ආණ්ඩුවට සල්ලි නැහැ

897

සමෘද්ධි ගෙවීම් ප්‍රමාද වේවි
ජනවාරි පෙබරවාරි රජයේ පඩි ගෙවීමත් ගැටලුවක්
ජනපති කැබිනට්ටුවට කියයි

අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා මෙම 2023 වසරේ දරුණු මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා සිටි බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සඳහා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු කීය. ඇමැතිවරයා සඳහන් කළේය. එයට පිළියමක් ලෙස රජයේ සියලු අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් සියයට 5 ක් කපා දැමීමට කැබිනට් මණ්ඩලය යෝජනා කළ බවද ඇමැතිවරයා කියා සිටියේය.

ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් 2022 වර්ෂයේ බදුවලින් ලැබෙන ආදායම වසර මුලදී විශාල ලෙස අඩුවී තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල බදු ආදායම එලෙස විශාල ලෙස පහත වැටුණත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී සහනාධාර ආදී වශයෙන් අත්‍යවශ්‍යම වියදම් දැරීමට රජයට සිදුව තිබෙන බවද පැවසීය.

මෙම තත්ත්වය තුළ මෙවර සමෘද්ධි දීමනාව ලබාදීම සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (10දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment