පාර්ලිමේන්තුව නැංවීමට ජාත්‍යන්තරය ආයෝජනය කළ ඩොලර් වතුරේද?

299

ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත් කළේ පාර්ලිමේන්තු ක්‍රියාකලාපය තුළද යන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතු කර ඇත. එම සංවිධානය රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීමට වහාම ඉටු කළ යුතු බවට නිර්දේශ කළ කොන්දේසි හෙළිදරව් කරන්නේ පසුගිය ආණ්ඩු කීපයම ආර්ථිකය විනාශ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ බවයි. වගවිය යුතු බවයි.

අතිශය දූෂිත සහ වගකීම් විරහිත ආණ්ඩුක්‍රම ක්‍රියාවලිය තුළ තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය අස්ථාවරභාවය ඉදිරියට ගෙන යන එන්ජිම පාර්ලිමේන්තුවයි. එම අවාසනාවන්ත තත්ත්වය පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත අවධාරණය කර තිබේ.

එහි උච්ඡතම අවස්ථාව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන නායකත්වය දෙන ව්‍යවස්ථාදායක සභාව රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිවයුතු බව ප්‍රකාශ කරමින් අරගලකරුවන් වැටලිය යුතු වන්නේ එහි සාමාජිකයන්ගේ නිවාස බව ප්‍රකාශ කිරීමයි. කථානායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව මැති ඇමැතිවරුන් 7 දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට එල්ල කළ චෝදනාව උලුප්පා දක්වන සත්‍යය සමස්ත ක්‍රමවේදයම අසාර්ථක බවයි.

බංකොළොත් ශ්‍රී ලංකාවට මාස 48 කාලය තුළ (2023 මාර්තු සිට) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික 8 කින් ලබා දීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 තාවකාලිකව නවතා දමා වික්‍රමසිංහ . රාජපක්ෂ රජය සපුරාලිය යුතු කොන්දේසි 16 අවධාරණය කර ඇත්තේ සමස්ත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්‍රියාවලියේ බිඳ වැටීමයි. එවැනි තත්ත්වයක් තුළ ඇමෙරිකාව ඇතුළුව අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන පාර්ලිමේන්තුව නැංවීමට කර ඇති විශාල ආයෝජනය සම්පූර්ණයෙන්ම වතුරේද යන ප්‍රශ්නය නැඟේ.

දශක දෙකකට වැඩි කාලයක් මූල්‍ය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති පාර්ලිමේන්තුව 2017 සම්මත කළ අංක 12 දරන විදේශ විනිමය පනත මගින් රට බංකොළොත් කිරීමට අවශ්‍ය වාතාවරණයද සැලසූ බවට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත නැගෙන චෝදනා බැහැර කළ නොහැක. ඒ 1953 සිට ක්‍රියාත්මක වූ විදේශ විනිමය පනත වෙනුවට නව පනතක් 2017 ක්‍රියාත්මක කිරීමෙන් අපනයන ආදායම් පිටරට රඳවා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

එලෙස රඳවාගෙන ඇති ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කළ යුතු මුදල ඇමෙරිකානු ඩොලර් බිලයන ගණනකි. එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු සිට අවුරුදු 4 තුළ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ මේ අවස්ථාවේ අක්‍රීය කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 මෙන් කිහිප ගුණයකි. රාජ්‍ය මූල්‍යයට වගකිවයුතු පාර්ලිමේන්තුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක්
අනුගමනය කරයි. රටට එරෙහි කුමන්ත්‍රණය තව දුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය කාර්යය ඉටු කරයි.

ජාත්‍යන්තර ගිවිසුම් ගොන්නක්

පාර්ලිමේන්තුව නැංවීමට ජාත්‍යන්තරය ආයෝජනය කළ ඩොලර් වතුරේද?

මෙම තත්ත්වය යටතේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට 2020 අගෝස්තු දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගිවිසුම්ගතවූ රටවල්/ සංවිධාන (දේශීය සහ විදේශීය) සහ එම ගිවිසුම්වල වටිනාකම (ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ එම මුදල්වල වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින්) ඉල්ලා මෙම ලියුම්කරු ඉල්ලුම් පත්‍රයක් පර්ලිමේන්තුවට යොමු කළේය. එමෙන්ම 2022 ජුලි මාසයෙන් පසුව (නව ජනාධිපතිවරයා පත්කර ගැනීමෙන් පසුව) ඇතිකර ගත් ගිවිසුම් සහ එම ගිවිසුම්වල වටිනාකම (ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ එම වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින්) ඉල්ලා සිටියේය.

1989, 1994, 2000, 2004, 2015, 2020 පැවැත්වූ මහ මැතිවරණවලින් පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගිවිසුම්ගතවූ රටවල් සහ සංවිධාන සහ එම ගිවිසුම්වල වටිනාකම (ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ එම වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින්).

පිළිතුර: එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්මිනිස්ටර් පදනම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය, SLPP -Sri Lanka Parliament Project (2016 සැප්තැම්බර් අවසන් විය), Strengthening Democratic Governance and Accountability Project (2016 නොවැම්බර් අවසන් විය ), Inclusive Participatory Processes Project” National Democratic Institute” International Republican Institute සහ නිදහස සඳහා ෆ්‍රෙඩ්රික් නුමන් පදනම.

මෙහිදී ගිවිසුම්ගත මූල්‍ය වටිනාකමක් නොමැති අතර අදාළ කාලසීමාව තුළ පවත්නා සංවර්ධන ව්‍යාපෘති පමණක් සිදුවේ.

(2) එම ගිවිසුම්ගතවූ හේතුන් වෙන වෙනම අදාළ මහ මැතිවරණය පැවැත්වූ වර්ෂය /කාලය සමඟ හෙළිදරව් කළ හැකිද ?

පිළිතුර : 2016 ජුනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංවර්ධන ආධාරක තුන් අවුරුදු සැලසුම් ව්‍යාපෘතියක් (2017.2019) දියත් කළේය. මෙහි මූලික අරමුණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත කාර්යය ඵලදායි ලෙස ඉටුකිරීමේ හැකියාව ශක්තිමත් කිරීම දැක්විය හැක. නැවතත් මෙම තුන් අවුරුදු කාලසීමාව අවසානයේදී අදාළ ඉලක්ක යාවත්කාලීන කිරීමත් නව ඉලක්ක හඳුනාගැනීමත් සිදු කරමින් ඔක්තෝබර් මාසයේ සිට 2020.2023 සඳහා නව සැලැස්මකට අනුකූලව පෙර පරිදි මෙම කටයුතු පවත්වාගෙන යෑම සිදු විය.

(3) එම මුදල් විගණනය කළේ ද? විගණනය කළේ නම්, කුමන ආයතනය මගින්ද?

පිළිතුර : මෙහිදී මුදල් ගනුදෙනුවක් සිදු නොවන බැවින් අභ්‍යන්තර විගණනයක් සිදු නොවේ. (මෙහිදී කිසිදු මුදල් ගනුදෙනුවක් සංවිධාන /ව්‍යාපෘති මගින් සිදු නොවන අතර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විවිධාකාරවූ විශේෂඥ සහය ලබාදීම, ගරු මන්ත්‍රීවරුන්ගේ /සේවකයන්ගේ හැකියාවන් සංවර්ධනය හා ධාරිතාව ගොඩනැඟීම සඳහා වූ පුහුණු වැඩසටහන් පැවැත්වීම /ඒ සඳහා වන්නා වූ විදේශ පුහුණු අවස්ථා ලබාදීම, ප්‍රාග්ධන ද්‍රව්‍ය සැපයීම ආදී /සේවා පමනක් ලැබී තිබේ.

(4) එසේ නොකළේ නම්, ඊට හේතු?

පිළිතුර : අදාළ නොවේ.

(5) එලෙස ගිවිසුම්ගත වීමට යම්කිසි පිළිගත් ක්‍රමවේදයක් තිබේද?

පිළිතුර :පාර්ලිමේන්තු සංවර්ධන ආධාරක තුන් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය තුළින් මූලිකව හඳුනාගත් ඉලක්ක 7 ක් සාක්ෂාත් කර ගැනීම සඳහා අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සහයෝගිතාවයෙන් බහු පක්ෂ මැදිහත්කරු වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, මෙම පාර්ලිමේන්තු සංවර්ධන ව්‍යාපෘතිය 2016 ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. (1) පාර්ලිමේන්තුව සඳහා උපාය මාර්ගික සැලසුම් (2) කමිටු ක්‍රමය ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිපුණතා සංවර්ධනය (3) පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සහ එහි භාවිතයන් (4) පර්යේෂණ සහ ප්‍රතිපත්ති විශ්ලේෂණ සේවා ශක්තිමත් කිරීම (5) මහජන සම්බන්ධතා සහ නීතිමය ක්‍රියාවලියේ පුරවැසියන්ගේ මැදිහත්වීම (6) ව්‍යවස්ථාදායක, පරිපාලන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම (7) කාන්ත ව්‍යවස්ථාදායක නියෝජනය වැඩි කිරීම / තීරණ ගැනීමේදී ඔවුන්ගේ සහභාගිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලය ධාරිතාවයකින් ක්‍රියාකිරීම සඳහා ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුව උත්සහ කරයි.

මෙම ව්‍යාපෘතියේ කළමනාකරණ ව්‍යුහයට ව්‍යාපෘති උපදේශක මණ්ඩලයක්, ව්‍යාපෘති කළමනාකාරවරයෙක්, ව්‍යාපෘති ආධාරක ඒකකයක්, ව්‍යාපෘති සහතික කිරීම/ප්‍රතිපත්ති සහ තාක්ෂණික උපදේශන සේවාවන් ඇතුළත් විය. මෙම උපදේශක මණ්ඩලයට එවකට කථානායක තුමා, එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ රාජ්‍ය අධ්‍යක්ෂක, පාර්ලිමේන්තු මහා ලේකම්, පක්ෂ, විපක්ෂ නියෝජිත මන්ත්‍රීවරුන් ඇතුළුව නියෝජිතයන් 8 දෙනකුගෙන් සමන්විත විය.

මෙහිදී මූලික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර 6 ක් ඔස්සේ යමින් පාර්ලිමේන්තුවේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කටයුතු සිදු වී ඇත. එම සැලසුම් ඔස්සේ යමින් අදාළ කාලසීමාව තුළ ඒ ඒ සංවර්ධන නියෝජිතයන් මෙම සංවර්ධන කටයුතු බෙදාගනිමින් අනු ව්‍යාපෘති හරහා ප්‍රාග්ධනය ඇතුළු අනෙකුත් සේවාවන් සැපයීමට කටයුතු කර ඇත.

(6) චීනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ප්‍රධානය කළ පරිගණක ගණන සහ වටිනාකම කොපමණද?

පිළිතුර : ලැප්ටොප් පරිගණක 268, වටිනාකම ඇමෙරිකානු ඩොලර් 287,491.64

(7) 2016 දී අපවත් වූ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව ලබා දුන් රුපියල් මිලියන 300 න් එම කාර්යය නිමා කිරීමට හැකිවූවාද?

(8) අවසන් ප්‍රශ්නය : මෙවැනි විශාල මුදලක් යෙදවීමට දෙපාර්ශ්වය එකඟ වූ වැඩසටහන කුමක්ද? එම වැඩසටහන පිළිවෙළ සකස් කළේ පාර්ලිමේන්තුවද? සහ ආණ්ඩු පක්ෂය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමඟ එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයක් තිබේද?

පිළිතුර : හත්වෙනි සහ අටවෙනි ප්‍රශ්න හරහා ඉල්ලා ඇති තොරතුරු පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලය සන්තකයේ, භාරයේ හෝ පාලනයේ නොමැත. එබැවින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය අනුව ඔබගේ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මෙම ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට තීරණය කළේ සැප්තැම්බර් මාසයේ 4 වන දින පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වසර පහක කාලයක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධික මුදලක් එම සංවිධානයේ කොළඹ සිටින නේවාසික නියෝජිතයා කථානායකවරයාට පොරොන්දු වූ බවට පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනය නිසාය.

එම නිවේදනය The Island පුවත්පත උලුප්පා දැක්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අවධාරණය කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධික මුදලක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බවත් එයින් කොටසක් පාර්ලිමේන්තුවට බවත්ය.

භූමියේ තත්ත්වය

පාර්ලිමේන්තුව නැංවීමට ජාත්‍යන්තර ප්‍රජාව අදහාගත නොහැකි මුදලක් වියදම් කර ඇත. නමුත් රටේ මූල්‍ය ස්ථාවරත්වයට වගකිව යුතු එමෙන්ම වගවිය යුතු පාර්ලිමේන්තුව එම වැඩසටහන්වලින් ප්‍රයෝජනයක් ලබා ඇති බව වර්තමාන බංකොළොත් තත්ත්වය තුළ කිසිසේත්ම කිව නොහැක. කරු ජයසූරිය කථානායක ලෙස කටයුතු කළ 2016.2019 කාලයේදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක ආයෝජනයක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.92) කළේය. පාර්ලිමේන්තුව ඇතුළුව සමස්ත රාජ්‍යතන්ත්‍රයේ උන්නතිය සඳහා කළ එම ආයෝජනයෙන් ශ්‍රී ලංකාවට සෙතක් වූයේද? පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ජාත්‍යන්තර ප්‍රජාව පාර්ලිමේන්තු ක්‍රමය නැංවීමට කර ඇති, තව දුරටත් කරන වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කරන බව නොපෙනේ. කිසිදු තත්ත්වයේ විගණනයක් ද නැත.

යහපාලන සමයේ ක්‍රියාත්මක කළ රු. බි. 1.92 වැඩසටහන සම්බන්ධයෙන් මෑතකදී මෙම ලියුම්කරු කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමට එහි ප්‍රකාශිකාවක දුන් පිළිතුරුවලින් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැක. ඇමෙරිකානු තානාපති කාර්යාලය එම ව්‍යාපෘතියේ කිසිදු අඩුපාඩුවක් නිරීක්ෂණය කර නැත. කෙටියෙන් කිවහොත් ශ්‍රී ලංකාව බංකොළොත් වීමට නොහැක. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කාලයේ එවකට යහපාලන රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.05 ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් අධික පොලියට ගත් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නොසලකා හැර ඇත. අදාළ ගිවිසුම 2016 නොවැම්බර් මාසයේ අත්සන් කරන අවස්ථාවේදී මහා බැංකුව දෙවරක් මංකොල්ල කා තිබූ බව පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් කතා කරන කිසිවකුට මතක නැත. චෝදනාවට ලක්වූ සහ චෝදනා කළ කණ්ඩායම එක ආණ්ඩුවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමතක වී නැත. ආණ්ඩුව හෝ විපක්ෂය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන යහපාලන සහ වංචා සහ දූෂණය වැළැක්වීමේ වාර්තාව අප රට ඉටුකළ යුතු කොන්දේසි 16 පාර්ලිමේන්තුව නිරුවත් කර ඇත. එම කොන්දේසි සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලැජ්ජා විය යුතුය. මීට පෙර 16 වතාවක් එම ආයතනය ඉදිරියේ දණ නමා ඇති ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යෑම සඳහා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු කොන්දේසි අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ පාලකයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි. නීති සම්පාදනයට වගකිව යුතු පාර්ලිමේන්තුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් සංවේදී විය යුතුය.

ප්‍රධාන විපක්ෂය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම කොන්දේසි සම්බන්ධව තම ස්ථාවරය හෙළි කළ යුතුය.

මෙම නිර්දේශ මගින් ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ගෙන එන බවත් තමන් දිගින් දිගටම මූල්‍ය අරමුදලට යන ලෙස මුල සිටම අවධාරණය කළේ මෙවැනි කරුණු නිසා බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

  1. 2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයන්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.
  2. දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ (ජනාධිපති, අගමැති, ඇමැති සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වන විට ප්‍රසිද්ධ කිරීම.
  3. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.
  4. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.
  5. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලැයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.
  6. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.
  7. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබඳව වාර්තාවක් 2024 දෙසැම්බර් වනවිට වෙබ් අඩවියක පළ කිරීම.
  8. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියලුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියලුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමිවූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතනවලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම. මෙම තොරතුරු මාස 06 කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.
  9. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  10. විනිවිදභාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයැඳුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.
  11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.
  12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒවා තුළ කෙටිකාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීම.
  13. සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වනවිට ඉදිරිපත් කිරීම.
  14. බැංකු අංශයේ සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම.
  15. 2024 දෙසැම්බර් වනවිට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම.
  16. අධිකරණ සේවා කොමිසමේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

තත්ත්වය පැහැදිළිය. රට විනාශ කිරීමට වගකිවයුතු සහ වගවිය යුතු ‘කණ්ඩායම’ කවුරුදැයි ලෝකයට රහසක් නොවන බව ආණ්ඩුව, විපක්ෂය සහ රාජ්‍ය සේවය පිළිගත යුතුය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment