ඉන්දියාවට ලකුණු 67ක ජයක්

321

පැතුම් සුන් වුණත් කසුන් සහ දසුන් ගෞරවය රකිති

තරග හතරක් සහ දින හතක් පුරා ඉන්දීය කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් සිටින ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඊයේ (10 වැනිදා) දිනයේදී රැස්කරන ලද තම දෙවෙනි එක්දින ජාත්‍යන්තර ශතකයේ මහිමයෙන් ඉන්දියාවට එරෙහිව අත්වන්නට ගිය දැවැන්ත පරාජය ලකුණු 67ක පරාජයක් ලෙස සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙසින් ඉන්දියාවේ ගුවහාතිහිදී ඊයේ (10 වැනිදා) පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ද ලකුණු 206කට බිඳ වැටීමෙන් අනතුරුව අංක 10 පිතිකරු කසුන් රාජිත සමග අඛණ්ඩ ලකුණු 100 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නායක දසුන් ශානක සමත් වූයේය.

ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 372ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 09 වෙනි කඩුල්ල සඳහා දසුන් සහ කසුන් රාජිත අතර පැවති එම සම්බන්ධතාවයේදී කසුන් රාජිත ලබා තිබුණේ පන්දු 19 කදී ලකුණු නමයක් පමණි.

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය මත ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 306 ක් ලෙස සටහන් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 300 සහ දසුන් ශානකගේ ලකුණු 100 අවසන් පන්දුවාරයේ පස් වැනි පන්දුවේදී දසුන් එල්ල කළ මනරම් හතරෙ පහරකින් වාර්තා වූයේය.

ඉන්දියාවට ලකුණු 67ක ජයක්
විරාත් කෝලි

පන්දු 88ක් තුළදී නොදැවී ලකුණු 108ක් ලබාගත් ශ්‍රී ලංකා නායකයා ඊට හතරේ පහර 12 ක් සහ හයේ පහර තුනක් එක්කර ගැනීමට සමත් වූයේය.

දසුන් ශානක ලකුණු 96 ක් ලබා පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ සිටියදී පන්දු යැවූ මොහොමඩ් ශාමි විසින් “මන්කඩේ” දවා ගැනීම ලෙස සටහන් කරන ආකාරයෙන් ඔහුගේ අන්තයේ කඩුල්ල බිඳ දමා ඉල්ලීමක් කළද පසුව ඔවුහු එම ඉල්ලීම ඉල්ලා අස්කර ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අර්ධ ශතකයක් ලබා ගනිමින් කණ්ඩායම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යමින් සිටියද ඔහුගේ ඉනිම ලකුණු 72 කට සීමා කිරීමට උම්රන් මලික්ගේ වේග පන්දුව සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 161 දී පැතුම් දැවී ගිය අතර ඒ වන විට ඔහු හතරේ පහර 11ක් තම ඉනිමට එක් කරගෙන තිබුණි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ධනංජය ද සිල්වා පන්දු 40කදී වේගවත් ලකුණු 47ක් ලබා ගත් අතර නායක දසුන් ශානක අවසන් පිතිකරුවන් සමග එක්ව ඉනිම ගොඩනැගීමට උත්සාහ කිරීම ඉන්දීය පන්දු යවන්නන්ගේ හිසරදයට හේතු විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5කට දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් රැස් නොකර පිටියෙන් ඉවත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීම සඳහා සත්කාරක ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර එම ඇරයුමෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දීය පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 371ක් රැස් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් දියත් කළ විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවෝ 41 වෙනි පන්දු වාරය වන විට ලකුණු 300 සීමාව ඉක්මවා යන්නට සමත් වූහ.

පළමු පන්දුවාර 15 ඉක්මවා යෑමට පෙර ලකුණු 100 සීමාවට අවතීර්ණ වූ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්ධතාවය බිඳවැටුණේ නායක දසුන් ශානක විසින් ශුබ්මන් ගිල් ලකුණු 70කට දවා ගැනීමෙන්ය. ගිල් ඒ අතරතුර පන්දු 60කට මුහුණ දී ඉන් පන්දු 11ක් හතරේ පහරවල් ලෙස වාර්තා කර තිබුණි.

ගිල්ට වඩා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ශතකය ආසන්නයට ගොස් ඩිල්ශාන් මධුසංඛගේ පළමු එක්දින කඩුල්ල ලෙස ලකුණු 83කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් ලැබූ 206 වැනි ක්‍රීඩකයා ලෙස ඩිල්ශාන් මධුසංඛ ඊයේ ක්‍රීඩාපිටියට අවතීර්ණ වූ අතර ඔහු විසින් ශර්මා දවා ගන්නා විට පන්දු 67කදී ශර්මා ලකුණු 83ක් ලබාගෙන තිබුණි.

ඊට හතරේ පහර 9ක් සහ 6 පහර තුනක් එක් කරගෙන තිබූ අතර විරාත් කෝලි ඊයේ තරගයේ දී සිය 45 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබා ගත්තේය.

පන්දු 87 කින් ලකුණු 113ක් උදුරාගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා හතරේ පහරවල් 12කින් සහ එක් හයේ පහරකින් සිය ඉනිම පමණක් නොව ගුවහාති ක්‍රීඩාංගණයම වර්ණවත් කිරීමට සමත් වූයේය.

කෝලිට එම ශතකය සඳහා පිය මැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් කෝලි ලකුණු 52දී අත්හරින ලද උඩ පන්දුව ද අනගි සහායක් විය.

අනතුරුව කෝලිගේ ඉනිම ලකුණු 113දී නිමා වූයේ ද කසුන් රාජිතගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ඉන්දීය ඉනිම පුරාවට හතරේ පහරවල් තිස් නවයක් සහ 6 පහර හතක් ඇතුළත් වූ අතර කසුන් රාජිත ලකුණු 88 කට කඩුලු 3ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment