක්ක පිරිමි ගැන මගේ සිතේ ලොකු කළකිරීමක් ඇති වුණා. ඒ අනුව මම තීරණය කළා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා.”

එතනින් නොනැවතුණු ඔවුන් දෙදෙනා පැය කිහිපයක් පමණ ආගිය තොරතුරු කතාබස් කළහ. එතැන් සිට දිනපතාම දෙදෙනා තම තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගත්හ. සති කීහිපයක් එලෙස ගතවිය. තවත් එක් දිනක ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

“විමලා දැන් අපි මාසයක් විතර වෙනවා දැන් අඳුරගෙන. ඒක නිසා මම ඔයාට යම් යෝජනාවක් ගේන්න ඉන්නේ. කමක් නැතිද ඒක ඔයාට කිව්වට.”

“කිසි ප්‍රශ්නයක් නෑ පෙඩ්රික් ඔයා කියන්න.”

“හැබැයි මේක අහලා ඔයා හිත කලබල කර ගන්නත් එපා.”

“ඔයාට පිස්සුද ? මම එහෙම කර ගන්නේ නැහැ. මගේ හිත හයියයි. ඕනම දෙයක් දරාගන්න පුළුවන්.”

“ඇත්තටම මම ඔයාට ආදරෙයි.”

“මොනවා.”

“ඔව් මම ඇත්ත කියන්නේ.”

“මට ඒක හිතාගන්නවත් බැහැ පෙඩ්රික්.”

“ඇයි එහෙම කියන්නේ. දැන් අපි මාස ගණනක් කතා කළා. එතකොට මට තේරුණා ඔයා හොඳ කෙනෙක් කියලා. ඒක නිසා තමයි මම ඔයාට ඇත්තටම ආදරෙයි කිව්වේ.”

“මටනම් මේක අදහගන්නවත් බැහැ. ඒ වුණාට අපි දැන් වයසයිනේ.”

“එහෙම හිතන්න එපා. අවංක ආදරයට වයස බාධාවක් නොවෙයි. ඔයා ඒ ගැන අහලා නැද්ද?”

“ඕන තරම් අහල තියෙනවා. ඒත් මට තවම හිතාගන්න බැහැ. ඔයා කරපු මේ යෝජනාවට.”

“ඇයි හිතාගන්න බැරි. ඔයාට මාව අවිශ්වාසද.?”

“කවදාවත් මට ඔයාව අවිශ්වාස නැහැ. ඒත් මට මේක විශ්වාස කරන්න බෑහැ තවම. මම මේ හීනයක් දකිනවා ද කියලා හිතෙනවා. ”

“එහෙම හිතන්න එපා. මේක සැබෑ වෙන හීනයක්. මම ඇත්තටම ඔයාට ආදරෙයි.”

“නැහැ නැහැ මම වැරදියට ඔයා ගැන හිතලා එහෙම කිව්වේ නැහැ. තවමත් මට මේක හිතාගන්න බැරි දෙයක් ”

“මම හොඳට හිතලා මේ තීරණය ගත්තේ. මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.”

“මේ වගේ යෝජනාවකට මම කොහොමද අකැමැති වෙන්නේ. මමත් ඇත්තටම ඔයාට ආදරෙයි. මගේ හිතෙත් ඔයා ගැන පැහැදීමක් තිබුණා.”

“විමලා මගේ ජීවිතේ සතුටුම දවසක් අද. මට මගේ ජීවිතේ යළි හම්බුනා වගේ දැනෙනවා.”

“මටත් එහෙමයි. මැරෙනකම් මම ඔයා ළඟ ඉන්නවා. ඒ වගේම ඉක්මනට ඔයාව අපේ රටට ගෙන්න ගෙන කසාද බඳිනවා.”

දෙදෙනාගේ ආදර කතාව එදින එලෙස පටන් ගත්හ. එතැන් සිට විමලාගේ ජීවිතයම වූයේ ජර්මන් ජාතික පෙඩ්රික් පමණි. ආදරයෙන් පැරදී සිටි ඇය යළි තම ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගත්තාය. ලද සෑම මොහොතකම දෙදෙනා පෙම් බස් දෙඩූහ.

තවත් දිනක පෙඩ්රික් ඇයට මෙලෙස පැවසුවේය.

“මම ඔයාට දෙයක් කියන්න හිටියේ.”

“ඒ මොකක්ද පෙඩ්රික්.”

“මගෙ ළඟ වයිෆ්ගෙ රත්තරන් බඩු ගොඩක් තියෙනවා. ඒව කෝටි ගාණක් වටිනවා. මම ඒ ටික ඔයාට එවන්න ඉන්නේ.”

“මට” (ඇය පුදුමයෙන් මෙන් එලෙස ඇසුවාය.)

“ඔව් ඔයාට තමයි. දැන් ඒවා අයිති වෙන්න ඕනා ඔයාටනේ.”

“අනේ මට ඒක හිතාගන්නවත් බැහැ. එච්චර වටින රත්තරන් බඩු මට මොකටද?”

“ඒ ගැන හිතන්න එපා. මම නේ ඔයාට ඒවා දෙන්නෙ.”

“රත්තරන් බඩු එපා මට ඕනේ ඔයාව.”

“මම ඒක දන්නවා. ඒක නිසා තමයි මම බඳින්නත් ඉස්සෙල්ලා මේවා දෙන්න තීරණය කළේ.”

“අනේ මන්දා ඔයාගේ කැමැත්තක්.”

“ඒ විතරක් නොවෙයි. ඒ රත්තරන් බඩු එක්ක මම සල්ලි වගේකුත් එවනවා. සේරම වටිනාකම කෝටි හතරක් විතර වෙනවා.”

“ඇයි පෙඩ්රික් ඔයා මට ඕච්චර සල්ලි රත්තරන් බඩු එවන්නේ.”

“ඔයා මගේ අනාගත බිරිඳ නිසා. මම ඉක්මනටම ඒ බඩු ටික ලංකාවට එවනවා.”

“මම නම් ආයි කියන්නේ ඕනේ නැහැ කියලා.”

“එහෙම කියන්න එපා. මම එක තිරණය කරලා ඉවරයි.”

“ඉතින් මම මොනාද ඔයාට දෙන්නේ.”

“මට ඔයාගෙන් මොකුත් එපා. ආදරය විතරක් කරන්න.”

“මගේ ජීවිතයටත් වඩා ඔයාට මම ආදරෙයි.”

“ඒක මම දන්නවා.”

දෙදෙනාගේ කථාව එලෙස අවසන් විය.

දින කිහිපයක් ගතවිය. තවත් එක් දිනක කෝටි හතරක වටිනාකමින් යුතු සල්ලි සහ රත්තරන් බඩු මෙරටට දැමූ බව ඔහු පැවසීය. ඒ සමඟම එම භාණ්ඩ දැමූ ආයතනයේ නමක් සහ රිසිට් වගයක්ද ඇයට එව්වේය. එලෙස භාණ්ඩ දමා දින දෙකකට පසු පෙඩ්රික් ඇයට ඇමතුමක් ලබා දී මෙලෙස පැවසුවේය.

“විමලා පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.”

“ඒ මොකක්ද පෙඩ්රික්.”

“මම එවපු භාණ්ඩවල වටිනාකම වැඩි නිසා එම කුරියර් ආයතනයට සල්ලි වගයක් බඳින්න වෙලා තියෙනවා. ඒවා මට මෙහෙ ඉඳන් බඳින්න බැහැ.”

“ඉතින් මම මොකද්ද කරන්න ඕනා.”

“මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම්. ඒකට ඔයාට සල්ලි දාන්න පුළුවන්ද?”

“ඕක සුළු දෙයක්නේ.”

“මට මෙහෙ ඉඳන් ඒ එකවුන්ට් එකට සල්ලි දාන්න බැහැ ඒකයි මම ඔයාට කිව්වේ.”

“හරි හරි ඒක ප්‍රශ්නයක් නැහැ. කීයක් දාන්න ඕනද?.”

“ලක්ෂ පහක් දාන්න ඕනා.”

“හරි මම හෙට දාන්නම්. ඔයා මට එකවුන්ට් නම්බර් එක එවන්න”

ෆෙඩ්රික්ගේ කීමට අනුව ඔහු ලබා දුන් එම ගිණුම් අංකයට පසුදිනම රුපියල් ලක්ෂ පහක මුදලක් තැන්පත් කළාය. එහි ගිණුම් හිමියාගේ නම ලෙස සඳහන්ව තිබුණේ ජෝන් ස්මිත් නමැති නමකි. එලෙස මුදල් තැන්පත් කර තවත් දින දෙකකට පසු තවත් ලක්ෂ තුනක මුදලක් තැන්පත් කරන ලෙස පෙඩ්රික් අයට පැවසුවේය. ඒ අනුව එම මුදල ද ඇය එම ගිණුමේ තැන්පත් කළා ය. එතනින් නොනැවතුණු ඔහු තවත් අවස්ථා කිහිපයකදීම ඇයට මුදල් තැන්පත් කරන ලෙස පැවසුවේය. ෆෙඩ්රික්ව විශ්වාස කළ ඇය කිසිදු බියක් සැකක් නැතුව එම මුදල් ද තැන්පත් කළාය. අවසානයේ ඇය එම කෝටි ගණනක් වටිනා රත්තරන් සහ මුදල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 29ක මුදලක් එම ගිණුමට තැන්පත් කර තිබුණාය.

එලෙස මුදල් තැන්පත් කළ පසු පෙඩ්රික් ඇය සමඟ කතා කිරීම ක්‍රමක්‍රමයෙන් මග හැරියේය. ඒ පිළිබඳව ඇය විමසූ විට ඔහු පැවසුවේ මේ දිනවල තමා කාර්යබහුල බවයි. තවත් දින කිහිපයක් එලෙස ගතවිය. එක්වරම ඔහුගේ ජංගම දුරකථනයද විසන්ධි කර තිබුණි. දින කිහිපයක් ඇය හැඬූ කඳුළින් යුතුව ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළාය. එහෙත් පලක් වූයේ නැත. අවසානයේ තමන් කිසියම් පුද්ගලයකුට රැවටී ඇති බව ඇය තේරුම් ගත්තාය. අවසානයේ ඇය කන්තලේ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළාය. පැමිණිල්ලට අනුව ඇය වංචාකාරයෙකුට රැවටී ඇති බව පොලිස් නිලධාරීහු තේරුම් ගත්හ. ඇයගෙන් ලබාගත් තොරතුරු මත මෙම වංචාකරු කවුරුන්ද යන්න පිළිබඳව එම නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මෙය අද ඊයේ සිදුවූවක් නොව, දැනට වසර ගණනක සිට කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් කාන්තාවන් රවටා මෙවැනි වංචනික ක්‍රියා සිදු කරති. එම නිසා ඔබත් මෙවැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මිතුරු වී මුදල් සහ තෑගිබෝග දීමට එන මෙවැනි වංචනිකයන්ට හසු නොවන්න.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරී 1 රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලකරත්න මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ගයාන් සමරසිංහ.
පසුබිම් වාර්තාව –
කන්තලේ ඩබ්. එම්.
වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment