කරකැවූ රබර් පටිය බෙල්ලේ හිරවී 9 හැවිරිදි දරුවා ජීවිතක්‍ෂයට

562

රබර් පටියකට ගෙල සිරවීම හේතුවෙන් කලවාන – පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවකු ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොතුපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කංකානම්ලාගේ ගගන නමැති එම පවුලේ එකම දරුවාය.

පසුගිය 13 දා සිය නිවසේදී තනිව ක්‍රීඩාවේ නිරතව ඇති දරුවා එහිදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක ගැටගසා කරකවමින් සිටියදී එය දරුවාගේ ගෙල මත සිරවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී දරුවාගේ දෙමාපියන්ද නිවසේ සිට ඇති අතර ඔවුන් නින්දේ පසුවුණු මොහොතේ දරුවා තනිවම මිදුලේ සෙල්ලම් කර ඇති බවත් ඒ අවස්ථාවේදී අදාළ යකඩ කූර හිසේ වැදීමෙන් රබර් පටියට ගෙල සිරවී සිටි දරුවා අසල්වැසියකුද විසින් දැක පසුව ඒ පිළිබඳව දරුවාගේ දෙමාපියන්ට දන්වා ඇතත්, ඒ වන විට දරුවා පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිට ඇතැයිද පොලිසිය පවසයි.

දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවා ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහල වෙත සහ අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කලවාන රෝහල වෙත ගෙන යමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මාපියන්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් බවද පොලිසිය සඳහන් කරයි.

පොතුපිටිය පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කුමාර නලවංශ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment