අන්තවාදයට ජාතිවාදයට යළි ඉඩක් නැහැ

91

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඩකලපු සමගි වනිතා සමුළුව අමතමින් කියයි

රටේ විවිධ ආගම් හා ජාතීන්ට සම්බන්ධ ජනතාව සිටින බවත් මේ සෑම ආගමකටම සහ ජාතියකටම රටේ නිදහසක් ඇති බවත් සෑම ආගමකටම ජාතියකටම එකට ජීවත් විය හැකි සංහිඳියාව, සහෝදරත්වය, එකමුතුභාවය, වර්ධනය කරන වැඩපිළිවෙළකට යොමු වන බවත් කිසිදු අවස්ථාවක කිසිදු ආගමකට ජාතියකට අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ මඩකලපුව ගාන්ධි පාර්ක්හිදී පැවැති සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී තවදුරටත් කතා කළ ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

වත්මන් ආණ්ඩුව සහ ආණ්ඩුව සමඟ එකතු වන විපක්ෂයේ කණ්ඩායම් සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට බිය වී සමගි ජන බලවේගයේ මැයි රැළිය පවත්වන්න ඉල්ලා සිටි තැන ලබානොදී ඔවුන්ට හිතවත් අයට එම ස්ථානය ලබාදී ඇති බවත් ජාත්‍යන්තර කම්කරු දිනයේ මෙවැනි දේශපාලනික වශයෙන් පහත් දේවල් සිදු නොකරන ලෙසත් ආණ්ඩුව තැනක් දුන්නත් නොදුන්නත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙරට කාන්තා අයිතිය වර්ධනය කරන්නට, කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමට සුවිශාල පියවර රැසක් ගන්නා බවත් ඒ යටතේ කාන්තා මූලික පවුල්වල කාන්තාවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන නිසා මෙම කාන්තා මූලික පවුල් ගැන සංගණනයක් සිදු කර මේ පවුල්වලට විශේෂිත සංවර්ධන වැඩසටහනක් දියත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේ ම ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට යටවීම නිසා ආදරණිය කාන්තාවන් ණය බරන් තෙරපී ඇති පීඩනකාරී ජීවිතයක් ගත කර නිසා මෙම ණය මුදලින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් රටේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 33%ක් වැනි අවම අගයක් නිසා රට පුරා කර්මාන්තපුර ආරම්භ කර කාන්තා කේන්ද්‍රීය රැකියා බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන්ගේ ආර්ථික, සමාජීය, දේශපාලන අයිතිය සුරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධන බලකායක් ඇති කරන බවත් මෙරට බහුතරය වන 52%ක් කාන්තාවන් වුවත් රටේ ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් පාර්ලිමේන්තුවේ සහ පළාත් පාලන නියෝජනත්වය තුළ පවා කාන්තා නියෝජනය අඩු බවත් වර්තමානයේ කාන්තාවන්ට පළාත් පාලන නියෝජනත්වය 25%ක් වෙන් කළා මෙන් මෙය වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ පමණක් වී සඳහා ස්ථාවර මිල ලබා දෙන්න විවිධ පුද්ගලයන් කටයුතු කළත් එය යථාර්ථයක් බවට පත් කරන්නේ සමගි ජන බලවේගය බවත් කවුරු කයිවාරු පම්පෝරි ගැසුවත් සමගි ජන බලවේගය හැර සෑම විපක්ෂයක්ම කතාව විතරක් බවත් වැඩ කිරීම් නොමැති බවත් 76 වසරක ක්‍රමය වෙනස් කර බලයක් නොමැතිව වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මඩකලපුව – ජවුෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment