මුහුදු මහා විහාරයේ නිධානයකින් ගත් මැණික් කරඬුවක් කෝටි 100කට විකිණීමට යද්දී දැලේ

962

පොතුවිල් මුහුදු මහා විහාරයේ නිධානයකින් ලබාගත් බව කියන වටිනා මැණික් එබ්බවූ කරඬුවක් රුපියල් කෝටි 100කට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු සමග එම කරඬුව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (10 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මෙම කරඬුව වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සඳහා ගෙනැවිත් එම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කරඬුව විශේෂ පාෂාණයකින් නිර්මාණය කළ එකක් වන අතර එහි පිටුපස වටිනා මැණික් ගල් ඔබ්බවා තිබී ඇත. කරඬුවේ කොත දෙපස දඹරන් බුදු පිළිමයක් සහ නිල් මැණිකක් ඔබ්බවා තිබූ බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. අනෙක් පුද්ගලයා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ අයෙකි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම කරඬුව මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් පොතුවිල් මුහුදු මහා විහාරයේ නිධානයකින් ලබාගෙන ඇති බවයි. මෙවැනි කරඬු 4 ක් එම නිධානයෙන් ලබාගෙන තිබූ අතර එම මුස්ලිම් ජාතිකයන් මෙම කරඬුව අලෙවි කිරීම සඳහා තමන්ට ලබාදුන් බව ද සැකකරුවන් පවසා ඇත.

මෙම කරඬුව තමන් ලබා ගත්තේ රත්නපුර ප්‍රදේශයේදී බව ද සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ. නිධන් හොරුන් විසින් මෙම පාෂාණ කරඬුවේ යට කොටස ගල් විදින යන්ත්‍රයකින් සිදුරු කිරීමට උත්සාහ කර තිබූ බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම කරඬුව, කාල නිර්ණය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලිසියට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න, සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බී. එස්. ඊ. එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු, ප්‍රභාත් විතාන, ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment