වව්නියාවේ තරුණියගේ මරණය ගැන විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලා ගම්වාසීන් පාරට

66

වවුනියාවේ තරණිකුලම් ප්‍රදේශයේදී මියගිය 17 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ගම්වාසීන් පිරිසක් 20 දා වවුනියාව ඊච්චන්කුලම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මෙම තරුණිය ගෙල වැලලාගෙන මියගිය බව පවසමින් පරීක්ෂණ කටයුතු හමාර කොට ආදාහනය සඳහා දේහය ඥාතීන්ට භාර දී තිබුණද ගම්වාසීන් කියා සිටින්නේ එම දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා මෙම තරුණිය සමග අනියම් සබඳකමක් පවත්වා එය හෙළිවීමෙන් පසුව තරුණිය ඉතා සූක්ෂම ලෙස මරා එල්ලා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වී මියගිය දැරියට සාධාරණය ඉෂ්ට කරන ලෙසත් මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ගම්වාසීන් ඉල්ලා සිටියහ.

තරණිකුලම් ගම්මානයේ වැසියන්ගේ ඉල්ලීමට පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවූ බව පවසන ගම්වාසීන් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන්ට තත්ත්වය අවබෝධ කොට දී යම් සාධාරණයක් බලාපොරොත්තු වන බව කියා සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment