කළු ගංගා කොමළියේ ඇයි! මෙතරම් රළු වුණේ…

544

මගේ උපන් දිනේ ජයටම සමරා දරුවෝ තුන්දෙනා යන්නම ගියා – මියගිය ඉමංගිගේ මව කියයි

මම එපා කියද්දී දුව රණ්ඩු කරලයි මේ ගමන ගියේ – මියගිය සුභානීගේ මව කියයි

අම්මා නැති පුතාව අවුරුදු 17ක් මමයි හදා ගත්තේ – මියගිය තිවිදුගේ සීයා කියයි

අමතක නොවන උපන් දින තෑග්ගක් මට දීලා දරුවෝ තුන්දෙනාම කළුගඟේ ගහගෙන ගියා යැයි කළු ගඟේ ගිලී මියගිය යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) ගේ මව වන වලිමුණි කෝකිලා ජයන්ති සිල්වා මහත්මිය හඬාවැටෙමින් පැවසීය. කළුගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ පෙරේදා (14) පස්වරුවේ දියනෑමට ගොස් සිටියදී දියෙ ගිලී තෙන්නකෝන් ආරච්චිලාගේ තිවිදු සත්සර (18), මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) සහ යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) යන අය මියගොස් තිබුණි.

මියගොස් සිටි දරුවන්ගේ හදිසි මරණ පරීක්ෂණය කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා ඉදිරියේදී ඊයේ (15) සිදුකරන ලදී.

හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය මෙසේද පැවසීය.

දියේ ගිලී මියගොස් ඇත්තේ මගේ තුන්වන දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා.

එයා කසාද බඳින්න ඉන්න පුතා එක්ක යාලු‍වෝ පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා. මුහුදේ නාල ආයේ ගඟට නාන්න ගියා. මගේ දුවයි එයාගෙ අත් අල්ලගෙන හිටපු සුභානී දුවයි ගඟේ ගහගෙන ගියා. එයාලා බේරගන්න තිවිදු පුතා පැන්නා තුන්දෙනාම නොපෙනී ගියා. එතැන හිටපු තරුණ ළමයෙක් ගඟට පැනලා පුතාව

ගොඩට ගත්තා. පැය භාගයක් විතර වාහනයක් නැතිව හිටියා. වාහනයක් තිබුණා නම් පුතාව බේරගන්න තිබුණා යනුවෙන් ද පැවසීය. දියේ ගිලී මියගිය මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) යන අයගේ මව වන පතිරණ මුදියාන්සේලාගේ ටෙක්ලා නෙරංජනී යන අය සාක්කි දෙමින් මෙසේ පැවසීය. මියගොස් ඇත්තේ මගේ දෙවැනි දුව. මම මේ ගමන යන්න එපා කිව්වාම එයා මා එක්ක රණ්ඩු කළා. මම ණය වගයක් බේරන්න කඩේට ගිය වෙලාවේ ලොකු දුවත් එක්ක හොරෙන් ගිහින්. මගේ දරුවත් කළු ගඟේ ගහගෙන ගිහින් කීවාම බස් එකේ යන්න වත් මා ළඟ සල්ලි තිබුනේ නෑ. අල්ලපු ගේක ළමයෙක්ගේ බයික් එකකින් නාගොඩ රෝහලට ආවාම දැනගත්තේ මගේ පණ නැතිවෙලා කියලා.

මියගිය සුභානි සුපේසලාගේ වැඩිමහල් සොයුරිය වන කොටියාවත්තගේ හිරුණි වත්සලා:. අපි කළු ගඟේ එකට නෑවා. මම ගොඩට ඇවිත් බලනකොට නංගි හිටියේ නෑ. එයා අත් අල්ලගෙන හිටපු අනිත් යාළුවා එක්ක ගහගෙන යනවා දැක්කා. අපි බේරදෙන්න කියා කෑ ගැහුවා

බෝට්ටුවකින් ආපු මාමලා නංගිවයි ඉමංගිවයි ගොඩට ගෙනාවා. කළුතර රෝහලට ගෙනාවට පස්සේ නංගි මියගිහින් කියලා දැනගත්තා.

තෙන්නකෝන් ආරච්ච්ගේ තිවිදු සත්සරගේ සීයා වන ගුලවිට ගනිතගේ ගුණපාල (73) යන අය සාක්කි දෙමින් මෙසේ පැවසීය. මියගොස් ඇත්තේ මගේ මුණුබුරා. එයාගේ අම්මා එයාට අවුරුද්දක් වෙද්දි පිළිකාවකින් මියගියා. අවුරුදු 17 ක් මම පුතාව හදාගත්තේ. පුතා ආච්චිට කියලා තිබුණා උපන් දිනේකට කේක් කපන්න යනවා කියලා. සවස කෝල් එකක් ආවා පුතාට අසනීපයි නාගොඩ රෝහලට එන්න කියලා. ආවම දැනගත්තේ කළු ගඟේ ගිලිලා මිය ගිහින් කියලා.

කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. පොලිස් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙයවීය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. කේ. වෙනුරජිත් සහ එම්.කේ. චානුක යන මහත්වරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවට නිගමනය කර තිබේ.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment