මස්කෙළියේ උප සභාපතිට රැස්වීමේදී වීදුරු ප‍්‍රහාරයක්

135

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වන හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත‍්‍රික් සංවිධාවක පෙරියසාමි ප‍්‍රදීපන් මහතාට සභා රැුස්වීම අතරතුර එල්ලවූ වීදුරු ප‍්‍රහාරයකින් තුවාල ලබා 13 වැනිදා ප‍්‍රතිකාර සඳහා මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇත.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොංග‍්‍රසය) ප‍්‍රධානත්වයෙන් 13 වැනිදා මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැති අවස්ථාවේ දී මස්කෙළිය නගරයේ සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් පිළිබඳව ඇතිවූ වචන හුවමාරුවක් අතර තුරදී එම සභාවේම තවත් මන්ත‍්‍රිවරයකු විසින් එල්ල කරන ලද වීදුරු ප‍්‍රහාරකින් ප‍්‍රදීපන් මහතා තුවාල ලබා මෙසේ රෝහල් ගතකර ඇත.

මේ පිළිබඳව කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ප‍්‍රදීපන් මහතා පවසන ලද්දේ මස්කෙළිය නගරයේ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳව සභාව රැුස්වීමේ දී කරන ලද විමසීම් මත ඇතිවූ අරවුලක් අතරතුර දී ආණ්ඩු පක්ෂයේම මන්ත‍්‍රීවරයකු තමන්ට වීදුරුවකින් පහර දුන් බවය.

මෙම පහර දීමත් සමග මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිනිය විසින් සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව කරන ලද විමසීමක දී අදහස් දැක්වූ මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු මේ වනවිට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත්ය.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment