භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

3361

පෘථිවියේ ඇති ජලය නොකඩවා චක‍්‍රීය ලෙස විවිධ ක‍්‍රියාකාරකම්වලට භාජනය වන අතර, එම චක‍්‍රීය ක‍්‍රියාකාරකම් ජල චක‍්‍රය (Hydrological Cycle) ලෙස හඳුන්වනු ලැබේ. මෙම ක‍්‍රියාකාරකම් අතර ඝනීභවනය (condensation), වර්ෂාපතනය (Precipitation), පොළොව තුළට ජලය ගලා යෑමේ ක‍්‍රියාවලිය (Infiltration), පොළොව මතුපිට දිගේ ජලය ගලා යෑම (Runoff) හා උත්ස්වේදනය (Evaporation) ප‍්‍රධාන තැනක් ගනී.

පොළොව තුළට ජලය යෑමෙන් පසු සවිවරතාව ඇති පස්, වැලි හා කුස්තුර සහිත පාෂාණවල රැඳී පවතින ජලය භූගත ජලය (Groundwater) ලෙස හඳුන්වනු ලබන අතර, ගබඩා වූ ජලය සවිවරතාව (Porosity) ඇති පස්, වැලි, ස්ථර හා කුස්තුර සහිත පාෂාණ ස්ථර හරහා ඉතා සෙමින් ගමන් කර අවසානයේදී උල්පත් ලෙස, ගංගා වකට, ඇල මාර්ගයට හෝ මුහුදට යන පරිසර පද්ධතිවලට එකතු වේ. භූගත ජලය රැඳී පවතින විවිධ භූ විද්‍යාත්මක ස්ථර ජලධර (aquifer) ලෙස හඳුන්වන අතර, පවතින භූ විද්‍යාත්මක තත්ත්වයට අනුව එම ජලධර වෙන් වෙන්ව හෝ එකිනෙකට ජල විද්‍යාත්මක සම්බන්ධයක් ඇතිව (Hydraulic Connection) පිහිටීම සිදුවේ.

අප රටේ පවතින භූ විද්‍යාත්මක තත්ත්වවලට (Hydrogeological conditions) අනුව රටේ භූමි ප‍්‍රමාණයෙන් 90% පමණ භූගත ජලය පිහිටීමේ විභවතාවය අඩු තද පාෂාණ (Hard Rock) වලින් සමන්විත වන අතර ඉදිරි භූමි ප‍්‍රමාණය භූගත ජලය පිහිටීමේ විභවතාවය වැඩි අවසාදිත පාෂාණ සමන්විත වේ. අවසාදිත පාෂාණ (Sedimentary rock) ලංකාවේ උතුර වයඹ හා ඊසාන ප‍්‍රදේශවලට පමණක් සීමා වී ඇත. භූගත ජලය පිහිටීමේ විභවතාවය අඩු තද පාෂාණවල කුස්තුර (Fractures) පවතින විට එම කලාප පමණක් ජලධරයක් ලෙස ක‍්‍රියාකරනු ලබයි.

පසුගිය වසර 25 – 30 ක කාලය තුළ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ජල සම්පත් මණ්ඩලය මගින් සිදුකරන ලද අධ්‍යයන තොරතුරු පදනම් කරගෙන ප‍්‍රධාන ජලධර 6 ක් ලංකාව තුළ හඳුනාගෙන ඇත. මෙම විවිධ ජලධර විශේෂිත වූ ගුණාංගවලින් යුක්ත වන නිසා එවා සංවර්ධන හා කළමනාකරණය සඳහා විවිධ ක‍්‍රම උපායන් යොදාගත යුතු වේ.

භූගත ජලය හා පරිසරය සැලකීමේදී ප‍්‍රධාන වශයෙන් සංසිද්ධීන් (ක‍්‍රියාවලියන්) දෙකක් හඳුනා ගැනීමට හැකිවේ.

1). පොළොව මතුපිට ඇති ජලය පොළොව තුළට කාන්දු වීම හා භූගත ජලධරවලට එකතුවීම.

පොළොව මතුපිට ඇති ජලය ජලධරවලට එකතුවීම ප‍්‍රතිඵලයක් ලෙස භූගත ජල මට්ටම වැඩිවීම, භූගත ජලයේ ඇති රසායනික සංඝටකවල සාන්ද්‍රනය අඩු වීම, පාංශු තෙතමනය වැඩිවීම, මතුපිට ඇති ජලයේ දියවන අපවිත‍්‍ර ද්‍රව්‍ය එකතුවීමේ හැකියාව වැඩිවීම, රසායනිකව වෙනස් විවිධ ජලධරවල ඇති ජලය මිශ‍්‍ර වීම, ජලධර සම්තෘප්ත වීම, හා ප‍්‍රමාණාත්මක වැඩිවීම ප‍්‍රධාන වශයෙන් සිදුවේ. මෙම ක‍්‍රියාවලිය සිදු වීම මූලික වශයෙන් වර්ෂා කාලවලදී සිදුවේ.

2) ජලධරවල ඇති ජලය පරිසර පද්ධතිවලට එකතුවීම

ජලධරවල ඇති භූගත ජලය පරිසර පද්ධතිවලට එකතුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ගංගා, ඇල දොල, තෙත්බිම් පෝෂණය වීම, ජලධරවල ජල මට්ටම් අඩුවීම, භූගත ජලය හා මතුපිට ජලය මිශ‍්‍රවීම, උල්පත්වල ජල ප‍්‍රමාණයන් හා පිටතට එන ජල ප‍්‍රමාණය වැඩිවීම සහ කාලයකට පමණක් ජලය ඇති උල්පත් සක‍්‍රීය වීම දැකිය හැකිය.

මෙම ක‍්‍රියාවලි දෙක හරහා භූගත ජලධරවලට එකතු වන හා ජලධරවලින් පරිසර පද්ධතිවලට යන ජල ප‍්‍රමාණයන් හා භූගත ජලධරවල ඇති ජල මට්ටම සමතුලිත සීමාවක නොපවතින්නේ නම් භූගත ජලයෙන් පරිසර පද්ධතියට ඇතිවන බලපෑම සෙමින් සැලකිය යුතු මට්ටමක් දක්වා වර්ධනය වීම සිදුවේ. භූගත ජලය නිසා පරිසරයට වන වෙනස් වීම් ක්ෂණිකව දැකීමට නොලැබෙන අතර එය කිසියම් කාලසීමාවට පසුව දැකීමට හැකිවේ. භූගත ජල වෙනස්වීම ඇතිවීමට බලපාන ප‍්‍රධාන කාරණා ලෙස කාලගුණ වෙනස්වීම (දිගුකාලීන දේශගුණික වෙනස්වීම, තීව‍්‍ර වූ වර්ෂාව ලැබීම) හා මිනිසා විසින් සිදුකරන ලද ක‍්‍රියාමාර්ග වේ. මිනිසුන් විසින් සිදු කරන ලද ක‍්‍රියාමාර්ග අතර ජලය රැඳිය හැකි පස් හා වැලි තට්ටු ඉවත් කිරීම, ඉඩම් පරිහරණ රටාව වෙනස්වීම, මතුපිට ගලා යන ජලය කළමනාකරණයේ ගැටලූ, පොළොව තුළට ජලය ගලායෑමේ ප‍්‍රදේශ එළිකිරීම, පොළොවෙන් අනවශ්‍ය හා අසීමිත ලෙස ජලය පොම්ප කිරීම ඉන් සමහරක් වේ.

මිනිසා විසින් සිදුකරන ලද බොහෝ ක‍්‍රියාකාරකම් කිසියම් සීමාවක් තුළ පාලනය කළ හැකි අතර, කාලගුණික විපර්යාස (Climatic Change) පාලනය කිරීමේ හැකියාව ඉතා අඩුය. තවද මෙම භූගත ජලයට වන්නා වූ බලපෑම වෙන් වෙන්ව හඳුනා ගැනීම ද ඉතා අසීරු වේ.

අප රට තුළ පවතින ජලධරවලට සිදුවන පාරිසරික බලපෑම එම ජලධර සංවර්ධනය කිරීම හා එහි පවත්නා භූගත ජලය කළමනාකරණ සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

උතුරු අර්ධද්වීපයේ පවතින අවසාදිත හුණුගල් සහිත නොගැඹුරු ජලධර (shallow karstic aquifer) හා වෙරළ ආශ‍්‍රිත වර්ධනය වී ඇති වැලි නිධි ආශ‍්‍රිත නොගැඹුරු ජලධරවල (coastal aquifer) හා කළමනාකරණය වැලි නිධි ආශ‍්‍රිතව වර්ධනය වී ඇති ජලධරවල වැලි අංශු අතර ජලය රැඳී පවතින අතර උතුරු අර්ධද්වීපයේ අවසාදිත හුණුගල් ආශ‍්‍රිතව හුණුගල්වල කුහරවල භූගත ජලය රැඳී පවතියි. මෙම බොහෝ කුහර විවිධ ප‍්‍රමාණයෙන් පිහිටා ඇති අතර, එකිනෙකට සම්බන්ධව පවතී. මෙම ජලධර දෙකෙහිම මිරිදිය ජලය (Fresh water) කරදිය ජලය (Saline water) මත පාවෙන ආකාරයට පිහිටා ඇති අතර, එය කරදිය ජලය හා මිරිදිය ජලය අතර පවතින ඝනත්වය මත සමතුලිතව ජලධරවල රැඳී පවතී. ජලධරවල මිරිදිය ජලය හා කරදිය ජලය වෙන්කරන ප‍්‍රදේශය කලාපයක් ලෙස පිහිටා ඇති අතර එම කලාපය ඉහළ පහළ චලනය වීම ජලධරයට ජලය එකතුවීම හා ජලධරයෙන් ජලය බැහැර වන ක‍්‍රියාකාරකම්වලින් භූගත ජල මට්ටම වන බලපෑම් අනුව වෙනස් වේ. උදා:- වර්ෂා කාලයේදී භූගතජල මට්ටම මුහුදු මට්ටමට වඩා මීටරයකින් වැඩි වන්නේ නම් මිරිදිය ජලය හා කරදිය ජලය පවතින සීමාව (කලාපය) මීටර් 35 – 40 ක් පමණ පහළට තල්ලූ වේ. එම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස මිරිදිය ජල ස්ථරයේ ඝනකම වැඩිවේ. මෙම ක‍්‍රියාවලිය වියළි කාලයේදී සම්පූර්ණ වශයෙන් අනෙක් පැත්තට හැරේ. භූගතජල මට්ටම මුහුදු මට්ටමට වඩා මීටරයක් අඩු වන්නේ නම් මිරිදිය හා කරදිය වෙන් කරන කලාප මීටර් 35 – 40 ක් උඩ අතට තල්ලූ වේ. එමගින් මිරිදිය සහිත භූගත ජල තට්ටුවේ ඝනකම අඩු වේ.

උතුරු අර්ධද්වීපයේ නිලාවර ප‍්‍රදේශයේ ඇති ළිඳ (Bottom less well) උපරිම ගැඹුර මීටර් (52 ප) වන අතර එහි ජලයේ විද්‍යුත් සන්නායකතාවය ගැඹුර සමඟ වෙනස් වන ආකාරය රූප සටහන් 01 හි දැක්වේ (තොරතුරු : පරමාණු බලශක්ති අධිකාරිය, 2016).

භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

ඡායාරූප 01: නිලාවර ප‍්‍රදේශයේ ඇති ළිඳේ ගැඹුර සමඟ විද්‍යුත් සන්නායකතාවය (Electric Conductivity of groundwater) වෙනස් වීම ජල මට්ටමේ සිට මීටර් 15 ක් දක්වා කලාපය මිරිදිය ජලය පවතින අතර ඉන් පහළ කලාපය කරදිය ජලයෙන් යුක්ත වේ.

උතුරු අර්ධද්වීපයේ හුණුගල්වල පවතින ජලය විශාල ලෙස පොම්ප කර ගොවිතැන් කටයුතු සඳහා යොදා ගනු ලැබේ. මෙම ගොවිබිම්වලට යොදන ජලය කොටසක් නැවත ජල ධරවලට නිරතුරුවම එකතු වන අතර එය චක‍්‍රීය රටාවකට සිදුවන බව සමස්ථානික පරීක්ෂාවලින් දැනටමත් තහවුරු කර ඇත. මෙහිදී ගොවි කටයුතුවලදී යොදා ගන්නා කෘෂිරසායන වලින් කොටසක් භූගත ජලයට නිරන්තරව එකතු වේ. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස භූගත ජලයේ නයිට‍්‍රට් පැවතීම වැඩිවී ඇත. වර්ෂා කාලයේ දී වර්ෂා ජලයෙන් තරමක් දුරට භූගත ජලය ස්වභාවික පිරිසිදු වීමත් සිදුවේ. මෙම අර්ධද්වීපය භූගත ජලය ප‍්‍රධාන වශයෙන් දකුණු – උතුරු දිසාව දෙසට චලනය වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂා කාලයේ දී උතුරු වෙරළේ ඇති උල්පත් සක‍්‍රීය වීම සිදුවේ.

ඉහත සඳහන් කළ ජලභූවිද්‍යාත්මක හේතුවලට අනුව එම ජලධර පරිසරයට ඉතා සංවේදී වන ආකාරයට පිහිටා ඇත. එම නිසා දිගුකාලීන භූගතජල මට්ටම හා ජලය ගුණාත්මක තත්ත්වය පසුවිපරම් කිරීම ඉතා අනිවාර්ය කටයුත්තක් වන අතර එම තොරතුරු මෙම ප‍්‍රදේශය භූගත ජල සංවර්ධනයට හා කළමනාකාරීත්වය ඉතා ඉවහල් වේ. මෙම ජලධරවලින් ජලය ලබා ගැනීමේදී භූගත ජල මට්ටමට ඉතා අඩු බලපෑමක් වන ආකාරය සිදුකිරීම කාලෝචිත වන අතර එකිනෙකට සම්බන්ධ ලිං (lateral wells) ඉදිකිරීම ඉතා සුදුසු වේ. තවද වැසි ජලය සෘජුවම ජල මට්ටමට එකතු වන ආකාරයට සිදු කිරීම තුළින් භූගත ජලයේ ගුණාත්මකභාවය කිසියම් දුරකට පාලනය කිරීමට හැකිවේ. ඉදිරියේදී හුණුගල් සහිත ජලධරවලින් පරිසරයට එකතු වන ජල ප‍්‍රමාණය අඩු කිරීම හා ජලධරවල රැඳෙන ජල ප‍්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයන කටයුතු සිදු කිරීම ඉතා වැදගත් වේ.

වැලිනිධි වල පවතින මිරිදිය භූගත ජලය පවතින තට්ටුවල ඝනකම හුණුගල්වල ඇති මිරිදිය භූගත ජලයේ ඝනකමට වඩා ඉතා අඩු වේ. එම ජලධර පවතින බොහෝ ප‍්‍රදේශ කලපු හා මුහුදු පරිසර කාලපවලින් මැදි වූ ආකාරයට පිහිටා ඇති අතර, එම ප‍්‍රදේශ වල පළල අඩු හා දිග වැඩි ආකාරයට මිරිදිය ජලනිධි ස්වභාවිකව පිහිටා ඇත. මෙම ජලධර අවසාදිත හුණුගල් ජලධරවලට සමාන අයුරින් පරිසරයට ඉතාම සංවේදී ආකාරයට පිහිටා ඇත. මෙම ජලධරවලින් ජලය ලබා ගැනීමේදී ජලධරවල සීමාවන් සම්බන්ධව දැනුවත් වී තිබීම, ජලධරවල හැසිරීම සම්බන්ධව පසු විපරම් තොතුරු අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. තවද එම ජලධරවලින් කලපු හා මුහුදු පරිසරයට ගලා යන ජල ප‍්‍රමාණය අඩු කිරීම සඳහා අධ්‍යයන කටයුතු සිදු කිරීම උචිත වේ. එමෙන්ම මෙම ජලධරවල පවතින වැලි ඉවත් කිරීම තුළින් එම ජලධරවල භූගත ජලය රැඳීම ධාරිතාව අඩු වීම සිදුවේ.

අවසාදිත හුණුගල් සහිත ජලධරවල හා වෙරළ ආශ‍්‍රිතව වර්ධනය වී ඇති ජලධරවල සමතුලිත අවස්ථාවේදී ජල මට්ටම විශාල ලෙස වෙනස් නොවන අතර මිරිදිය හා කරදිය වෙන්කර සීමාව පිහිටීම ඇති ගැඹුර අඩු හෝ වැඩිවීම සිදුවේ.

තද පාෂාණ ඇති කලාපවල පවතින භූගත ජලධරවල (shallow regolith aquifer and fractured hard rock aquifer) හා කළමනාකරණය

තද පාෂාණ (විපරිත වර්ගයේ පාෂාණ) පවතින ප‍්‍රදේශ වල සවිවරතාවය වැඩි පස් කලාපයේ යට කොටසේ හා පාෂාණ කලාපවල කුස්තුරවල භූගත ජලය පවතී. පස් කලාපයේ යට කොටසේ ඇති භූගත ජලය නොගැඹුරු භූගත ජලය (Shallow groundwater) ලෙසත්, හා පාෂාණ කලාපයේ පවතින භූගත ජලය ගැඹුරු භූගත ජලය (Deep groundwater) ලෙසත්, අර්ථ දක්වනු ලබයි. මෙම භූගත ජලය වර්ෂා ජලයෙන්, වාරි පද්ධති වලින්, ජලාශ හා වැව් වලින් පෝෂණය වනු ලැබේ.

වගා කටයුතුවලට යොදාගන්නා ඉඩමක් තුළ මතුපිට ජලය ගලායෑම වේගය අඩු කිරීම සඳහා හා මතුපිට ජලය රඳා ගැනීමට හැකිවන පරිදි ප‍්‍රධාන වශයෙන් කුට්ටි කාණු හා වැසි ජලය පොළොවේ රැඳෙන පරිදි සිදුරු සහිත මතුපිට පස් කලාපයක් පැවතීම, තැනිතලා ඉඩම්වල සීමාවන් දිගේ පස් බැමි ඉදිකිරීම වැනි ක‍්‍රියාමාර්ග තුළින් පොළොව තුළට ගලා යන ජල ප‍්‍රමාණය වැඩිකිරීම සිදුකරගත හැක. මෙම කටයුතු ප‍්‍රදේශයේ පවතින ජල භූවිද්‍යාත්මක තත්ත්ව අනුව සිදුකිරීම තුළින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.

තවද වනාන්තර කටයුතු සඳහා යටි වගාවන් ඇතිවන පරිදි හා කාලයක් සමඟ වර්ෂා ජලය පොළොවේ රැඳෙන පරිදි ගස් වර්ග තෝරා ගැනීම වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ බොහෝ ස්වාභාවික පහත් බිම් ස්ථානගත වී ඇත්තේ පස් කලාපයේ ගැඹුර වැඩි ප‍්‍රදේශ වලය. එම නිසා එම ප‍්‍රදේශවල පවතින කුඹුරුවල නිරතුරුව ජලය රැඳවීමට සැලැස්වීම තුළින් භූගතජල පෝෂණය වැඩි කර ගැනීමේ හැකියාව ඇත. කඳු ආශ‍්‍රිත ප‍්‍රදේශවල කුට්ටි කාණු යොදා වගා කටයුතු වලදී ඉඩම් සුදුසු පරිදි සැකසීමේදී නාය යන (Land slide) ප‍්‍රදේශ පිළිබඳ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. පසුගිය වසර 30 ඇතුළත වයඹ පාළාත තුළ ඉදිකරන ලද නළ ළිං වල තොරතුරු උපයෝගි කරගෙන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සිදුකරන ලද අධ්‍යයනවලට අනුව භූගත ජල මට්ටම (1980 – 2000) හා (2000 – 2020) කාල පරිච්ෙඡ්දය තුළ සාපේක්ෂ වෙනස් වීම (විශේෂයෙන් අඩුවීම) රූපසටහන් 02න් දැක්වේ. මෙම කාල සීමාව තුළ වර්ෂාපතනය සැලකිල්ලට ගත්විට විශාල ලෙස අඩුවීමක් හෝ වැඩි වීමක් දක්නට නොලැබෙන අතර එම තොරතුරු රූප සටහන් 03 හි දක්වා ඇත.

මෙම පළාතේ පවතින කාලගුණ තොරතුරුවලට අනුව ජල මට්ටමට ඇති වන බලපෑම විශේෂයෙන් වියළි කලාපයට වැඩි බව පැහැදිළිව පෙන්නුම් කරයි.

භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

රූපසටහන 02 : (1980 – 2000) දක්වා හා (2000 – 2020) දක්වා වයඹ පාළාත තුළ භූගත ජල මට්ටම වෙනස් වීම

භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

රූපසටහන 03 : වාර්ෂික වර්ෂාපතනය (1980 – 2020) දක්වා වෙනස් වීම (වර්ෂාපතන මානය : උඩුබද්දාව)

තවද මහවැලි ගංගා ද්‍රෝණියේ සැලකිල්ලට ගත්විට විවිධ ජලද්‍රෝණි සඳහා ජලය හැරවීම හා මහවැලි ගඟ හරහා විශාල ජලශ ඉදිකිරීම් දැකිය හැකිය. එම හේතුව නිසා ජලාශවලින් පහළ ගංගා ප‍්‍රදේශවලට මුදාහරින ජල ප‍්‍රමාණයන් කිසියම් පාලනයකට යටත්ව නිදහස් කරනු ලබයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මනම්පිටිය දුම්රිය මාර්ගයේ පාලම අසල මහවැලි ගංගාවේ ජල මට්ටම් නොකඩවා පසු විපරම් කටයුතුවලට භාජනය කරමින් පවතී. එහිදී ලබාගත් (2000 – 2018) දක්වා කාල පරිච්ෙඡ්දයේ ජල මට්ටම වෙනස්වීම රූපසටහන් 04 දැක්වේ.

භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

රූපසටහන 04 : 2000 – 2018 දක්වා කාලය තුළ මනම්පිටිය පාලම අසල මහවැලි ගගේ ජල මට්ටම වෙනස් වීම

භූගත ජලය, පරිසරය හා කළමනාකාරීත්වය

රූපසටහන 05 : වාර්ෂික වර්ෂාපතනය (2000 – 2018) දක්වා වෙනස් වීම (වර්ෂාපතන මානය: මාතලේ)

මෙම කාල වකවානුව තුළදී මෙම ජල ද්‍රෝණියට ලැබී ඇති වර්ෂාවේ සැලකිය යුතු වෙනසක් නොපෙන්වන අතර එම කාලපරිච්ෙඡ්දය තුළ මාතලේ කාලගුණ විද්‍යා ඒකකයේ වාර්ෂික වර්ෂාපතනය තොරතුරු (2000-2018) රූපසටහන් 05 හි දක්වා ඇත.

මෙම සටහනට අනුව 2014 වර්ෂයෙන් පසු මහවැලි ගංගාවේ ජල මට්ටම් මීටර් 0.5 -1.0 ක් පමණ අඩුවී ඇති බව පැහැදිළිව දක්නට ලැබේ. තවද එම කාලසීමාව තුළ මහවැලි ගංගාවේ ජලය වෙනත් ජල ද්‍රෝණියට මුදා හැරීමක් ද දක්නට නොමැත. එම නිසා මහවැලි ගංගාවේ ජල මට්ටම අඩුවීමට කාලගුණ වෙනස්වීම සෘජුවම බලපෑ ඇති බව පෙනී ඇත.

කෙසේ වෙතත් එම තොරතුරුවලට අනුව වියළි කාලයේදී භූගත ජලය ගංගා ඇල මාර්ගවලට ගලායෑම ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවී ඇති බව පෙනේ. එම නිසා මහවැලි ගංගා ජල ද්‍රෝණිය භූගත ජල පෝෂණය වැඩි කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. තවද මෙම කටයුතු දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු කාලයේදී කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාව තුළ ඇති උතුරා යන ළිං (Artisian wells) හා කළමනාකරණය

දිවයින පුරා විශාල උතුරා යන නළ ළිං, නොගැඹුරු උල්පත් විශාල ප‍්‍රමාණයක් දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල විසිරී පවතී. භූගත ජලධරවල ඇති ජලය පීඩන තත්ත්වවල පවතින විට ජලය උතුරා යන තත්ත්වයක් පෙන්නුම් කරයි. එම උතුරා යන නළ ළිං සියල්ලේම එම තත්ත්වය නතර කිරීමට කටයුතු කිරීම මඟින් භූගත ජලධර ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඇත.

තවද උතුරා යන නොගැඹුරු ළිං හා උල්පත්වල පවතින පීඩනය කිසියම් මට්ටමකට අඩු කර ගැනීමේ තුළින් ජලධර තුළ වැඩි ජල ප‍්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ නමුත් මෙම කටයුත්ත නිසි අධ්‍යයනයකින් පසුව සිදු කිරීම ඉතා වැදගත් වේ.

ගංගා ඇල මාර්ග දිගේ ජලය ගබඩා වී ඇති වැලි සහිත ජලධර (Alluvial Aquifer) හා කළමනාකරණය

අප රටේ පවතින සෑම ගංගාවක් හා ඇල මාර්ගයක්ම භූගත වියළි කලාපයේදී ගලායන ජලය ප‍්‍රධාන වශයෙන් භූගත ජලයෙන් පෝෂණය වන ජලය වේ. එසේම ගඟ ඇලදොළවල පිහිටන ජල මට්ටම ආශ‍්‍රිත ගංගාව බොහෝවිට දෙපස ඇති නොගැඹුරු ජලධරවල ජල මට්ටම වෙනස් වේ.

රටේ සංවර්ධන කටයුතු සඳහා බොහෝ ගංගාවල වැලි නිධි කැණීම් (sand mining) සිදුකිරීම හේතුවෙන් ගංගා හා ඇලමාර්ගවල ජල මට්ටම් අඩුවීම සඳහා බලපෑමක් ඇති කරයි. එම නිසා එම වැලි කැනීම් කටයුතු විධිමත් ලෙස හා භූගත ජලයට හානියක් නොවන ලෙස කරගෙන යෑම ඉතා වැදගත් වේ.

රටේ සංවර්ධන හා ජල මූලාශ‍්‍ර (මතුපිට ජලය හා භූගත ජලය) ආරක්ෂා කිරීම කාර්ය දෙකක් නොවන අතර එම කාර්යයන් දෙක තුළනාත්මකව සිදු කිරීම අප සැමගේම වගකීමක් ලෙස සලකා ක‍්‍රියාකිරීම තුළින් වර්තමානයට හා අනාගතය බොහෝ ජයග‍්‍රාහණ ඇති කර ගැනීම් හැකියාව ඇත. තවද එම කටයුත්ත සඳහා නව නීති සම්පාදනය හා ක‍්‍රමෝපායන් සකස් කිරීම ඉතා වැදගත් වේ.

භූවිද්‍යාඥ කේ. එම්. පේ‍්‍රමතිලක
B.Sc.(Geo), M.Sc.(Hydrogeology),
MIMM(Lon),C.Geol(IGSL),MIGSL(SL)
සහකාර සාමාන්‍යාධිකාරි (භූගත ජල)
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

advertistmentadvertistment
advertistmentadvertistment