ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුවේ කල් මැරිල්ලෙන් මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක්

1

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේදී ආණ්ඩුව කල් මරණ බවට සාධාරණ සැකයක් ඇති වන බවත් ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක්ද මතු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒමහතා මේ බව සදහන් කර සිටියේ 22දා පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේද අදහස් දැක්වීය.

ආණ්ඩුව මේ වන විට පාර්ශව තුනක් සමග ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ චීනය හැර ණය දුන් රාජ්‍යයන්ගෙන් සමන්විත නිල ණය හිමි කමිටුව, චීනය සහ බැඳුම්කර හිමියන්. චීනය සහ නිල ණය හිමි කමිටුව සමග එකඟතාවයන්ට එළැඹෙන්න ආණ්ඩුව සමත් වුණත් බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ සියළුම සාකච්ඡා අසාර්ථකයි. බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා. ඩොලර් බිලියන දොලහමාරක් බැඳුම්කර ආයෝජනය කරලා එකින් එක නොගෙවා තිබියදී මේ අයගේ පපුව ගිනි අරන්. 2022 ගෙවන්න තිබුණු ඩොලර් බැඳුම්කරවල එක ශතයක් තවම ගෙවා නෑ. තමන්ගේ මුදල් ගෙවන්නේ නැතිව හිර වෙලා තිබුණාම එතැන ආවස්ථික පරිවැයක් තිබෙන නිසා බැඳුම්කර හිමියෝ ප්‍රමාද පොලියක් බලාපොරොත්තු වෙනවා. 2023 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද පොලිය විතරක් ඩොලර් මිලියන 1,678ක් එකතු වෙලා තිබෙනවා. මේක දිනපතා ඉහළ යනවා.

බංකොලොත් බව ප්‍රකාශ කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කෝවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ බංකොලොත් වුණු රාජ්‍ය ගණනාවක් තිබෙනවා. ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානා, කෙන්යාව, ලෙබනනය, පකිස්තානය, ටියුනීසියාව, යුක්රේනය සහ සැම්බියාව ඒ අතරේ තිබෙනවා. මේ රටවල් අවුරුදු දෙකක් සාකච්ඡා කරමින් හිටියේ නෑ. ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වුණු වහාම තම මුදල් ගෙවීම සුළුවෙන් හෝ අරඹාවි කියා බැඳුම්කර හිමියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේදී ආණ්ඩුව කල් මරණවාය කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක් දැන් මතු වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර මහතාද අදහස් දැක්වූ අතර පක්ෂයේ වත්තල ආසන සංවිධායක නන්දන ජයලත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment