ඡන්දෙට සල්ලි නැද්ද?… ‘සල්ලි අමාරුව’ ගැන භාණ්ඩාගාරය මැතිවරණ කොමිසමට දැනුම් දීලා

143

මේ දිනවල බොහෝ කතාබහට ලක්වෙන කරුණක් වී ඇත්තේ ඉදිරි මැතිවරණයට යන වියදමයි. මැතිවරණයකට වියදම් කිරීමට මුදල් නැති බවත් ඡන්දය තියනවා නම් තියන්න වන්නේ මුදල් අච්චු ගසා බවටත් අදහස් ඉදිරිපත් වේ. මේ අතර මැතිවරණ කොමිසම පැත්තෙන් ප්‍රකාශ වන්නේ ඡන්දයට මුදල් වෙන් කර ඇති බවකි. මෙහි ඇත්ත නැත්ත කුමක් ද? පසුගිය විසර්ජන පනතින් බොහෝ රාජ්‍ය වියදම් සඳහා මෙන්ම මැතිවරණයට අවශ්‍ය මුදල් ද වෙන් කරනු ලැබ ඇත. එහෙත් ඒවා ඇස්තමේන්තු බව අමතක නොකළ යුතුය. එනම් මුදල් වෙන් කළ පමණින් එහි අදහස ඒ මුදල් භාණ්ඩාගාරය සතුව තිබෙන බවම නොවේ. අයවැයක් ඉදිරිපත් වන්නේ අනාගත වර්ෂයක් වෙනුවෙනි. එහි ආදායම් සහ වියදම් ඇස්තමේන්තු තිබේ. ආදායම් රැස් වන්නේ වර්ෂය පුරාය. එහෙත් රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට අවශ්‍ය වූ විට රජය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර එසේම මහ බැංකුවෙන් හෝ රජයට රාජ්‍ය බැංකු දෙකේ ඇති ගිණුම්වලට අයිරා ලබාගෙන හෝ එම වියදම් පියවනු ලබයි. ඒ නිසා ඇතැම් වියදම් දරන අවස්ථාවේ රජයට මුදල් නැතත් මුදල් ලැබුණු පසුව ඒවා පියවීමට හැකියාව තිබේ.

මේ අතරම රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තු එලෙසම යථාර්ථයක් බවට පත්වීම ද සිදු නොවේ. මේ නිසා අයවැයෙන් ඇස්තමේන්තු කළ පරිදිම රජයේ බදු ආදායම් රැස් කර ගැනීමට නොහැකි විය හැකිය. බොහෝ විට සිදුවන්නේ රාජ්‍ය බදු ආදායම් අධිතක්සේරු කර තිබීමයි. අයවැයේ ඇත්තේ බොහෝ විට අධිතක්සේරු කළ ඉලක්කයන්ය. 2023 වසරේ බදු ආදායම ගතහොත් පෙර වසරට වඩා සියයට 69 කින් පමණ ආදායම් වර්ධනයක් ඇති කර ගැනීමට රජය ඉලක්ක කර ඇත. සංකෝචනය වන ආර්ථික තත්ත්වයක දී එතරම් ආදායම් වර්ධනයක් ඇතිකරගත හැකි ද යන ගැටලුව තිබේ. ඒ නිසා අයවැයෙන් අනුමත වී තිබුණත් ඒ අනුව මුදල් වෙන් කර තිබුණත් අපේක්ෂිත පරිදි ආදායම් රැස් නොවීමෙන් මුදල් හිඟ තත්ත්වයක් රජයට ඇති විය හැකිය. මෙසේ සිදු වන්නේ නිසි පරිදි අයවැයෙන් රජයේ ආදායම් සහ වියදම් තක්සේරු නොකිරීම නිසාය. මේ නිසා රජයේ ආදායම් වියදම් නිසි ලෙස තක්සේරු කර අයවැය ලේඛනය සම්පාදනය කළා නම් රජයට සිය වියදම් සඳහා මෙවැනි මුදල් නැති බව කියන කතා කීමට සිදුවන්නේ නැත. විසර්ජන පනතේ ඇති දළ ආදායමට දළ වියදම සමාන වන අතර විසර්ජන පනත පාර්ලිමේන්තුව මගින් අනුමත කර ඇති නිසා එම ආදායම් වියදම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මේ කියන දළ ආදායමට බදු ආදායම, බදු නොවන ආදායම සහ රජය ණය වශයෙන් ලබා ගන්නා මුදලත් ඇතුළත් වෙයි. ඒ දළ ආදායමට රජයේ දළ වියදම සමාන නිසා වියදම් සඳහා මුදල් නැතැයි කීම ප්‍රායෝගික කතාවක් නොවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් එකඟ වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය 13 සිකුරාදා ‘දිවයින’ට පවසා තිබේ. එම පුවතේ සඳහන් පරිදි භාණ්ඩාගාර නිලධාරීහු පසුගිය ජනවාරි 11දා මැතිවරණ කාර්යාලයේදී මැතිවරණ නිලධාරීන් හමුවී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහි දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හා ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මුදල් අවශ්‍ය වන අවස්ථාවන්හිදී එම ප්‍රමාණයන් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමට එහි නිලධාරීන් මැතිවරණ කොමිසමට එකඟ වී ඇත.

මැතිවරණ යනු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. මහ මැතිවරණයක් හා ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට තවත් කාලයක් ඇත. එහෙත් සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය මේවන විට අවසන්වී ඇති අතර දැනට ඒවා පවත්වාගෙන යන්නේ නිල කාලය දීර්ඝ කිරීමෙනි. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර පහකට පසුවය. පවතින නීතිය අනුව පළාත් පාලන ආයතනවල කාලය තවත් දීර්ඝ කළ නොහැක. දේශපාලන විචාරකයින් පවසන්නේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ හෝ මේ මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ද දැනට නොමැති බවයි. දැනට ආරංචි වන්නේ 2023 වසරේ මාර්තු මස මුල් භාගයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි. මැතිවරණ නීතිය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මේවන විට පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කොමිෂන් සභාව මේ වන විට සියලු කටයුතු නීත්‍යානුකුලව සිදු කර ඇති බවයි. මේ පසුබිම තුළ බාධා මධ්‍යයේ වුවත් නියමිත පරිදි මේ මැතිවරණය පැවැත්වෙනු ඇති බව සිතිය හැකිය. දැනට නාමයෝජනා කැඳවා ඇති නමුත් පළාත් පාලන මැතිවරණය අවසන් මොහොතේ හෝ කල් දැමීමේ සූදානමක ආණ්ඩුව තවදුරටත් නිරත වී සිටිනවා විය හැකිය. මේ මොහොතේ සැබෑ ජනමතය හෙළිවීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට ප්‍රශ්නයක් වී තිබෙනවා විය හැකිය. මේ නිසා මුදල් ප්‍රශ්නය කරළියට දමා ඡන්දය කල් දැමීමේ උප්පරවැට්ටියක රජයේ ඇතැමුන් නිරත වී සිටින බවට දැකිය හැකිව තිබේ.

බදු ආදායම් පහත වැටී ඇති නිසා රජයට මුදල් ප්‍රශ්න තිබුණත් රජය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර මුදල් ගන්නේ ඒ සඳහාය. පසුව රජය විසින් ඒ මුදල් පියවීමද සිදු කරයි. කෙසේ හෝ රජයේ නොයෙක් පාර්ශ්වයන්ගෙන් මේ මුදල් නැති කතාව අපට අසන්නට ලැබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද මැතිවරණයට මුදල් නැති කතාව කියා ඇත. එහෙත් එසේ කියා රාජ්‍ය සේවක වැටුප් නොගෙවා සිටිනවාද? විශ්‍රාම වැටුප් හෝ වෙනත් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් නොකර සිටිනවා ද? එසේ වූ බවක් මෙතෙක් අපට නම් දැනගන්නට නැත. මේ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 13 වැනිදා ‘දිවයින’ කතුවැකියේ මෙසේ සඳහන් විය.

‘ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කට ඇරියොත් කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට බැරි බවය. අපගේ වැටහීමට අනුව, බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා මේ මූසල කතාව නිතර නිතර නොකිය යුතුය. එය කනට විශාල අමිහිරක්ද, මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කරන කතාවකි. මෙබඳු කතා මේ උගත් ඇමැතිවරයා විසින් මීට පෙරද පවසනු ලැබ තිබේ. එහෙත් ඒ කිසිදු මාසයක රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට බැරි වී නැත. පඩි නැතිව ආහාර හිඟයෙන් මියගිය රාජ්‍ය සේවකයන් ගැනද කිසිදු ආරංචියක්ද නැත.’

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් එකඟ වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා ඇති බව කීවත් අපට භාණ්ඩාගාරය පැත්තෙන් ඇසෙන්නේ එම හමුවේ දී එවැන්නක් සිදුව නැති බවයි. ඒ වෙනුවට භාණ්ඩාගාර නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඡන්දයට මුදල් ලබාදීම සඳහා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් දුෂ්කරතා පිළිබඳවයි. ඒ නිසා මැතිවරණයට මුදල් නැති කතාව වලංගු නැති කතාවක් නොවේ. රජයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ද මුදල් සොයා ගන්නේ අපහසුවෙනි. මෙවැනි පසුබිමක මැතිවරණයකට අවශ්‍ය වියදම් දැරීම ද පහසු නැත. එහෙත් එය නොකර බැරි තැනට පැමිණ ඇත. ඒ සඳහා මුදල් අවශ්‍ය අවස්ථාවේ දී ලබා දීමට භාණ්ඩාගාර නිලධාරීන්ට සිදුවනු ඇති බව අපගේ අදහසයි. කෙසේ වෙතත් මැතිවරණයට මුදල් නැති කතාව තවදුරටත් රජයේ පැත්තෙන් දිගටම ඇසෙනු ඇතැයි ද අපි සිතමු. ඒ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට රජයේ ඇති අකැමැත්ත නිසාය. එහෙත් මේ කාලයේ රජයේ සියලු වියදම් දරන්නේ අපහසුවෙනි. ඒ බව රටම දනී. එහෙත් මේ නිසා රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම, වැටුප් යනාදිය ගෙවීමත් නතර කරනවාද ? එවැන්නක් සිදු වන්නේ නැත. දැන් නීතියෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතු තැනට අප පැමිණ හමාරය. එහෙත් මේ මැතිවරණය මඟ හැරීම සදහා රජය හෙට දවසේ කවර උපායක් යොදනු ඇති ද යන්න නම් අපට සිතා ගැනීමට අපහසුය.

● සුබසාධක ප්‍රතිලාභීන් හඳුනා ගැනීම ඇනහිටලා

මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම අපේක්ෂාවෙන් සිටිමු. එහෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් නිසා අපගේ මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීම ද තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ. ඒ සඳහා මේ නිසා ද්විපාර්ශවික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. එතෙක් අපට අප ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වනු ඇත. මේ නිසා ණය කපා හැරීමකට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී ඇත. බී. බී. සී. ගුවන් විදුලිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය වීරසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ. චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වන අතර එමගින් සියලු දෙනාට යහපතක් වනු ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. අපත් අපේක්ෂා කරන්නේ අදාළ මූල්‍යකරණ සහතික කඩිනමින් ලැබී ඉතා ඉක්මනින් මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලැබී එම මුදල් වාරික ලැබෙනු ඇති බවයි. එහෙත් එය බොහෝ විට මේ වසරේ (2023) දෙවන කාර්තුව දක්වා කල් ඇදෙනු ඇති බව ද පැවසේ. එනම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ගෝලීය පර්යේෂණ අංශය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක සඳහන් වේ. ඒ බව මෙරට මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ (2023) අවසානය දක්වා කල් ඇදෙනු ඇතැයිද එම විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.

ද්විපාර්ශවික ණය දෙන්නත් සමග සාකච්ඡාවලට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවන බැවින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම ප්‍රමාද විය හැකි බව එම වාර්තාවේ සඳහන් වෙයි. එහි මෙසේද සඳහන් වේ.

‘ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමේ ප්‍රමාදයක් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය මේ වසරේ (2023) දෙවන කාර්තුවේදී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙය වාණිජ ණය හිමියන් සමග වන සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කිරීමට ද හේතු වනු ඇත.’

මෙසේ අපට අපගේ විස්තීර්ණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වීම හමුවේ අපට විදේශ විනිමය අර්බුදයෙන් මිරිකෙමින් ගත කිරීමට සිදුවෙන දුෂ්කර කාලය තවත් දීර්ඝ වනු ඇතැයි සිතිය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ද එම අරමුදල සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී අවදානමට ලක්වෙන සහ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් විය යුතු බවයි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ද ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය සහ මහ බැංකුව යන දෙපැත්තෙන්ම ගැනීමට සිදුවන්නේ වේදනාකාරී තීරණ බවයි. ආර්ථික අවපාතයක් තියෙන කාලයකදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එවැනි තීරණ ගන්නා විට මහජනතාවට විශාල වශයෙන් ඒ වේදනාව දැනෙන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත. එසේ නම් ඒ වේදනාකාරී තීරණවලින් වැඩිම බලපෑමක් එල්ල වී පීඩාවට පත්වෙන අයට සහන සැලසීම අවශ්‍ය වෙයි. මේ සඳහා එම සහන සලසන ක්‍රමවේදය කුමක් ද? එය වඩාත් නිවැරදිව නිශ්චය කළ යුතුව තිබේ. අප දන්නා දෙයක් නම් ඉතිහාසයේ සිටම දිළිඳු සහන වැඩසටහන්වලින් බොහෝ නුසුදුස්සන්ට ප්‍රතිලාභ ලබාදී ඇති බවයි. එසේම සුදුස්සන්ට එම ප්‍රතිලාභ නොලැබීම ද බොහෝ විට සිදුව ඇති බවයි. මේ නිසා අපේ රජය සැලසුම් කළේ මේ සදහා සුබසාධක ප්‍රතිලාභීන් අලුතින්ම හඳුනා ගැනීමටය. ඒ ක්‍රියාවලිය ආරම්භ වුවත් රජයේ සුභසාධක ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ ගැටලුවක් ඇතිව තිබේ. එය අතරමග ඇනහිට තිබේ. එනම් එම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ වගකීම් පවරා ඇති ග්‍රාමීය නිලධාරීන් එම කටයුතුවලට සම්බන්ධ වීම ප්‍රතික්‍ෂේප කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම නිසාය. එයට හේතු වී ඇත්තේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්තිවලට එල්ල වී ඇති විරෝධය නිසා බව ද අපට දැනගන්නට ඇත. එම පනතේ 21 වන වගන්තිය මෙසේය.

‘ මේ පනත යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමේ දී දැන දැනම හෝ හිතාමතාම අසත්‍ය හෝ වැරදි යම් තොරතුරක් මත ක්‍රියාකරන යම් රාජ්‍ය නිලධාරියකු වරදකට වරදකරු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමෙන් පසු රුපියල් දසදහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම යටත් විය යුතුය.’

එසේම 22 වන වගන්තියේ සඳහන් වන්නේ යම් වැරදි සුභසාධක ගෙවීමක් කරනු ලැබුවහොත් එම මුදල රජයට ගෙවිය යුතු ණයක් ලෙස එම නිලධාරියාගෙන් හෝ සාමාජිකයාගෙන් අයකරගත යුතු බවයි.

අතීතයේ දී ඕනෑතරම් වැරදි අයට සහන ලබා දී ඇත. මේ සියල්ලම ඇත්තය. ආර්ථිකය ස්ථාවර තත්ත්වයට ගැනීම සඳහා තවත් කාලයක් ගත වන අතර ඒ කාලයේ බොහෝ බදු වැඩි කිරීම ඇතුළු බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වන බව රහසක් නොවේ. එහිදී අඩු ආදායම්ලාභීන් වඩාත්ම පීඩාවට පත් වෙන පිරිස වන නිසා ඔවුන් ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කළ යුතු වෙයි. ඒ සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා අලුතින්ම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ වැඩසටහනක් රජය දියත් කර තිබුණත් එය එම වැඩසටහන මෙහෙයවන ග්‍රාමීය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ තාවකාලිකව ඇනහිට ඇති නිසා දැන් කළ යුතුව ඇත්තේ මේ ගැන මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩිනම් අවධානය යොමු කර මේ ප්‍රශ්නය වහාම විසඳා මේ කටයුතු සක්‍රීය ලෙස ඉදිරියට ගෙන යෑමයි. එය මේ මොහොතේ ඉතාම අත්‍යවශ්‍ය කරුණකි. නැතහොත් හෙට දවසේ සමාජ නොසන්සුන්තාවන් ද වර්ධනය වීමට ඉඩ තිබේ. එසේ නොවන තැනට මේ සඳහා පිළියම් යෙදිය යුතු වන්නේ මුදල් අමාත්‍යාංශය සහ පොදුවේ රජය විසිනි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment