පාර්ලිමේන්තුවේ වාර අවසන්!

88

කෝප් කෝපා ඇතුළු කමිටු රැසක් අහෝසියි
නව සැසිය පෙබරවාරි 8 වැනිදා

පාර්ලිමේන්තුව ඊයේ (27 දා) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.

ඊට අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබේ.

පාර්ලිමේන්තු නව සැසි වාරය පෙබරවාරි මස 08 දා පෙරවරු 10ට ආරම්භ කෙරේ.

මීට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී පෙබරවාරි මස 07 දා පෙරවරු 9.30ට දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කර තිබිණි.

මෙලෙස වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූවද ඔවුහු සිය ධුරයේ රැඳී සිටිති.

වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි. එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය.

කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.

සැසිවාරය මෙලෙස අවසන් කිරීම මගින් පාර්ලිමේන්තුවේ ඇති කෝප්, කෝපා, මුදල් කාරක සභාව, වරප්‍රසාද කමිටුව, අංශික අධීක්‍ෂණ කාරක සභා ඇතුළු කාරක සභා රැසක් අහෝසි වනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment